UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී විනයාලංකාරාරාමය කෙම්බිමක් බදු පින්බිමකි

විහාරස්ථාන නාමාවලියේ සුවිශේෂී විහාරස්ථානයක් වශයෙන් හඳුනාගැනීමට හැකි පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානය නිස්කලංක රමණීය පරිසරයක පිහිටා ඇත. මෙම විහාරස්ථානයට බුරුම පන්සල යැයි ද කියනු ලැබේ.

විනයාලංකාරාරාමය එසේ විශේෂත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ කරුණු දෙකක් නිසා ය. ප්‍රථම කරුණ වන්නේ මෙය ශ්වේජින් නිකායේ ආරම්භක විහාරස්ථානය වශයෙන් ඉතිහාසයට එක්වීම ය. දෙවැනි කාරණය වන්නේ මෙය භික්‍ෂු ශාසනය ඔද තෙදවන් කළ මහා සංඝ පීතෘවරයකු වශයෙන් ප්‍රකට රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වැඩ සිටි විහාරස්ථානය වීම ය.

ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය යනු අමරපුර නිකායේ භින්න නොවූ එහෙත් අමරපුර මහා සංඝ සභාවට එක් වූ කුඩා නිකායකි. විහාරස්ථාන හැටකට ආසන්න ප්‍රමාණයක් හා තුන්සියයක පමණ භික්‍ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩවසන මෙම නිකායේ ආරම්භය බුරුම දේශයේ ශ්වේජින් මහා නිකාය යි. ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය ප්‍රමාණයෙන් කුඩා වුව ද මෙයින් වන ආගමික ශාසනික සමාජ මෙහෙවර පුළුල් වෙයි. බුරුමයේ ශ්වේජින් නිකාය උපසපන් භික්‍ෂූන් වහන්සේ පනස් දහසක් පමණ අයත් රාජකීය නිකායකි.

ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත ව්‍යායාමයේ ප්‍රතිඵල ලැබීමට වාසනාව ලද ශ්‍රී ලංකාව මෙන්ම තවත් එක් රටකි, ‘ස්වර්ණභූමිය’ නොහොත් රාමඤ්ඤ දේශය.

එය අයත් වන්නේ පහත බුරුමයට ය. ‘රාමාධිපති’ රජතුමාගේ කාලයේ ශාසනික පරිහානිය ඇතිවී උපසම්පදාව ලද භික්‍ෂූන් වහන්සේ පවා නැතිවී ගියහ.

මේ කාලයේ ලක්බිම නිර්මල බුදුදහම පවතින බව දැනගත් රාමාධිපති රජතුමා භික්‍ෂූන් වහන්සේ 48 නමක් අප දේශයට එවා නිර්මල පැවිද්ද හා උපසම්පදාව ලබා ගත් බව ඉතිහාසයේ කියැවෙයි.

ඒ වකවානුවේදි ලංකාවේ රජකම කළේ ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය කරගත් බුවනෙකබාහු රජතුමාය. මෙම භික්‍ෂූන් වහන්සේ 48 දෙනා පෙරළා බුරුම දේශයට ගොස් එහි සියලු භික්‍ෂූන් වහන්සේට උපසම්පදාව ලබාදුන්හ.

ඉන් පසුව එවකට පැවැති සෝනුත්තර සංඝ පරම්පරාව අවසන් වී මහා විහාර පරම්පරාව ආරම්භ විය. මේ පරපුර ද පිරිහෙන්නට පටන් ගත් අතර එයින් බලවත් කම්පාවට පත් වූ ජාගරාභිධාන සද්ධම්මවංශ ධම්ම සේනාධිපති අතුලාධිපති සිරිපවර මහා ධම්ම රාජාධි රාජගුරු ස්වාමීන් වහන්සේ දුෂ්ශීල භික්‍ෂූන් වහන්සේගෙන් ඈත් වී ශික්‍ෂාකාමී සිල්වත් භික්‍ෂූන් වහන්සේ අතලොස්සක් සමග සුදුසු ප්‍රදේශයකට වාසයට වැඩි සේක.

