UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෑම යස ඉසුරකටම මුල් වූ දිනය

ධර්ම දේශනාව:

සෑම යස ඉසුරකටම මුල් වූ දිනය

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

“තීණිමානි භික්ඛවෙ බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි, කතමානි තීණි, ඉධ භික්ඛවෙ, බාලො දුච්ඡන්තිතචිනිතී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච .

තීණිමානි භික්ඛවෙ, පණ්ඩිතස්ස, පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි,තීණි, ඉධ භික්‍ඛවෙ,පණ්ඩිතො සුචින්තිතචින්ති ච හොති සුභාසිතභාසී ච සුකතක්ම්මකාරී ච”

පින්වත්නි,

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මිහින්තලා විහාරස්ථානයට වැඳුම් පිදුම් සඳහා එක්රැස් වෙති. මෙයට අවුරුදු දෙදහස් තුන්සිය විස්සකට පමණ පෙර බෞද්ධ ලංකාවක් ඇති කරනු පිණිස ශ්‍රී ලංකාවට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනූපම සේවයට කෘතවේදීත්වය පළකරනු පිණිසයි.එලෙස ගල් පඩි දහස් ගණනක් තරණය කරමින් මිස්සක පව් මුදුනට ළඟා වනුයේ,එදා අසද්ධර්මයෙන් මුසපත්ව මං නොමං දත නොහී අනේකවිධ මනුෂ්‍යයින්ට සද්මාර්ගය පෙන්වා දෙමින් මහා භාග්‍යවන්තයින් බවට පත් කළහ. විශිෂ්ටතම ශිෂ්ටාචාරයක ආරම්භය ඇති කළහ. සිංහලයේ හැම යස ඉසුරුකටම මුල්වූ දිනය එය විය.

අනුගමනය කිරීම සඳහා නිවැරදි දහමක් ලාංකිකයින්ට නොතිබූ අවස්ථාවේ බුදුදහම ශ්‍රී ලාංකිකයිනට හඳුන්වා දෙමින් එදින දේශනා කරනලද සූත්‍ර අතර වැදගත් සුත්‍රයකි මජ්ඣිම නිකායේ සුඤ්ඤත වර්ගයට අයත් බාල පණ්ඩිත සූත්‍රය. මෙම සූත්‍රයෙන් මිනිසා සමාජයේ ජීවත්විය යුතු ආකාරය පෙන්වා දෙයි.සමාජයට හිංසාකාරී,පීඩාකාරි ජීවිතයක් ගත කරන පුද්ගලයා බාලයෙකු වශයෙනුත් සමාජයට හිතවත්ව සමාජයේ සුබසිද්ධිය ඇති කරමින් ජීවත්වන පුද්ගලයා ස්ත්‍රී පුද්ගලයෙකු වශයෙනුත් මෙහිදී පෙන්වා දෙයි.එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඒ ඒ අයගේ ලක්‍ෂණ මෙහිදී පැහැදිලි කරයි.

බාලයෙකු හඳුනා ගැනීම සඳහා ඔහු ළඟ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ තුනක් වෙයි. බාලයා අභිජ්ඣා ආදී සිතිවිලි සිතන සුළු වෙයි. මුසාවාද ආදී නපුරු වචන කථා කරන සුළු වෙයි. ප්‍රාණඝාතය ආදී නපුරු ක්‍රියා කරන සුළු වෙයි.මෙම ලක්‍ෂණ ඇති පුද්ගලයා මෙලොව වශයෙන්ම තෙවදෑරුම් දුක් දොම්නස්වලට මුහුණපාන්නේ වෙයි. බාලයා සභාවක, වීථියක හෝ සතර මංසන්ධියක සිටියේ මහජනයා විසින් ඔහු දකිනු ලබනුයේ මේ තැනැත්තා සතුන් මරණ කෙනෙක, සොරකම්කරන කෙනෙක, කාමමිථ්‍යාචාරයෙහි හැසිරෙන කෙනෙක,බොරු කියන කෙනෙක, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කරන කෙනෙක යයි කථාකරන සුළු වූයේ බාලයා මහජනයා තමන් පිළිබඳව මෙලෙස කථා කරන්නේ යයිද තමන් තුළද එම කථා කරන ලක්‍ෂණ ඇත්තේ යයි ද දුක් දොම්නස්වලට පත්වෙයි.

