Print this Article


නිසි මඟ දැන යන ගමන

නිසි මඟ දැන යන ගමන

විවේකය අර්ථවත් ලෙස ගත කරන්නට බුදු දහම උගන්වයි. විවේකය යනු, නිකරුණේ ඉඳිමින් කාලය ගත කිරීම නොව කිසියම් අර්ථවත්

ක්‍රියාවක යෙදීම ය. යමක යෙදෙනවා නම්, එය විවේකයක් දැයි කෙනෙකුට කල්පනා විය හැකි ය. ඇතැම්හු විවේකය යනු නිකම් ඉදීම ලෙස දකිති. ඇතැම්හු විවේකය අර්ථවත් ක්‍රියාවක යොදවති. පොත පතක් කියවීම බණ දහමක් ඇසීම මනසට සැහැල්ලු දෙයක් කිරීම වැනි ක්‍රියාවන් විවේක කාලය තුළ කළ හැකි වෙයි

රජගහ නුවර ඉසුරෙන් වැඩුණු මසුරෙන් මිදුණු මහාසේන නම් බමුණු කෙනෙක් වාසය කළේය. බොහෝ මිල මුදලින් ආඩ්‍යව සිටි නිසා මසුරු කමක් කිසිවිටෙකත් නො තිබුණු නිසාත්, තමන් හරිහම්බ කළ බොහෝ දෙය ධනට පිනට යොමු කළහ. පින් දහම් කළහ. කලක් යනවිට මහාසේන කිසියම් හේතුවක් නිසා ධනයෙන් පිරිහී ගියේ ය. දන් පහන් පිදීමට පවා නො හැකි තත්ත්වයකට පත් විය. එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ පිඬු පිණිස නිවසට වඩින විට මහාසේන බමුණු තෙමේ තම නිවසෙහි සැඟවී ගත්තේය. ඔහුට පුදන්නට කිසිවක් නො තිබුණ නිසා ඔහු එසේ කළේ ය.

සැරියුත් මහ රහතන් වහන්සේ දවසක් සමවත් සුවයෙන් වැඩ හිඳ, බමුණා කෙරෙහි අනුකම්පාවෙන් සමවතින් නැගී සිට මහාසේන බමුණාගේ නිවසට වැඩියහ. එදා බමුණා ද හිත සතුටෙන් සැරියුත් මහ රහතන් වහන්සේට කිරිබත් පූජා කොට පින් දහම් කර ගත්තේ ය. ඒ පින් බලයෙන් මරණින් පසුව නැවතත් සැවැත්නුවර උසස් කුලයක උප්පත්තිය ලැබුවේ ය. ආගමට දහමට හිතැතිව දරුවා කුඩා වියේදීම කටයුතු කරන්නට පටන් ගත්තේ ය. දරුවාගේ දෙමාපියෝ ඔහුගේ ගති සිරිත් දැක, සත් හැවිරිදි වියේදීම සැරියුත් හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි කරවනු ලැබීය. දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන පුංචි සාමණේර හිමියන් බැලීමට නිතර නිතර පිරිස එන්නට පටන් ගත්හ. නෑදෑ දරුවෝ ද නිතර පැමිණෙන්ට වූහ. අවිවේකී තත්ත්වය නිසා බුදුරදුන් වෙත ගොස් කමටහන් ලබාගෙන භාවනාව ඉගෙන භාවනා වැඩීමට පටන් ගත්හ. පසු කාලයේ භාවනා වැඩූ උන්වහන්සේ රහත් බව ලබා වනවාසික තිස්ස නමින් ප්‍රසිද්ධියට පත් විය.

