UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

 

ප්‍රශ්නය
බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු ප්‍රථම ධර්‍මදේශනාව අවසානයෙහිදීම දහම් ඇස පාදාගත් ( ධම්ම චක්ඛුං උදපාදි ) කොණ්ඩඤ්ඤ තව්සාණන්ට “එහි භික්‍ෂු” භාවයෙන් “ පැවිදි උපසම්පදාව“ ප්‍රදානය කළ බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂු සංස්ථාව පිහිටවූහ. මෙහි සඳහන් වන “එහි භික්ෂු” භාව පැවිදි උපසම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝ කර්මය කුමක්ද ?

පිළිතුර
බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් ධර්මදූත සේවයෙහි යෙදුනු ශ්‍රාවක භික්ෂූන්ගේ සහ පැවිද්ද අපේක්‍ෂා කළ නවකයන්ගේ පහසුව පිණිස තිසරණ ගතකිරීමෙන් පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම බුදුහිමියන් විසින් භික්‍ෂූන් වහන්සේලාට පවරා දෙන ලදී. බුදු බණ ඇසීමෙන් අනතුරුව පුරාකෘත පින් මහිමය මුහුකුරා ගිය අයකු බුදුරජාණන් වහන්සේ “ මහණ මෙහි එවය” ඇමැතීමෙන් පැවිදි උපසම්පදාව ලැබීම ඒහි භික්‍ෂුභාවය යි. මුල් යුගයෙහිදී බුදුරජාණන් වහන්සේ වෙතින්ම පැවිද්ද ලබාගත් ක්‍රමය මෙයයි. පසු කාලයේදී ශ්‍රාවක ආධුනික පිරිස වැඩිවෙත්ම පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම සංඝයාටම පවරා දෙන ලදී.

ප්‍රශ්නය
පරිසරය දූෂණය නොකිරීමත් පිරිසුදුකම ආරක්ෂා කර ගැනීමත් පමණක් නොව පරිසරය අලංකාර කිරීම හා වැඩි දියුණු කිරීමත් බුදු සමය අවධාරණයි. සූත්‍රාගත දේශනා මගින් පැහැදිලි කරන්න.

පිළිතුර
වර්ෂාව හා ජලය මිනිසාට ප්‍රයෝජනවත් අයුරු “ දේවතා සංයුත්තයේ” පජ්ජෝත සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

වුට්ඨීං අලසං අනලසඤ්මාතා
මාතා පුත්තාච පොසති
වුට්ඨිං භුතුප ජීවන්ති යෙපාණා
පඨවිං සිතාති
( ස. නි. පජ්ජොත සූත්‍ර)

“ වස්ස අලස - අනලස දෙදෙනාම මව දරුවකු පෝෂණය කරන දයාවෙන් පෝෂණය කරයි. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්නම් වැස්ස නිසා ජීවත් වෙති. ජලය දූෂණය කිරීම බලවත් වරදකි. ජලයෙහි මළ මුත්‍ර පහ කිරීම, කෙළ ගැසීම භික්‍ෂුවට දුක්කඨා පත්තියකි.

යො අනාදරියං පටිච්ච උදකෙ
අගිලානො උච්චාරං වා පස්සාවංවා
ඛෙලං වා කරොති ආපත්ති දුක්කස්ස”
පාචිත්තිය පාලි

ජලය පානීය ජලය සහ පරිභෝජනීය ජලය කොටස් දෙකකට වෙන්කොට දක්වා ජලය අපිරිසුදු නොකොට පරිභෝජනය කළයුතු බව අනුදැන වදාළහ.

ප්‍රශ්නය
පරිසරය පිළිබඳව බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින් ප්‍රායෝගිකය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් දහම් පාසලේ දී ගුරු ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමු කළ යුතුය. වාතය ( සුළඟ ) දූෂණය වළක්වා ගැනීම සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර
( චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ )

දෛනික ජීවිතයෙහි දී වාතය දූෂණයෙන් වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දූවිලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු. ඉදින් පැසීම් දිගට උතුරු දිගට දකුණු දිගට, උණුසුම් කාලයක නම් ( වා කවුළු ) ජනෙල් වසා තබා රාත්‍රි විවෘත කළ යුතුය. ශීත කාලය වීනම් රාත්‍රිය ද වසා තැබිය යුතු දහවල් විවෘත කළ යුතුය.

නිවහන සහ වටාපිටාව පිළිබඳව ද අවධානය යොමු කළයුතු බව මෙසේ සඳහන් වෙයි. ඉඳින් පිරිවෙන ( විහාර ප්‍රාකාර අතර පෙදෙස ) කැලි කසළ සහිත වීනම් එය නැමැන්ද යුතු. එසේම දොරකොටුව, උවටැන්හල, ගිනිහල, වැසිකිළිය ඉදින් පැන් නොවී නම් පැන් එලවා තැබිය යුතුය. වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි ජලය නොවේ නම් එහි ජලය පුරවාලිය යුතුය.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි පුරයට වැඩමවූ කල එක්තරා ගෘහපති ගෘහපතිනි දෙපළක් බුදු රදුන්දුටු විගස “ පුතා ඔබ අපහැර මෙතෙක් දා හැසුරුණේ කොහිදැයි හඬන්නට වූහ. මේ අඹුසැමි, යුවළ කවුරුන්ද අවස්ථාව කුමක් ද?