තවද, අපරාධකාරී සොරුන් නීතියේ රැහැනට අසුවූ පසු එදා සමාජයේ පැවති ක්‍රමය අනුව රාජපුරුෂයින් විසින් සොරුනට කසයෙන් හෝ වේවැලෙන් හෝ තලනුයේ, අත්පා සිඳීනුයේ,කන් නාසා සිඳිනුයේ, උණුතෙල් භාජනේ බහාලනුයේ, විෂඝෝර සර්පයින් දමනුයේ, ශරීරයෙන් මස්කෑලි කපනුයේ, සුනඛයින්ට කෑමට දමනුයේ එක් කනකින් යකඩ හුල ඇතුල් කර අනෙක් කනෙන් එළියට ගනුයේ මැරෙන තෙක් උල තබනුයේ, ටිකෙන් ටික ගෙල සිඳිනුයේ උණුතෙල් ඇඟට දමනුයේ ඈ විවිධ වූ කම්කටොලු කෙරෙත්. එහිදී බාලයා හට මෙසේ සිතෙයි.අපරාධකාරී සොරුනට රජදරුවෝ මෙලෙස දඬුවම් කෙරෙති. මමද එම වැරැදි කරමි. මාද එම රාජපුරුෂයින්ට හසුවූයේ නම් මෙම දුක් විඳීමට සිදුවන්නේ යයි මෙලොව වශයෙන් දුක් දොම්නසට පත් වෙයි. තවද, බාලයා පුටුවක හෝ ඇඳක හෝ බිම විවේක ගන්නේ තමන් විසින් පෙර කරන ලද කායික වැරැදි, වාචසික වැරැදි සහ මනෝ දුශ්චරිත කල්පනා වෙයි. තමා විසින් යහපත් දෙයක් කුශලයක් පිනක් නොකරන ලදැයි කල්පනා වෙයි. පව් කරන ලද අයට,අකුසල් කරන ලද අයට, බියට පිහිටක් නොකරන ලද අයට, හිමිවන පරලොව නරක ගතිය වෙනත් භවය තමන්ට ද හිමිවන්නේ යයි ඔහු ශෝක කරයි.ක්ලාන්ත වෙයි. නැවත නැවත ශෝක කෙරෙයි. පපුවට ගසා ගනියි. හඬයි.සම්මෝහයට පැමිණෙයි. මෙසේ මෙලොව වශයෙන් දුකට දොම්නසට පැමිණෙයි.

මෙලෙස මොලොව වශයෙන් දුක්දොම්නසට පත්වෙන බාලයා මරණයෙන් පසු පහවු සැප ඇති නපුරු ගති ඇති නිරයට එළඹෙයි. නිරයපාලයෝ ඔහුට පංචවිධ වධබන්ධන කෙරෙති. රත් වූ යහුලක් ගෙන දකුණු අත ගසති.වම් අත ගසති. දෙපාවල ගසයි.පපුවෙහි ගසති. එහිදි තීව්‍ර වේදනා විඳියි. එහෙත් පාපකර්මය නොගෙවේද නොමැරෙයි. නැවැත නිරයපාලයෝ රත්ව දිලිසෙන යකඩ පොළොවෙහි හොවා කෙටේරියෙන් ගසති. දරුණූ දුක් විඳීයි. එහෙත් නොමැරෙයි. නැවැත නිරයපාලයෝ දෙපාවලින් එල්ලා වැරෙන් ගසිති. නැවත නිරයපාලයෝ ඔහු ගෙන රත්ව දිලිසෙන රථයෙහි යොදා හාත්පසින් දැල්වෙන රත්ව දිලිසෙන ආයෝමය වූ පෘතුවියෙහි ඔබ මොබ ඇවිදුවත්,නැවත නිරයපාලයෝ හාත්පසින්ම දැල්වෙන ගිනි ඇවිලගත් අඟුරු පර්වතයකට නැංවීම බැස්වීම කෙරෙති. නිරයපාලයෝ ඔහුගෙන දෙපාවලින් එල්ලා රත්ව පැහි පැහිපෙණ බුබුළු දමන ලොහොකුඹු නිරයේ ගිල්වති. මහානිරයේ ගිල්වති.ඔහුගේ අකුසල කර්මයන් නොගෙවෙන්නේද එතෙක් මෙම කිසිදු වේදනාවකින් දුකකින් නොමිදෙයි.නොමැරෙයි.