වනවාසික තිස්ස හිමියන්ගේ සිද්ධිය අරබයා බුදුරජාණන් වහන්සේ දහම් පදයක් දේශනා කරනු ලැබූහ. එම බණ පදය ගිහි පැවිදි කාටත් එක වගේම වැදගත් ය. එනම් ලාභ, පල ප්‍රයෝජන ලබාගන්නා පාර එකකි. නිවන් මග අවබෝධ කර ගැනීම සඳහා යායුතු පාර අනෙකකි. මේ දෙක නිවැරැදිව දැන හඳුනා ගැනීමට ද අවබෝධය අවශ්‍ය වේය යන දහම් පදය යි.

සමාජයේ ජීවත්වන ඕනෑම කෙනෙකුට මෙහි ගතයුතු කරුණු කාරණා කිහිපයක් තිබේ. එනම් තමා සමාජයට වැඩ කටයුතු කළ යුත්තේ කුමන අරමුණින් දැයි නිවැරැදිව වටහා ගැනීම සඳහා ය. සමාජයේ ගිහි පැවිදි බොහෝ අය වැඩ කටයුතු කළත් ඉන් සෑහීමකට පත් නොවෙයි. සතුටක් නො ලබයි. සිතේ සතුටක්, සැහැල්ලුවක් නොමැති නම් තමන් කරන වැඩවලින් එබඳු තත්වයන් උදාවන්නේ නැතිනම් තමන් කරන, කියන හොඳ වැඩවලින් ඇති පල ප්‍රයෝජන මොනවා ද ? එබඳු හොඳ වැඩ කිරීමෙන් තමන් ලබන්නේ මොනවාද ? එසේම ඇතැම් අය සමාජයට අර්ථවත් වැඩ කටයුතු කරනවා යැයි පෙන්වමින් තමන්ගේ ආත්ම ලාභය පිණිස කටයුතු කර ගනිති. බැලූ බැල්මට කෙනෙකුට පෙනෙන්නේ සමාජයට බොහෝ වැඩ කරන බව ය. එසේ කරන්න ද හරි සතුටෙන්ම ඕනෑ කමින්ම ඒවා කරනු ලබ යි. නමුත් යටි අරමුණ පිළිබඳව විමසා බලද්දී පෙනෙන්නේ ඒ කරන, කියන ක්‍රියාදාමයන් කිසියම් ලාභ ප්‍රයෝජනයක් අරමුණු කරගෙන කරන බව ය. තමන්ට ලැබෙන ලාභ, ආර්ථික ලාභ විය හැකි ය. කීර්තිය, ප්‍රශංසාව සමාජ තත්ත්වය විය හැකිය. එබඳු දෙය බලාපොරොත්තුවෙන් සමාජයට වැඩ කටයුතු කරන බව පෙන්වමින් වැඩ කටයුතු කිරීම පොදු මහජන සේවය ද ස්වාර්ථ ලාභය ද යන්න හොඳින් වටහාගත යුතු වෙයි.

සමාජයේ ජීවත් වන ගිහි පැවිදි කොයි කාහටත් වැදගත් වන මෙම කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වනු ලබන්නේ බුද්ධිමත් පුද්ගලයා සමාජයට වැඩ කරනවිට මේවා දැනගත යුතු බවයි. බුද්ධ ශ්‍රාවකයා මේ පිළිබඳව වඩාත් නිවැරැදිව කල්පනා කරනු ලබයි. ඒ අනුව නිවැරැදි සිතිවිල්ලක ඉඳිමින් වැඩ කටයුතුවල යෙදේ. වනවාසික තිස්ස නමින් පැවිදි බවට පත් වු භික්‍ෂූන් වහන්සේට ද දෙව්රම් වෙහෙර වැඩ ඉඳගෙන නොයෙක් ලාභ සත්කාර සම්මාන ලබා ගැනීමට තිබුණි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා නිසා තවත් ලොකු ලොකු අය ඇසුරු කරනවාය යන හැඟීම පෙන්වා දෙන්නට ද හැකියාව තිබුණි. නමුත් උන් වහන්සේ ඒ කිසිවක් කරන්නට ගියේ නැත. උන්වහන්සේ කළේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බණ භාවනා කිරීමය. උතුම් අධිගමයක් ලබාගැනීමේ අරමුණින් විවිධ කැප කිරීම් කිරීමය. ලැබෙන ලාභ ප්‍රයෝජනවලට වඩා නිදහස් කැප කිරීම හොඳ යැයි කල්පනා කළේය. එනිසා එම උත්සාහයන් අනුව උන්වහන්සේ අරහත් භාවයට පත්වූහ.

