අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර අටමස්ථානාධිපති
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
පල්ලේගම සිරිනිවාස නා හිමි
පළමුව මිහින්තලාවට වැඩම කළ උන්වහන්සේ පසුදින
අනුරාධපුරවරයට වැඩම කොට ජනතාවට ධර්මය දේශනා කළහ. ඝෝෂාකාරී නගරයේ
රාත්‍රිය ගත කිරීමට නුසුදුසු බැවින්
මිහිඳු මා හිමියන්ට, දේවානම්පියතිස්ස රජතුමා නේවාසික පහසුකම් සපයා
දුන්නේ නගරයට දකුණින්, නන්දන උද්‍යානයට යාබදව පිහිටි සිය රාජකීය
උද්‍යානය වූ මහමෙවුනා උයනේ පිහිටි රාජ මාලිගාවේ ය. එය වූ කලී මිහිඳු මහ
රහතන් වහන්සේ රාත්‍රියක් ගත කළ
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගෘහය ලෙස ඉතිහාසයට එක් වී තිබේ.
පසුදින උදයේ සමන්මල් වට්ටියක් රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ බැහැදැකීමට
පැමිණි රජතුමා සමඟ උන්වහන්සේ
මහමෙවුනා උයනේ විවිධ තැන්වල සංචාරය කළහ
ථෙරවාදී බුදුදහම මෙන්ම, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස මුළු
ලෝකයේම අප්‍රමාණ සම්භාවනාවට පාත්‍ර වී තිබෙන, අනුරාධපුර මහාවිහාරය ද
අපට ලැබුණේ මහින්දාගමනය නිසාවෙනි. ක්‍රි.පූ. 236 පොසොන් පුන් පොහෝ දින,
මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව සිට නිර්මල බුදු දහම රැගෙන ශ්‍රී ලංකාවට
වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ.
පළමුව මිහින්තලාවට වැඩම කළ උන්වහන්සේ පසුදින අනුරාධපුරවරයට වැඩම කොට
ජනතාවට ධර්මය දේශනා කළහ. ඝෝෂාකාරී නගරයේ රාත්‍රිය ගත කිරීමට නුසුදුසු
බැවින් මිහිඳු මා හිමියන්ට, දේවානම්පියතිස්ස රජතුමා නේවාසික පහසුකම්
සපයා දුන්නේ නගරයට දකුණින්, නන්දන උද්‍යානයට යාබදව පිහිටි සිය රාජකීය
උද්‍යානය වූ මහමෙවුනා උයනේ පිහිටි රාජ මාලිගාවේ ය. එය වූ කලී මිහිඳු මහ
රහතන් වහන්සේ රාත්‍රියක් ගත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගෘහය ලෙස ඉතිහාසයට
එක් වී තිබේ.
පසුදින උදයේ සමන්මල් වට්ටියක් රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ බැහැදැකීමට
පැමිණි රජතුමා සමඟ උන්වහන්සේ මහමෙවුනා උයනේ විවිධ තැන්වල සංචාරය කළහ. ඒ
ගමනේ දී නොයෙක් තැන්වල නතර වෙමින් මිහිඳු මහ රහතන් වහන්සේ සමන් මල්
දෝත බැගින් බිම හෙළන විට මිහිකත කම්පා වී ඇත. එයින් විමතියට පත්
රජතුමා ඊට හේතු විමසා තිබේ. මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිතුර වී ඇත්තේ,
තමන් වහන්සේ එසේ මිහිකත මත මල් හෙළූ ස්ථානවල අනාගතයේ දී, විවිධාකාර
ආගමික පූජ්‍යස්ථාන පිහිටන බවයි. එනම්, බෝධිය, චෛත්‍යය, සීමාමාලකය, දාන
ශාලාව ලහබත් ගෙය, දාන ශාලාව ආදී වශයෙනි.
වංශ කතාවල ඇති අතිශෝක්තියෙන් පවසන මෙම කතාවල ඇති විසිතුරු ඉවත් කර
විචාරශීලීව බලන විට මතු කෙරෙන දර්ශනය හදවත් පහන් කරන්නකි.