ඉහත තනතුරු නම්බු නාමයන්ගෙන් වර්ණවත් වූවාට මේ භික්‍ෂූන් වහන්සේගේ නම වූයේ ‘ජගර’ ය උන්වහන්සේ උපන්නේ ‘ශවේජින්’ ග්‍රාමයේ ය. ඒ නිසා ජගර හිමියන් ශ්වේජින් ශායාඩෝ නමින් ද හඳුන්වති. ශායාඩෝ හිමියන් ලංකාවේ ප්‍රකට වූයේ ජාගර යන නමිනි. මේ ජාගර හිමියන් වැඩසිටියේ බුරුමයේ ‘මෙන්ඩුන්’ නම් රාජ්‍ය යුගයේදී ය.

මෙන්ඩුන් රජතුමා ශාසනයට අපමණ මෙහෙයක් ඉටුකළ රජවරයකු වශයෙන් ප්‍රකට ය. පස්වන ධර්ම සංගායනාව පවත්වා ත්‍රිපිටකය කිරිගරුඬ පුවරුවල කෙටවීමට තරම් එතුමා සසුන් ලැදි විය. ජාගර හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශාසන සංශෝධනයක් ද කරවන ලදී. මේ ආරාමයන්හි වැඩසිටි භික්‍ෂූන් වහන්සේ පර්යාප්ති මෙන්ම ප්‍රතිපත්ති දෙකෙන්ම දියුණුවට පත් වූහ. රාජගුරු පදවිය ලද භික්‍ෂූන් වහන්සේ 21 නමකගෙන් සමන්විත වූ මෙම නිකාය ක්‍රමයෙන් භික්‍ෂූන් වහන්සේ දහසකින් පමණ වර්ධනය විය.

ඇත්තෙන්ම අලුතෙන් නිකායක් පිහිටුවීමට ජාගර හිමියන්ට අවශ්‍ය නොවුනත් රටවැසියන් ශ්වේජින් ශයාඩෝ නාමය අනුව මෙය ශ්වේජින් නිකාය නමින් නිරුත්සාහයෙන්ම හැඳින්වීමට උත්සුක වූහ.

මේ විදියට ශ්වේජින් නිකාය බිහිවූ අතර මෙය ආරම්භ කළ ජාගර හිමියන් හැඳින්වූයේ එහි මහා නා හිමියන් වශයෙනි. රජතුමා ප්‍රධාන දායකත්වය සපයමින්, ආරාම තනවමින්, ඇති කළ නිසා මෙය රාජකීය නිකායක් වශයෙන් ද හඳුන්වනු ලබති.

මේ රජතුමා ‘මණ්ඩලයේ’ නමින් අභිනවයෙන් නගරයක් කරවා ඒ නගරයට ජාගර හිමියන්ව කැඳවා සංඝාරාම පහක් කරවා ශාසනයට පූජා කළේය.

සම්බුදු දහමට අනුකූලව සතිපට්ඨාන භාවනා ක්‍රමය ලෝකය පුරා ව්‍යාප්ත කළ අග්ගමහා පණ්ඩිත මහාසී සයාඩෝ භදන්ත සෝභන මහා ස්ථවරයාණන් වහන්සේද ශ්වේජින් නිකායට අයත් තෙරනමකි.

ශ්වේජින් නිකායේ නිර්මාතෘ ජාගර මහා නා හිමියන් 1872 වසරේදී අප මව් බිමට වැඩවීම ද විශේෂිත කරුණකි.

උන්වහන්සේ ගේ සපැමිණීම නිසා ලංකාවේ ශ්වේජින් නිකායේ ආභාෂය ලබා ගන්නා ලදී. ඉන්පසුව ශ්වේජින් නිකායේ යූ. විනයාලංකාර නා හිමියෝ ලංකාවට වැඩියේ දන්තධාතුන් වහන්සේ ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම සඳහා ය.

එම සංචාරයේදී උන්වහන්සේ හොරණ ප්‍රදේශයේ කුලුපන කන්දේ කීප දිනක් වැඩවසන ලදී.