බුදුරජාණන් වහන්සේ දක්වනු ලබන කාරණාව අනුව පෙනෙන්නේ සමාජයේ ජීවත්වන ගිහි පැවිදි ඇතැම් අයට යායුතු නිවැරැදි පාර වරදින බවයි. එසේම ලාභ ප්‍රයෝජන ලැබෙන විට යායුතු මාවත දැනගත්ත ද එය අතහැර ලාභ ප්‍රයෝජන මාර්‍ගයේ ගමන් කරන්නට යන බවයි. මේ කරුණු කාරණා මනාව වටහා ගතයුතු යැයි දහමෙහි උගන්වයි. බුදුරජාණන් වහන්සේ තුළ පෘථග්ජන සිත් සතන් පිළිබඳව මනා වැටහීමක් තිබේ. ලාභ, ප්‍රයෝජන, නිවැරැදි මඟෙහි යන කෙනෙකුට එය වළකාලීම සඳහා එන මාර සේනාවක් බඳුය. පෘථග්ජන සිත් සතන් ලාභ, ප්‍රයෝජන, කීර්ති ප්‍රශංසා වැනි ලාමක සිතිවිලි අසළ දැවටෙයි. රැඳෙයි. ඒවායේ රැඳුණු සිත ඒවා හුරුපුරුදු කළ සිත ආයේ වෙනස් කිරීමට තරමක් අපහසුය. එනිසා සමහර ගිහි පැවිදි පිළිවෙත් සරු ගුණ දහමට නැඹුරුවන ඇතැම් අය ඒවායින් ලැබෙන ලාභ ප්‍රයෝජනවලින් තෘප්තිමත්ව සිය ගමන ආර්ය මාර්‍ගයේ මුඛ්‍යාර්ථය දක්වා නො යති.

විවේකය අර්ථවත් ලෙස ගත කරන්නට බුදු දහම උගන්වයි. විවේකය යනු, නිකරුණේ ඉඳිමින් කාලය ගත කිරීම නොව කිසියම් අර්ථවත් ක්‍රියාවක යෙදීමය. යමක යෙදෙනවා නම්, එය විවේකයක් දැයි කෙනෙකුට කල්පනා විය හැකිය. ඇතැම්හු විවේකය යනු නිකම් ඉදීම ලෙස දකිති. ඇතැම්හු විවේකය අර්ථවත් ක්‍රියාවක යොදවති. පොත පතක් කියවීම බණ දහමක් ඇසීම මනසට සැහැල්ලු දෙයක් කිරීම වැනි ක්‍රියාවන් විවේක කාලය තුළ කළ හැකි වෙයි. බුදු දහමෙහි විවේකය තෙවැදෑරුම් කොට දක්වා තිබෙයි. එනම්, කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුවෙන්ය. කාය විවේකය යනු, පිරිසෙන් ඈත්ව සැප සම්පත්වල ඇලීමෙන් ඈත්ව කටයුතු කිරීමයි. චිත්ත විවේකය යනු, සිත එකඟ භාවයට පමුණුවා ඒ පිළිබඳව තව තවත් හැදෑරීමයි. උපධි විවේකය යනු නිවන් පසක් කිරීමෙන් හටගැනෙන විවේකයයි. කාය විවේකය, චිත්ත විවේකය පිණිස ද, චිත්ත විවේකය උපධි විවේකය පිණිස ද බලපානු ලබ යි.

සටහන: හේමමාලා රන්දුනු