අනුරාධපුරයේ, අංග සම්පූර්ණ විහාරයක ඒ ඒ අංග පිහිටන ස්ථාන රජතුමාට
පෙන්වා දෙමින් මහමෙවුනා උයන පුරා ගමන් කරන ඉතා විචක්‍ෂණශීලී මහරහතන්
වහන්සේ නමකගේ දර්ශනයක් එමගින් මැවී පෙනේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ
ලංකා ගමනයෙහි ප්‍රධාන අභිප්‍රාය හා එය මනාව ගැළපේ. මිහිඳු මාහිමියන්ගේ
ක්‍රියාවෙන් මහත් සේ සතුටු වූ රජතුමා සිය මංගල හස්තියා ලවා මායිම්
ගන්වා, මහමෙවුනා උයන, මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කර ඇත්තේ ඉන්
අනතුරුවය. අතීත මහාවිහාරය අනුරාධපුරයේ බිහි වූයේ ඒ ආකාරයෙනි.
පාලි මහා බෝධි වංශය දක්වා ආකාරයට 10 වැනි සියවස වන විට මහා විහාර
භූමියේ ඉතා වැදගත් ස්ථාන සියල්ල පිහිටා තිබී ඇත. මේ සියලු ස්ථාන පිහිටා
ඇත්තේ සිංහ වික්‍රාන්තිය නම් වූ ක්‍රමවේදයකට අනුව වේ. සිංහ
වික්‍රාන්තිය යනු, සිංහයකු දකුණු පසට ආපසු හැරී බලන විට උගේ දෘෂ්ටිය
වැටෙන සහ ඒ ඒ අංග පිහිටන ස්ථාන වේ. මහාචාර්ය ටී.ජී. කුලතුංග එම ස්ථාන
දක්වන්නේ මෙලෙසිනි.
01. සිංහයාගේ වාලාධිය පිහිටි තැන - ශ්‍රී මහා බෝධිය
02. දකුණු පාදය පිහිටි තැන - ලෝවාමහාපාය
03. වම් පාදය පිහිටි තැන - සන්නිපාත ශාලාව
04. නාසය පිහිටි තැන – ධාතුඝරය
05. වම් ඇළය පිහිටි තැන – රංසිමාලිකය
06. දකුණු අත පිහිටි තැන – දානශාලාව
07. වම් අත පිහිටි තැන – රුවන්වැලි සෑය
08. උගුර පිහිටි තැන – කණ්ඨ පොකුණ
09. දෘෂ්ටිය වැටෙන තැන – පිළිමගෙය
අදත්, මහාවිහාරය භූමියේ සංචාරය කරන්නෙකුට මේ ස්ථානවලින් වැඩිම
ප්‍රමාණයක් හඳුනාගත හැකි වේ. ශ්‍රී මහා බෝධියේ උතුරු දොරටුවෙන් පිට වී
රුවන්වැලි මහා සෑයට යන මඟ, දකුණු පස ලෝවාමහාපාය දිස්වේ. ඒ ඉදිරිපිට
පාරේ වම් පස එක් පැත්තක් උත්තලව පිහිටි ගල් සහිත චතුරශ්‍රාකාර
ගොඩනැඟිල්ලේ කටයුතු ද සන්නිපාත ශාලාවය. මේ ස්ථාන පසු කර තවත් ඉදිරියට
ගිය විට පාරේ දකුණු පස මහා විහාරයේ දාන ශාලාව සහ වම්පස රුවන්වැලි මහා
සෑය දැකගත හැකිවේ. බොහෝ දෙනා අනුරාධපුරයේ සියලු සිද්ධස්ථාන මහමෙවුනා
උයනේ පිහිටා ඇති බව විශ්වාස කරතත්, සත්‍ය එය නොවේ. ථූපාරාමය පිහිටා
ඇත්තේ මහමෙවුනා උයනට උතුරින් තිබෙන නන්දන උයනේ ය. ජේතවනාරාම දාගැබ
මහමෙවුනා උයනට නැඟෙනහිරෙන් පිහිටි ඡ්‍යොතිය උද්‍යානයේ පිහිටා තිබේ. නව
නගරයේ සිට පැමිණෙන විට ජේතවනාරාමය පසු පසින් හාල්පානු පැළ සමඟ දිවෙන
පාරේ වම් පසින් ඇති පුරාණ මහාවිහාරයේ සීමා ප්‍රාකාරය අදත් පැහැදිලිව
පෙනේ. ලංකාරාමය සහ අභයගිරිය පිහිටා ඇත්තේ පුරාණ ඇතුළු නුවරටත් උතුරින්
පිහිටා ඇති අභයගිරි විහාර සංකීර්ණයේ ය. මහමෙවුනා උයනට බටහිරෙන් ඊට
පිටතින් මිරිසවැටි චෛත්‍යය ඉදිකර තිබේ. එකල ථූපාරාමය සහ මිරිසවැටිය,
මහාවිහාරයට අයත් ස්වාධීන විහාර ලෙස ක්‍රියාත්මක වී තිබේ. ඒවා මෙහෙණවර
හෙවත් භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි ආරාම විය. ඒ අතුරිනුත්, ථූපාරාමය,
සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ප්‍රධාන භික්‍ෂුණීන් වහන්සේලා වැඩ
සිටි ආරාමය විය.
