Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
සුමන සාමණේරයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන්කොට අනුරාධපුරයේ කරවන ලද ස්ථූපය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි ථූපාරාමය

ප්‍රශ්නය :– බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක්ද? එහි මූලිකත්වය ගෙන කටයුතු කළ රහතන් වහන්සේ කවුරුන්ද?

පිළිතුර
අජාසත් රජු දවස පැළලුප් නුවර අසල ඉදිකළ සප්තපර්ණි ගුහා ද්වාරයෙහි පවත්වන ලද පළමුවන ධර්ම සංගායනාවෙහි මුලසුන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් උසුලන ලදී.

ප්‍රශ්නය
දෙවියන් උදෙසා මුල්කාලයේ පවත්වන ලද ඇසළ මහා පෙරහර බුදුපුද පෙරහරක් බවට පත්කළ රජතුමා කවුද?

පිළිතුර
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ප්‍රශ්නය
ලංකා ශාසනික ඉතිහාසයේ ශ්‍රී ලංකික භික්‍ෂූ පරපුරට මුලින්ම එකතු වූ විදේශීයයා කවුද?

පිළිතුර - භණ්ඩුක කුමරු

ප්‍රශ්නය – මගධාධිපති සෙනිය බිම්බිසාර මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට පළමුවන ආරාම පූජාව කරන ලදී. මෙම ආරාමයේ නම කුමක්ද?

පිළිතුර
මගධ රට වේලුවනාරාමය

ප්‍රශ්නය
කාලාශෝක රජතුමාගේ සහාය ඇතිව පුරා මාස 8ක් වාළුකාරාමයේ දී සිදුවුණ විශේෂ සිද්ධිය කුමක්ද?

පිළිතුර
දෙවන ධර්ම සංගයානාවක් පැවැත්වීම

ප්‍රශ්නය
දශබලධාරි බුදුගුණ මවාපාමින් ධාතුසේන රජතුමා විසින් කරවන ලද ලෝක ප්‍රකට ප්‍රතිමාව කුමක්ද?

පිළිතුර
අවුකන බුද්ධ ප්‍රතිමාව

ප්‍රශ්නය
ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට සැදැහැසිත් වැඩූ බෞද්ධයෙකු ඒ වෙනුවට බුද්ධ පූජාවක් කිරීම සඳහා යොදා ගන්නා පිළිවෙළ විශේෂිත නාමයකින් බෞද්ධ පොත්පත්වල සඳහන් වෙයි. ඒ විශේෂිත පූජාර්භ නාමය කුමක්ද?

පිළිතුර
ශාරිරික ,පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍ය අතරෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා උද්දේශික චෛත්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ලෝකවාසීන් සඳහා ආදර්ශයෙන් පෙන්වා වදාළ සද්ගුණ දහම කුමක්ද?

පිළිතුර
තමන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගැනීම සඳහා සෙවණ දුන් බෝධි වෘක්ෂය දෙස දින හතක් බලා සිට කළගුණ සැළකීමේ අගය ලොවට පෙන්වා වදාළහ.

ප්‍රශ්නය
ස්ථූපයක් ආවරණය කරමින් ඉදිකරන ලද සිලින්ඩරාකාර ගොඩනැගිල්ල සුවිශේෂ නාමයකින් හඳුන්වයි. ඒ නාමය කුමක්ද?

පිළිතුර
“චේතියඝර” නමින් හඳුන්වයි.

ප්‍රශ්නය
කෝ සිතැතියන් මෙත් දහමින් දිනිය යුතු
කැපුරිස් දනන් සත් දහමින් දිනිය යුතු
මසුරු දනන් දන්දීමෙන් දිනිය යුතු
බොරවා සබවසින් නිබඳව දිනි යුතු
අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදිරියංදානෙන
සච්චෙන අලික වාදිනන්ති

මේ බුද්ධ දේශනාව බුදුන් වහන්සේ කවුරුන්හට කොතැන්හිදි දේශනා කළ සේක්ද?

පිළිතුර
උත්තරා සිටු දියණිය තම සැමියා සමඟ සහවාසයට යැවු ‘සිරිමා’ නම් ‘අබිසරුලිය’ කලක් ගතවීමෙන් අනතුරව උත්තරාවගේ ම මඟ පෙන්වීමෙන් උත්තරාවගේ ගෙහිදීම සිරිමා ගණිකාව බුදුරාජාණන් වහන්සේ මුණ ගැසුණු අවස්ථා වෙහිදී ඇයට මෙම දහම් දෙසීම සිදුවිය.