පිළිතුර
බුදුරජාණන් වහන්සේට නකුල මාතා සහ නකුලපිතු - පන්සිය වාරයක් දෙමව්පියන් වූවාය. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය පහ වනතෙක්ම වැඩසිට දහම් දෙසූහ. සදහම් ඇසූ දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

ප්‍රශ්නය
සුජාත ජාතක කථාව සුමනා නම් සිටු දියණිය අරභයා දේශනා කොට වදාළ ජාතක කථාවකි. විවාහය පිළිබඳව පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක කථාවට ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
භාර්යාවෝ සත් දෙනෙකි

(1) වධක භාර්යාව ( ස්වාමී සේවක අසල්වැසි සියලු දෙනාට කරදර ගෙන දෙන්නාවූ )

(2) චොර භාර්යාව - ( ස්වාමියා උපයනවස්තුව විනාශ කරයි )

(3) ආරීය භාර්යාව - ( ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාව )

(4) මාතු භාර්යා - ( ආදරණීය බව සියලු දෙනා වෙත පවත්නා තම එකම පුතු ආරක්‍ෂා කරන මවක් මෙන් සිටින භාර්යාවය.)

(5) භගිනී භාර්යාව - ( සැමියාට සොහොයුර දයාවෙන් සලකන භාර්යාවයි )

(6) සබී භාර්යාව - ( ස්වාමියාට මිත්‍ර ස්නේහයෙන් කටයුතු කරන භාර්යාවයි )

(7) දාසි භාර්යාව - (සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට කීකරු බිරිය දාසි භාර්යාව ය. )

මෙයින් – මාතු - භගිනී සහ දාසී යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ප්‍රශ්නය
බුද්ධ ප්‍රතිමාවක දක්නට ලැබෙන මූලික අංග අතර එහි අන්තර්ගත ‘මුද්‍රාවට විශේෂ තැනක් හිමි වෙයි. බෞද්ධ ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ ‘මුද්‍රා’ හයක් පමණි. එයින් භූ ස්පර්ශ ( භූමි ) මුද්‍රාව එකකි. එම මුද්‍රාවෙහි සුවිශේෂත්වය කුමක් ද?

පිළිතුර
වචනාර්ථයට අනුව භූ®මිය හෙවත් මහ පොළොව ස්පර්ශ කිරීම යි. හින්දු ප්‍රතිමා නිර්මාණවල දක්නට නොලැබෙන මෙය බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමාවලට පමණක් ආවේණික වූ මුද්‍රා විශේෂයකි. එසේම මෙම මුද්‍රාව බුද්ධ ප්‍රතිමා අතර ද හිඳි පිළිම හෙවත් වැඩ සිටින පිළිමවල පමණක් දක්නට ලැබෙන මුද්‍රාවකි.

වැඩි වශයෙන්ම පද්මාසනාරූඩව වැඩසිටි ආකාරයෙන් නිර්මාණය කර ඇති භූමි ස්පර්ශ මුද්‍රා ප්‍රතිමාවන්හි විශේෂත්ව දක්‍ෂිණ හස්තය දකුණු දණහිසින් අත්ල ඇතුළට සිටින සේ සියලු ඇඟිලි දිග හැර පහතට යොමුව තිබීමයි.

ප්‍රශ්නය
බුදු දහමෙහි එන පරිදි භාවනාව සඳහා අරමුණු කරගන්නා කර්මස්ථාන ( කම්මට්ඨාන, හතළිහක් වෙයි. මේවා ඒ ඒ පුද්ගලයන්ගේ මානසික ස්වභාවයට සුදුසු පරිදි යොදාගනු ලැබේ. කර්මස්ථාන සතළිහක් නාමික වශයෙන් පෙළදහමෙහි සඳහන්වන අතර සත් අප්පමඤ්ඤා යන්නද එක් කර්මස්ථානයකි පැහැදිලි කරන්න.

පිළිතුර
අප්පමඤ්ඤා යනුවෙන් සඳහන් වන්නේ බ්‍රහ්ම විහාර හෙවත් සතර බ්‍රහ්මචර්යාව යි. බ්‍රහ්ම යන වචනය යොදා ඇත්තේ උතුම් විශිෂ්ට යන අර්ථය දීම සඳහා යි. “විහාර නම් චර්යාව හෙවත් හැසිරීම යි. පැවතුම් රටාවකි මේවා අප්පමඤ්ඤ (අසීමිත නිමක් නැති ) වශයෙන් ද හැඳින්වෙයි.) එසේ වන්නේ අප්‍රමාණවූ ( අපරිමාණ ) මුළු ලොව වසන සියලුම සත්වයන් වෙත මෙත් සිතිවිලි පතුරුවා හරින හෙයිනි.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]