මිහිඳු මහරහතන් වහන්සේ බිහිකළ අනුරාධපුර මහාවිහාරය නිර්මල ථෙරවාදී බුදු
දහමට අනුව ජීවිත ගත කළ උතුම් මහා සංඝයා වහන්සේලා ඹ්වත් වූ
පුණ්‍යභූමියක් විය. වළගම්බා රජ දවස, රජතුමාට ආධාර කළ කැපික්ගල තිස්ස
නම් මහා විහාර භික්‍ෂූන් වහන්සේට පෞද්ගලික පූජාවක් ලෙස අභයගිරිය පූජා
කිරීම සහ එය උන්වහන්සේ පිළිගැනීම නිසා තිස්ස හිමියන් මහාවිහාරයෙන්
නෙරපා හැරීමට මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා ක්‍රියා කළේ ද එකී උතුම්
ජීවන පැවැත්මේ ප්‍රතිඵලයක් වශයෙනි.
මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා නිසා මෙරටට සිදු වූ ජාතික සහ ශාසනික
මෙහෙවර අති විශාලය. දුටුගැමුණු රජ දවස, මෙරට එළාර නම් සොළී විදේශ
රජතුමාගෙන් රට බේරා ගැනීමට පෙරමුණ ගත්තේ මහා විහාරික මහා සංඝයා
වහන්සේලා බව ඉතිහාසයේ සඳහන් වේ. එවකට දකුණු සිරිලක වැඩ සිටි
උන්වහන්සේලා, ගැමුණු රජුගේ සේනාවට ඉදිරියෙන් පිරිත් දේශනා කරමින් වැඩම
කරවා තිබේ. වළගම්බා රජු දවස මෙරට පැතිර ගිය බැමිණි කියා මහා සාය නිසා
ජනතාව මෙන්ම භික්‍ෂූන් වහන්සේලා ද විශාල වශයෙන් මිය ගියහ. එතෙක් මුඛ
පරම්පරාගතව රැකගෙන ආ ධර්මය, එකී භික්‍ෂූන් වහන්සේලාගේ ආභාෂයත් සමඟම
නැති වී යා හැකි බව කල්පනා කළ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා රජතුමාගේ
අනුග්‍රහයෙන්, මාතලේ අළුවිහාරයේ දී මහා ධර්ම සංඝායනාවක් පවත්වා
ග්‍රන්ථාරූඪ කර තැබූහ. අද මුළු ලෝකයට, නිර්මල ථෙරවාදී බුදුදහම ඉතිරි වී
ඇත්තේ අදින් වසර 2000 කට පෙර දී මහාවිහාරික මහා සංඝයා වහන්සේලාගේ එකී
දූරදර්ශී ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙනි.