නිරයෙහි දුක්විඳ කෙළවර නැවත මෙලොව උපදිනුයේ තණකොළ ආහාර කොට ගන්නා සිව්පා ඇති අශ්වයින් ,ගවයින්, කොටළුවන්,එළුවන්, මුවන් ආදී තිරිසන් සතෙක්ව ඉපදෙයි. නැතහොත් අසූචි ආහාරකොට ගන්නා කුකුළන්, ඌරන් ,බල්ලන්, සිවලුන්,ආදි තිරිසන් ගත සත්වයින් අතර ඉපදෙයි.එසේත් නැතහොත් අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන, අඳුරෙහි මියැදෙන කීටයන්, පණුවන්, ගැඩවිලුන්, වැනි සතෙක්ව උපදියි.

නැතහොත් ජලයෙහි උපදනා, ජලයෙහි දිරන, ජලයෙහි මැරෙන මාළුන්, කැස්බෑවන් , කිඹුලන්, වැනි සතෙක්ව ඉපදෙයි. නැතහොත් අසූචිහි උපදනා, අසූචි දිරන, අසුචිහි මැරෙන සතෙක්ව හෝ කුණු මසෙහි ඉපදෙන කුණු මසෙහි දිරන, කුණු මසෙහි මැරෙන සතෙක්ව හෝ, කුණු වළෙහි ඉපදෙන කුණු වළෙහි දිරන කුණු වළෙහි මැරෙන සතෙක්ව හෝ ඉපදෙයි. මෙසේ තිරිසන්ගතව ඉපදී අපමණ වු දුක් විඳියි.

කණ කැසුබුවෙකු වියසිදුරෙන් අහසබලන්නාක් මෙන් ඉතා දුෂ්කරව ලැබිය යුතු මිනිස් ආත්මභාවයක් ලැබුයේ නමුදු සැඩොල් කුලයක,අනියත ඉපිද අල්ප ආහාරපාන ඇතිව අපමණ දුක් විඳියි. මිනිස් සිරුරද දුර්වරණ වූයේ බිය එළවන දැකුම් ඇතියේ අඟුටුමිටි වූයේ බොහෝ ආබාධ ඇති වෙයි.කණ හෝ කොර හෝ කුදු හෝ ගොලු වූයේ ආහාරපාන වස්ත්‍රාභරණදීය. දුකසේ ලබනුයේ වෙයි.මෙලෙස බාලයා එලොවත් මෙලොවත් දෙගතියෙහිම ඔහුගේ පව්කම් හේතු කොට ගෙන දුක්විඳියි.

පණ්ඩිතයා ද ලක්‍ෂණ තුනකින් හඳුනාගත හැකිවෙයි.ඔහු යහපත් සිතනුයේ වෙයි. යහපත් වචන කථා කරනුයේ වෙයි. යහපත් ක්‍රියාවන් කරනුයේ වෙයි. මෙම පණ්ඩිත පුරුෂයා මෙලොව කාරණා තුනකින් සොම්නස් භාවයට පැමිණියේ වෙයි. පණ්ඩිතයා සභාවක සිටියේ හෝ වීථියක සිටියේ හෝ සතරමං සන්ධියෙක සිටියේ ඔහු දකින මහජනයා යහපත් නිවැරැදි මනුෂ්‍යයෙකු යනු ප්‍රාණඝාතයෙන් දුරු වූ සොරකමින් දුරු වූ වැරැදි කාමසේවනයෙන් දුරු වූ බොරු කීමෙන් දුරු වූ ප්‍රමාදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් දුරුවු කෙනෙකැයි කථා බස් කෙරෙති. ඒ ඇසෙන පණ්ඩිතයා මම ද ඒ වැරැදිවලින් දුරුවූයේ වෙමියි සොම්නසට පැමිණේ.

එසේම පණ්ඩිතයා රජු විසින් අපරාධකාරී සොරුන්හට විවිධ කම්කටොලු කරවනු දකියි.යම්බදු ලාමක අකුසල කර්මයන් හේතු කොටගෙන එලෙස විවිධ කම්කටොලු සොරුනට කරවනු ලබත්ද,එබඳු ලාමක අකුසල කර්මයෝ තමන් කෙරෙහි විද්‍යමාන නොවෙතියි එබැවින් බියක් ඇති කර ගත යුතු නොවේ යයි මෙලොව වශයෙන් පණ්ඩිතයා සොම්නසට පැමිණේ.

