බෝසත් සිරිත හා අසිරිමත් බුදුසිරිත
ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
මැදගොඩ
අභයතිස්ස හිමි
බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත ලිපි මාලාවේ සිව්වැනි කොටසයි මේ.
මෙම ලිපි මාලාවේ පළමු ලිපිය ඉකුත් වෙසක්පුර පසළොස්වක පෝදා ද අනතුරුව
වෙසක් අව අටවක පෝදා සහ ඉකුත් ඇසළ පසළොස්වක පෝදා පත්‍රයෙහිද පළ විය.
ඉහත සඳහන් කළ අයුරින් බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගැනීමෙන් පසුව මවට
උපද්‍රව නැති කිරීම සඳහා කඩුගත් දෙවිවරු සතර දෙනෙක් ආරක්ෂාවට සිටියහ.
බෝධිසත්වයන් වහන්සේ කුස පිළිසිඳගත් දා පටන් බෝධිසත්වයන් වහන්සේගේ මවට
රාග සිතක් පහළ නොවුවාය. කීර්තියෙන් ඉහළ ගියාය. සුවපත් වූවාය.ක්ලාන්ත
ශරීරයක් නොවුවාය.
බෝධි සත්වයන් වහන්සේ පිළිසිඳ ගත් විට පිරිසුදු මාණික්‍යයක් ඇතුළෙන් යවන
ලද නූලක් මෙන් මවට පෙනෙන්නට විය. බෝධිසත්වයන් වහන්සේ නමක් වාසය කරන
ගර්භය චෛත්‍යය ගර්භයක් වැනිය.
බෝධිසත්වයන් වහන්සේ මෙලොව ඉපිද සත් දිනකින් බෝ සත් මාතාව කලුරිය කොට
තුසිතපුරයෙහි උපත ලබන්නීය.
බෝධිසත්වයන් වහන්සේ දස මසක් මව් කුස දරා සිට හිටිවනම මෙලොවට බිහි
කරන්නේය.එය බෝධි සත්ව මාතාවගේ ධර්මතාවයයි.
මහාමායා දේවිය බෝසතාණන් වහන්සේ දරා ගෙන සිට සුද්ධෝදන මහ රජතුමා අමතා තම
මව්පියන්ගේ දෙව්දහ නගරයට යායුතු බව කීවාය.සුද්ධෝදන මහ රජතුමා එය අනුමත
කර කපිලවස්තු පුර සිට දෙව්දහ නගරය දක්වා මාර්ගය සම කරවූහ . අලංකාර
කරවූහ. ධජ පතාක ඔසවා සරසවන ලදී.
මහාමායා දේවිය රත්රන් සිවිකාවක ඉන්දවූහ. අමාත්‍යවරු දහසක් ඇතුළු මහත්
පිරිවරින් දෙව්දහ නගරය බලා යවන ලදී. එම නගර දෙකට මධ්‍යයේ සල්වනය වූ
ලුම්බිණි නමැති සල්වනයේ මුල සිට අග දක්වා මල් පිපී තිබුණූ සල් ගසක්
විය. ඒ ශාඛා අතර කුරුල්ලන් මධුර ස්වරයෙන් ගීත කියමින් සිටියහ. ලුම්බ්ණි
උයන චිත්‍රලතා වනය මෙන් විය. සරසවන ලද රජතුමාගේ මහානුභාව සම්පන්න ආපාන
මණ්ඩලය මෙන් එදින එම ස්ථානයේ සිරි ගැන්වී තිබිණි.
මහාමායා දේවිය ලුම්බිණී සල් උයන දැක සල්වන ක්‍රීඩා කරනු කැමැතිව
සල්වනයට පිවිසුණාය. මහාමායා දේවිය සල් උයනට ගොස් සාල ශාඛාව අල්වා
ගැනීමට සූදානම්වූ අවස්ථාවේදී වේවැලක් නැමී එන්නාක් මෙන් එම සල් අත්ත
පහතට නැමුණාය. අත්ත අල්වා ගත් අවස්ථාවේ මහජනයා ඈත් විය. පුණ්‍යවන්ත
බෝසත් කුමරා ලොවට බිහිවූ අසිරිමත් මොහොත එය විය.
පිරිසුදු සිත් ඇති මහා බ්‍රහ්මවරු පැමිණ, රන් දැලකින් බෝසතාණන් වහන්සේ
පිළිගෙන මව ඉදිරියේම තබා දේවියනි, සතුටු වන්න මහේශාක්‍ය පුතකු උපන් බව
පවසයි.
බෝසත් කුමාරයා මෙලොවට බිහිවනුයේ ධර්මාසනයකින් බහින ධර්ම කථිකයන් වහන්සේ
නමක් මෙනි. කිසිදු අපිරිසුදුතාවයක් නැත්තේය. කසී සළුවකින් එළියට ගන්නා
මැණිකක් මෙන් බබළමින් මව් කුසින් උපදී. මෙසේ උපදින බෝසතාණන් වහන්සේ
බෝසත් මවටද සත්කාරය සඳහා ආකාසයෙන් උදක ධාරාවන් නික්මී බෝසත් මවගේ ශරීරය
සෝදන ලදී.
රන්දැලකින් පිළිගත් බෝසත් කුමරා මහා බ්‍රහ්මවරු වෙතින් සතරවරම් දෙවිවරු
අතට පත්විය.ඒ සතරවරම් දෙවිවරු ඉතා සුව පහසු අඳුන් දිවි සමකින් බෝසත්
කුමරා පිළිගන්නා ලදී.සතරවරම් දෙවිවරු අතින් දුහුල් සළුවක් මතින්
මනුෂ්‍යයින් විසින් බෝසත් කුමරා පිළිගන්නා ලදී.
අනතුරුව බෝසත් කුමරා මහ පොළොවට පා තබා පෙරදිග දිසාව බලන ලදී. ඒ බෝසත්
කුමරා වෙත දහස්ගණන් සක්වළ එක දිගට පෙනෙන්නට විය. එහිදී සුවඳ මල්
ආදියෙන් පිදුම් ලැබූ බෝසත්කුමරා වෙත මහා පුරුෂයාණන් වහන්ස, ඔබ වහන්සේ
හා සමාන කෙනෙකු මෙහි නැතැයි කී විට බෝසත්කුමරා දස දිසාවම බලයි. මෙය
උතුරු දිසාව යැයි තේරුම් ගෙන පියවර සතක් තබන ලදී. එහිදී මහා බ්‍රහ්මයා
විසින් ශ්වේත ඡත්‍රය දරනු ලැබිණි. ශි‍්‍රයාවෝ විසින් පවන්
සැලූහ.අනෙකුත් දේවතාවෝ රාජභාණ්ඩ රැගෙන පසුපසින් ගියහ.
සත්පියවරක් ගොස් අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස ,සෙට්ඨෝ
හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නÀථිදානි පුනබ්භවො යන අභීත සිංහ නාදය
පැවැත්වූහ.
මතු සම්බන්ධයි
සටහන
සීසර් සුදුසිංහ |