දඹදිව අශෝක මහ අධිරාජයා ලෝකයේ විවිධ රටවලට ධර්ම ප්‍රචාරය කළේ ය. එහෙත්
පසුකාලීනව, ඒ බොහෝ රටවලින් බුදුදහම නැති වී ගියේ ය. එහෙත් ශ්‍රී ලංකාවේ
එසේ නොවීය. අනුරාධපුර මහා විහාරයෙන් මුළු රට පුරාම බුදු දහම සහ සංඝ
පරම්පරාව පැතිරී ගියේ ය. අනතුරුව, සියම, අමරපුර දේශය, කාම්බෝජය ආදී
රටවලට ද මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා බුදු දහම රැගෙන ගියහ.
ඓතිහාසික තොරතුරු අනුව, සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබාගත්, දඹදිව
බුද්ධගයාවේ පාලනය, ඉතා දිගු කාලයක් පවත්වාගෙන ගොස් තිබෙන්නේ,
මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා විසිනි. මහාවිහාරයට අප්‍රමාණ
අනුග්‍රහයක් දැක් වූ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා ඒ කාලයේ බුද්ධගයාව
වන්දනා කිරීමට ගොස් තිබේ. ඒ ගමනේ දි ඉදිකළ එතුමාගේ බිසවුන් වහන්සේගේ
පිළිරුවත් අදත් බුද්ධගයා විහාරය ඉදිරිපිට තොරණ පාමුල දැක ගත හැකිවේ.
පසුකාලීනව, මහාවිහාරිකයන් සමඟ අභයගිරි සහ ජේතවන විහාරික භික්‍ෂූන්
වහන්සේලා ඇති කර ගත් ප්‍රතිපත්තිමය ගැටලු නිසා මහා විහාරික භික්‍ෂූන්
වහන්සේලා අප්‍රමාණ කරදර දුෂ්කරතාවලට මුහුණ දී තිබේ. මහසෙන් රජ දවස
මහාවිහාරයේ උපෝසථාගාරය වූ ලෝවාමහාපාය බිමට සමතලා කර ඇතුන් ලවා සීසා උඳු
වපුරා ඇත්තේ මහා ප්‍රතිඵලයක් වශයෙනි. එකී දුෂ්කරතා කෙතෙක් පැමිණියද
මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා, මහාවිහාරය සහ මහාවිහාරයේ ඇති පූජනීය
සිද්ධස්ථාන අතනොහැර සිය ජීවිත පූජාවෙන් ඒවා රැක ගැනීමට කටයුතු කර තිබේ.
විශේෂයෙන්ම එකල මහාවිහාරය, මහා ධර්ම භාණ්ඩාගාරයක් බවට පත් වී තිබූ
ආකාරය ඉතිහාසයෙන් හෙළි වේ. බුද්ධඝෝෂ නම් වූ මහා බහුශ්‍රැත භික්‍ෂූන්
වහන්සේ ධර්ම ග්‍රන්ථ සොයා, අනුරාධපුර මහාවිහාරයට පැමිණ ඇත්තේ එබැවිනි.
උන්වහන්සේ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා සමඟ ධර්ම සාකච්ඡාවල යෙදෙමින්
පොත් පත් පරිහරණය කරමින් ලියූ විශුද්ධිමාර්ගය ඇතුළු ග්‍රන්ථ අදත් ලෝක
පූජිතව තිබේ. එමෙන්ම පස්වැනි සියවසේ දී මහාවංශය රචනා කර ඇත්තේ ද
මහාවිහාරයේ වැඩ විසූ ‘මහානාම’ නම් භික්‍ෂූන් වහන්සේ නමකි. ශ්‍රී
ලංකාද්වීපයේ ඉතිහාස ඇතුළත් මහාවංසය, වර්තමාන ලෝකයේ අති විශිෂ්ට ඉතිහාස
ග්‍රන්ථයක් ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වේ. ඒ එහි ඇතුළත්
ඓතිහාසික තොරතුරු පසුකාලීනව, පුරාවිද්‍යා ගවේෂණවලින් ඉතා සත්‍ය බව
ඔප්පු වී තිබෙන බැවිනි.