පණ්ඩිතයා පුටුවක හෝ ඇඳක හෝ බිම හෝ සුවපහසුව විවේකව සිටින විට තමා විසින් පෙර කරන ලද සුචරිත කාය කර්ම, සුචරිත වාග් කර්ම, සුචරිත මනෝ කර්ම පිළිබඳ කල්පනා වෙයි. ඒකාන්තයෙන්ම තමා විසින් පව් නොකරන ලදී.රෞද්‍ර කර්ම නොකරන ලදී. සමාජයට හිංසාකාරී, පීඩාකාරී කර්ම නොකරන ලදී. සමාජයට හිතැති යහපත් ක්‍රියාවන්ම කරන ලදී. ඒ කුශල කර්මවලට අනුරූපව යම්බදු යහපත් ගතියෙක් ඇද්ද ඒ ගතියට පරලොව යෙමියි සොම්නස් වෙයි. පරිදේවනා නොකරයි. පපුවට අතින් ගසා ගනිමින් නොහඬයි. මෙලොව වශයෙන් වඩ වඩාත් සොම්නස් වෙයි.

මරණින් මතුයෙහි සුගති ස්වර්ග ලෝකයට පැමිණෙයි.එහි ඉෂ්ට වු කාන්ත වූ අතිශය සුව ගෙනදෙන්නාවූ සැප සම්පත් වින්දනය කෙරෙයි. යම්සේ සප්ත රත්නයෙන් සහ චතුර්විධ ඍද්ධියෙන් සමන්වාගත වූ සක්විති රජු ඒ හේතුවෙන් යම් සොම්නසක් විඳී ද එබඳු සොම්නසක් ඔහු වින්දනය කෙරෙයි.

පළමුව සක්විති රජුට චක්‍රරත්නය පහළ වෙයි. මෙම සප්ත රත්නයන්ගේ ආනුභාව බලයෙන් මුළුලොව දිනා සැප සම්පත් වින්දනය කෙරෙයි.

මෙලොව සක්විති රජ අභිරූප වූයේ ප්‍රසාද එළවනුයේ අන් මිනිසුන්ට වඩා උතුම් වර්ණ සම්පත්තියෙන් අතිශයින් සමන්වාගත වූයේ පළමු ඍද්ධියෙන් සමන්විත වෙයි.සක්විති රජ අන් මිනිසුන්ට වඩා දිර්ඝායුෂ්ක වූයේ දෙවන ඍද්ධියෙන් සමන්විත වෙයි.සක්විති රජ අන් මිනිසුනට වඩා අල්පාබාධ වූයේ ඉතා උණුසුම් නොවූ ඉතා සිසිල් නොවු ඉතා සමව පැසෙන ග්‍රහණියෙන් යුතුවූයේ තෙවැනි ඍද්ධියෙන් සමන්විත වෙයි.සක්විති රජ බොහෝ බමුණු ගෘහපතිනට පි‍්‍රය මනාප වූයේ සිව්වැනි ඍද්ධියෙන් යුතු වෙයි. සක්විතිරජු විඳීන මෙබඳු සුවයකටත් වඩා ස්වර්ගයෙහි විඳියි.

දීර්ඝකාලයක් එම ස්වර්ග සම්පත් විීඳි මෙම මිනිස් ලොව උපන්නේද ඔහු ක්‍ෂත්‍රිය මහාසාර කුලයෙක හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙක හෝ ගෘහපති මහාසාර කුලයෙක බොහෝ උපභෝග පරිභෝග සම්පත් ඇතිව උපදියි. කිසිදු සම්පත්තියකින් අඩුනොව ඉපිද තිවිධ සුචරිතයන් පුරුදු පුහුණු කෙරෙයි.අනුන් ලවාද එම සුචරිත කර්මයන් කරවයි.

එදා මිහිඳු මහරහතන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කර පව්කරන මනුෂ්‍යයා මෙලොව වශයෙන් පසුතැවීමට ලක්වන ආකාරයත්, පරලොව වශයෙන් දුක විඳින ආකාරයත් පැහැදිලි කළහ. එසේම පින් කරන මිනිසා මෙලොව වශයෙන් සතුටින් ජීවත්වන ආකාරයත් පරලොව වශයෙන් සැප විඳීන ආකාරයත් පැහැදිලි කළහ.

ඒ අනුව කළ යුතු නොකළ යුතුදේ කවරේදැයි ඔවුහු අවබෝධ කරගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ ආගමනය සිහිපත් කරන අද දින අවම වශයෙන් පංච දුශ්චරිතයෙන් වත් වෙන්ව ජීවත් වන්නේ යයි යමෙක් අධිෂ්ඨාන කර ගන්නේ නම් එයම මහා මහින්ද රහතන් වහන්සේගේ ආගමනය සිහිපත් කරමින් කරනු ලබන ශ්‍රේෂ්ඨ මිහිඳු පූජාවක් වනු ඇත.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]