ප්‍රශ්නය
එක්තරා රාජ කුමාරවරයෙක් සැරියුත් හිමියන් වෙත පැවිදිවනු කැමැතිව අයැද සිටියහ. සැරියුත් හිමියන් කුමරාට අවවාද කරනුයේ සත් අවුරුදු සත්මසක් තොප විඳි දුකම සිහිකරන්නැයි වදාරා පළමු කෙස් වැටිය බාන විටම කුමරා සෝවාන් විය. දෙවන කෙස්වැටිය බාන කෙනෙහිම සකෘදාගාමී විය. අනතුරුව අනාගාමී වී කෙස් බා අවසන් වත්ම රහත් ඵලයට ද පත්විය.උන්වහන්සේ පැවිදි වූ දින පටන් භික්ෂු සංඝයාට සිවුපසය බහුල විය. මේ රහතන් වහන්සේගේ නම කුමක්ද?

පිළිතුර
පෙර කළ කුසල බලයෙන් ‘ලාභීනට අග්ගො සීවලී” නමින් ලබන්නන් අතරෙන් අගසවු තනතුරින් බුහුමන් ලද සීවලි මහරහතන් වහන්සේ ශාසන ඉතිහාසයට එක්විය.

ප්‍රශ්නය
ඇසළ පොහොය දින සිදුවූ බුදු සිරිතේ වැදගත් සිදුවීම් කිහිපයක් සඳහන් කරන්න.

පිළිතුර
සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්මද මෙදින සිදුවිය.

ප්‍රශ්නය – මෙම පුවතින් සඳහන් වන තැනැත්තා කවුද?

” බුදුරුව සොරහුගේ ඇස වැකෙත්ම මිහිරි කටහඬක් හෙත්ම දකණ’තින් කඩුව බිම හෙත්ම. සිරිපා යුග වැඳ “ දනිමි ස්වාමීනි, හැඳින්නෙමි ස්වාමීනි, ගැත්තා කරන දැක අනුකම්පාවෙන් වැඩි සේක්ද? දිවි ඇතිතාක් සරණයෙමි. ගැත්තහුය අනුකම්පා කොට පැවිදිකොට වදාළ මැනවි. ඇයැද සිටියේය. බුදුරදුන් “ මහණ මෙහි එව“යි වදාළ සැණින් ඇඟෙහි මහණ රුව පෙනී ගියේය.

පිළිතුර
අංගුලිමාල මහරහතන් වහන්සේ.

ප්‍රශ්නය
සූත්‍ර පිටකයේ සඳහන් වන සියලු සූත්‍ර ආරම්භයේ ‘එවං මෙසුතං’ යනුවෙන් “ මා විසින් මෙසේ අසන ලදී යන වැකියෙහි’මා’ යනු කවරෙක් ද? පැහැදිලි කරන්න.

පිළිතුර
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට පෙරදා රාත්‍රියෙහි බවුන් වඩා සිව්පිළිසිඹියා සහිතව රහත් ඵලයට පත්වූ ආනන්ද හිමියෝ සංගායනා මණ්ඩපයෙහි අසුන් ගැනීමට සුදුසු වීමෙන් රහතන් වහන්සේ පන්සියයක් බවට පත්ව “ පංචසතික” යන ව්‍යවහාරයට ප්‍රථම සංගීතිය පත්විය.

මෙම සංගායනාව ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙහි මුලසුන හෙබවූ මහ කසුප් මහරහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට ආනන්ද හිමියන් පිළිතුරු දුන්හ. එම පිළිතුරෙහි සඳහන් වැකිය එවං මෙසුතං මා විසින් මෙසේ අසන ලදී යන්නයි.

ප්‍රශ්නය
මරණ මංචකයෙහිදි නැත්නම් මරණය සිදුවන මොහාතෙහිදී ඇතිවන සිතිවිල්ල නැත්නම් කර්මය, මතු භවයෙහි ප්‍රතිසන්ධිය ඇති කිරීමට සමත් වෙයි. මේ කර්මයෙහි නම කුමක්ද?

පිළිතුර
ආසන්න කර්මය