එහෙත් අනුරාධපුර රාජධානී යුගය නිමාවීමත් සමඟම රජරට ජනශූන්‍ය වී
වනාන්තරයෙන් යට වී ගොස් තිබේ. මහා විහාරයේ ඇති පූජනීය දාගැබ් ඇතුළු
සිද්ධස්ථාන ආක්‍රමණයටන් ගොදුරු වී නටබුන් වී ගොස් ඇත. එය එසේ වුවද,
ලෝකයේ ඇති ලිඛිත ඉතිහාසයක් සහිත පෞරාණිකම වෘක්‍ෂය සේම, ලෝකයේ ජීවමාන
අති පූජනීය වූ එකම වස්තුව ද වන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අතහැර නොයෑමට තරම් මහාවිහාරික මහා සංඝයා වහන්සේලා අධිෂ්ඨානශීලී වී
තිබේ. සිව්පසය ගැන නොසිතා වන සතුන්ගේ අපමණ ගැහැට මැද ඒ සියලුම දුෂ්කරතා
දරා ගනිමින් උන්වහන්සේලා සියවස් ගණනාවක් පුරා ජය ශ්‍රී මහා බෝධිය රැක
ගැනීම ඉතා විශ්මිත කර්තව්‍යයකි. අදත් මුළු ලෝකයට ජය ශ්‍රී මහා බෝධීන්
වහන්සේ ඉතිරිවී ඇත්තේ උන්වහන්සේලාගේ එම ශ්‍රේෂ්ඨ කැප කිරීමේ
ප්‍රතිඵලයක් වශයෙනි.
මෙසේ බලන විට අනුරාධපුර මහා විහාරය තවත් විහාරාරාමයක් පමණක් නොවේ. එය
මිහිඳු මහරහතන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ලංකාවේ ප්‍රථම විහාරයයි.
ක්‍රි.පූ. 236 දී ආරම්භ කළ එය එදා පටන් අඛණ්ඩව පවතින ලෝකයේ පැරැණිම
විහාරස්ථානයයි. අද එහි වයස වසර 2250 කි. නිර්මල ථෙරවාදී බුදුදහම රැකගත්
මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් අදටත්
ලෝකයට මේ මහාර්ඝ සද්ධර්මය ඉතිරි වී තිබේ. උන්වහන්සේලා ශ්‍රී ලංකාව පුරා
පමණක් නොව ලෝකයට සද්ධර්මය නමැති උතුම් දායාදය තිළිණ කළහ. පසුකාලීනව
සියම් දේශයෙන් අපට යළි උපසම්පදාව රැගෙන යා හැකි වූයේ එදා මහාවිහාරයෙන්
සියමට බුදුදහම රැගෙන ගිය බැවිනි. ශ්‍රී ලංකාවේ වංශ කතාව ලිවීම නිසා
මහාවිහාර භික්‍ෂූන් වහන්සේලා සිය මාතෘ භූමියට අසම සම සේවාවක් ඉටුකළහ.
එය නොවිණි නම්, අප අද අපේ ඉතිහාසය නොදන්නා ජාතියක් වීමට ඉඩ තිබිණ.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතේ පිටදී වැඩ සිටි උතුම් ජය ශ්‍රී
මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව සිය පණමෙන් රැක ගැනීමට උන්වහන්සේලා සමත් වූහ.
අද මුළු ලෝකයට ජය ශ්‍රී මහා බෝධිය නම් අති පූජනීය වස්තුව ඉතිරි වී
තිබෙන්නේ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලාගේ අප්‍රමාණ කැපකිරීමේ
ප්‍රතිඵලයක් වශයෙනි.
එබැවින් අනුරාධපුර මහා විහාරයේ ඉතිහාසය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය බව
කිව යුතු ය. මහාවිහාරයේ දර්ශනය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම දර්ශනය බව කිව
යුතු ය. ඒ දර්ශනය අවිහිංසාව, සමානාත්මතාව අල්පේච්ඡතාව පදනම කර ගත්තකි.
එබැවින් මහාවිහාරය නිවැරැදිව අනාගතයට රැක ගැනීම යනු අතීතයේ මෙන්ම
සමෘද්ධිමත් දේශයක් සහ තෘප්තිමත් ජනතාවක් බිහිකරලීමක් වේ. |