Print this Article


රූප මදයෙන් මත් වූ සිත

බුදුන් වහන්සේ ඛේමා බිසවගේ සිත රූපයට ආදී ගිය බව දැන ඒ රූපය ක්‍රමයෙන් ජරාවට පත් වී වැහැරී ගොස් මැරී වැටී කුණු වී යන සැටියටත් පෙනේවායි අධිෂ්ඨාන කළ සේක. ඒ අනුව රූපය දෙස බලා සිටි ඛේමාවගේ සිතෙහි කළකිරීම මතු වී රූපයෙහි ආදීනත්වය දුටුවා ය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යෙ රාග රත්තානු පතන්ති සොතං
සයං කතං මක්කට කොව ජාලං
ඒ තම්පි ඡෙත්වාන වජන්ති ධීරා
අන පෙක්ඛිනො සබ්බ දුක්ඛං පහායති
(ධම්මපදය තණ්හා වග්ගය)

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන අවස්ථාවක බිම්බිසාර රජතුමාගේ ඛේමා නම් සුරූපී බිසව අරඹයා මේ ගාථාව දේශනා කළ සේක. පෙර පියුමතුරා බුදුරදුන් දවස පින් කොට කරන ලද ප්‍රාර්ථනාව අනුව ඛේමා බිසව රූපශ්‍රීයෙන් අග්‍ර වූවා ය. බුදුරජාණන් වහන්සේ රූපයෙහි අනිත්‍යතාව දක්වමින් දහම් දෙසන බව දත් ඇය බණ ඇසීමට නො ගියා ය. මේ බව දත් බුදුන් වහන්සේ වේළුවන උයන් වැනුමක් රචනා කරවා ගී ගායනා කරන්නවුන් ලවා ඒ ඒ තැන් වලදී ගායනා කරවීය. තැන් තැන්වල ගායන කරන ගී ඇසූ ඛේමාව වේළුවන උයන බැලීමට ගියා ය.

ඛේමාව විහාරයට පැමිණෙන බව දත් බුදුන් වහන්සේ තමන් වහන්සේගේ සමීපයෙහි ඉඳ පවන් සලන තරුණ සුරූපී කාන්තාවක් මැවූහ. ඛේමාව ධර්ම ශාලාවෙහි රැස් වී සිටි පිරිස මැදට ඇතුළුවන විටම බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටි කාන්තාව දැක පුදුමයට පත් වූවා ය. බුදුන් වහන්සේ රූපයෙහි ආදීනව දොස් දක්වමින් ධර්මය දේශනා කරන බව කියතත් මටත් වඩා සුරූපී කාන්තාවක් බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන පවන් සලයි. මේ තරම් රූපශ්‍රීයෙන් යුක්ත කාන්තාවක මම මීට පෙර නොදැක්කෙමියි කියා සිතමින් රූපය දෙසම බලා සිටියා ය.

බුදුන් වහන්සේ ඛේමා බිසවගේ සිත රූපයට ආදී ගිය බව දැන ඒ රූපය ක්‍රමයෙන් ජරාවට පත් වී වැහැරී ගොස් මැරී වැටී කුණු වී යන සැටියටත් පෙනේවායි අධිෂ්ඨාන කළ සේක. ඒ අනුව රූපය දෙස බලා සිටි ඛේමාවගේ සිතෙහි කළකිරීම මතු වී රූපයෙහි ආදීනත්වය දුටුවා ය.

අනුවණයන් විසින් පි‍්‍රය වශයෙන් සලකන ලද මෙම රූපය ලෙඩ ගොඩකි. සැබවින්ම අපිරිසුදු ය. දොරටු නවයකින් අශුචි වැගිරෙයි. පණු කැදැල්ලක් වැනි ය. මේ රූපය ධාතු වශයෙන් ශුන්‍ය ලෙස සලකන්න. භවයෙහි ආශාව අත්හරින්න යනාදී වශයෙන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ කල්හි ඛේමාව සෝවාන් භාවයට පත් වූවා ය. නැවතත් රාගයෙන් රත් වූ ද්වේශයෙන් දුෂ්ට වූ මෝහයෙන් මුළා වූ මේ ලෝකයේ වාසය කරන සත්වයෝ තමන්ගේ සිත්වල රෑ දවල් දෙකෙහි නොනැවතී ගලා බසින තාෂ්ණා නමැති ප්‍රවාහය ඉක්මවාලන්නට නොහැකිව, එහිම ඇලී ගැලී වෙලී විපතට පත්වන බව ප්‍රකට කරමින් ‘යෙ රාග රත්තානු...’ යනාදී ගාථා ධර්මය බුදුන් වහන්සේ දේශනා කළ සේක.

මකුළුවා දැලක් බඳියි. ඒ මකුළුවා තමන් විසින් කරන ලද දැලෙහිම බැඳී සිටි යි. එසේම රාගයෙන් රත් වූ ඇතැම් කෙනෙක් තමන් විසින්ම ඇති කර ගන්නා තෘෂ්ණාව නමැති සැඩ පහරෙහි වැටෙති. ඔහුට ඒ සැඩ පහරින් බේරී යෑම නො හැකි ය.

නුවණැති පුද්ගලයා තමන් විසින් ම රාගාදී සිතිවිලි පිළිබඳ නුවණින් දැක ආශා රහිතව, සියලු දුක් නැතිකොට නිවන් සැපත ලබා ගනිති.

මේ ධර්මය අසා එදා ඛේමාව විදර්ශනා ඥානය උපදවා ගෙන සිවු පිළිසිඹියාවන් සමඟ රහත් වූවා ය. පසුව පැවිදි බිමට පත් ඛේමා රහත් තෙරණිය නුවණැති භික්‍ෂුණීන් අතුරෙන් අග්‍ර වී අග්‍ර ශ්‍රාවිකාව බවට පත් වූවා ය. එබැවින් පින්වතුනි, ආශාවන් පසු පස හඹා ගොස් පසු තැවීමට පත් නො වන්න. රූපයෙන් මත් නොවී තම ශරීරය පිළිබඳ අනිත්‍ය ස්වභාවය දැන කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔබ සැමට මෙළොව හා පරලොව සැනසීම පිණිසම මේ ධර්මය උපයෝගී කර ගන්න.

තෙරුවන් සරණයි.