විනයාලංකාර හිමියන්ගේ ශාසන ශෝභන ගති හා ප්‍රතිපත්ති පිළිබඳව පැහැදුනු ප්‍රදේශවාසීහු උන්වහන්සේට දාන මාන පිරිකර සපයන්නට වූහ. අපහසුවෙන් සිංහල භාෂාව හසුරවමින් කළ ධර්ම දේශනයන්ට කැමැත්තෙන් සවන් දුන්හ. අවසානයේ ඒ බැඳීම මේ දේශයේ උන්වහන්සේට රඳවා තබා ගැනීමට තරම් බලවත් විය.

මේ කාලයේ පොකුණු විට අදට වඩා ග්‍රාමිය පරිසරයකින් පොහොසත් වූ පිටිසර බද ගමකි. මෙහි වෙල්යායක් මධ්‍යයේ වල්බිහිවූ භූමියක් විය. නයින් පොළඟුන් අල්ලා මුදාහළ, හොර හරක් ගෙනැවිත් වසන් කළ ජනශූන්‍ය පාළු බිම මිලදී ගෙන එතන විහාරස්ථානයක් ගොඩනැගෙන්නේ ප්‍රදේශවාසීන්ගේ කැපවීම මත ය.

පාළු සුසානයක් වැනි බිමක් පින්බිමක් බවට පරිවර්තය වෙමින් 1907 වසරේදී එය බුරුම ජාතික යූ. විනයාලංකාර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් සසුනට පූජා කරන ලදී. 1906 ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මුල්ම ශ්‍රී ලාංකික පැවිදි පුණ්‍ය කර්මය සිදු කිරීමේ භාග්‍ය උදාවූයේද මෙම විහාර භූමියේදීය.මෙසේ පැවිදි බිමට ඇතුලත් වූ කුලදරුවන් 27 දෙනා අතර රේරුකානේ චන්දවිමල හිමියන්ද විය.

මෙසේ ශ්‍රී ලකාවේ ශ්වේජින් නිකායේ භික්‍ෂූන් වහන්සේට විහාරස්ථානයක් ඇති වුව ද විනයකර්ම කිරීමට සීමාවක් නොතිබීම බලවත් පාඩුවක් වශයෙන් පැවැතිණි. එම හිස් බව සැපිරීමට 1907 වසරේ සුපේසල ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේට විනය කර්ම කිරීමට යෝග්‍ය සුපිරිශුද්ධ සීමාව සම්මත වූයේ මෙම විහාරස්ථානයේ ය. මෙය ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ සංඝයා විසින් සම්මත කළ ප්‍රථම බද්ධ සීමාව ය. මේ සීමා බන්ධනය නිසා ශ්‍රී‍්‍රලංකා ශ්වේජින් නිකායේ මුල් බැස ගැනීම සිදු විය.

පසුකලෙක ශ්වේජින් නිකායේ මහානායක පදවියෙන් ද පිදුම් ලද රේරුකානේ චන්දවිමල නම් වූ මේ සංඝ පීතෘවරයාණන් ශ්‍රී‍්‍ර ලාංකික ගිහි පැවිදි බෞද්ධයන්ගේ ගෞරව බහුමානයෙන් පිදුම් ලැබූ විශිෂ්ට යතිවරයාණන් වහන්සේ නමක් ය. දුරාතීතයේ දී රහතන් වහන්සේගෙන් හිස් නොවූ මේ පුණ්‍ය භූ®මියේ මෑත යුගයේ පහළ වූ මේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘ වරයාණන් වහන්සේගේ නාමය ශාසන වංශයේ යුග යුග ලියා තැබෙන්නේ ස්වර්ණමය අක්‍ෂරයෙනි. උතුම් සම්බුද්ධ දේශනාව සරල සිංහල භාෂාවට පරිවර්තනය කරමින් ගිහි පැවිදි කුදුමහත් සමාජය වෙතට දායාද කළ උන්වහන්සේගේ ධර්ම පුස්තක පෙළ අමා දම් නදියක් හා සමාන ය. එම පොත් පෙළ ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලයේ ප්‍රකාශන ලෙසින් මුද්‍රණය වෙමින් පවතින්නේ සැදැහැති බෞද්ධ ජනතාවගේ දහම් පිපාසයට දිව ඔසුවක් පරිද්දෙනි. මේ සියලු සද්කාර්යයන්ට කෙම්බිම සෑදූ පුණ්‍ය භූමිය පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානයයි.

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග 08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය

මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]