UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලාව මිහි මවගේ ළය මඬල සේ ය

මිහින්තලාව මිහි මවගේ ළය මඬල සේ ය

බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ පරම පවිත්‍ර සදාතනික සත්‍ය රැගත් සද්ධර්මයේ මහා සන්දේශය තම ආධ්‍යාත්මයේ රඳවා ගනිමින් සද්ධර්ම චාරිකාව ඇරඹුවේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව පායා ආ තවත් පොසොන් පුන් පොහෝ දිනකදීය.

ගමන යෙදී තිබුණේ ජම්බුද්වීපයේ වේදිසගිරි විහාර භූමියේ සිට අනුරාධපුර රාජධානියට මයිල 8 ක් පමණ දුරින් පිහිටි ඉතා රමණීය වූ මිශ්‍රක පර්වතය වෙතය. සෑගිරිය නොහොත් මිහින්තලාව නමින් ද වහරන්නේ මෙම අයස්කාන්ත ශුද්ධ භූමියම ය. රටක සිට තවත් රටකට සපැමිණියා වූ මෙම චාරිකාව ඇත්තෙන් ම සදහම් චාරිකාවක්ම ය. සුරැකිව රැගෙන ආවේ රන්, රිදී, මුතු, මැණික් දියමන්තිවලටත් වඩා වටිනා තිළිණයකි.

එහෙත් දරුණු අපරාධකරුවකුට හෝ ගුවන් හෝ මුහුදු මංකොල්ලකරුවකුටවත් උදුරා ගත නොහැකි එසේම අදටත් මිලක් තක්සේරු කළ නොහැකි අසහාය වූ අමිල තිළිණයකි.

මෙම සදහම් සන්දේශය නම් වටිනා ත්‍යාගය රැගෙන සපැමිණි ගුවන් නියමුවාණන් වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. මිහින්තලාවේ අඹතලාවේ දී දේවානම්පියතිස්ස නිරිඳාණන් මිහිඳු රහතන් වහන්සේගෙන් අසන්නේ ‘ඔබ වහන්සේ කුමකින් වැඩිසේක් දැයි’ කියා ය. එවිට මිහිඳු හිමියෝ මෙසේ පවසති.

“දියෙන් හෝ ගොඩින් හෝ නො ආවෙමු”. දියෙනුත් නො ආවේ නම් ගොඩිනුත් නො ආවේ නම් පැමිණ ඇත්තේ ආකාශයෙන් බව බුද්ධිමත් රජතුමා නිශ්චය කර ගත්තේ ය.

අද තාක්‍ෂණික දියුණුවත් සමඟ ගුවනේ පොදු බලය සතුව ඇත්තේ ගුවන් යානයට ය. මීට වසර දෙදහස් ගණනකට එපිට මෙවන් විද්‍යාත්මක, තාක්‍ෂණික දියුණුවක් බලයක් නො තිබුණ ද එදා මහ රහතන් වහන්සේලා සතුව පැවැති එක් බලයක් වූයේ විද්‍යා තාක්‍ෂණික ඥානය පැරදවීමට සමත් වූ ප්‍රඥා ලෝකයේ ඵලයක බලයක් වූ සෘද්ධි බලයය.

එසේ නම් සෘද්ධි බලයෙන් ආකාශ ගංගාව තරණය කරමින් පැමිණියා වූ සදහම් චාරිකාවේ ගුවන් තොටුපළ ලෙස තෝරාගත් පිවිතුරු මහා භූමි තලාව මිහින්තලාව විය.

මිහින්තලාව මිහිමවගේ ළය මඬලසේම ය. අද ගුවන් තොටුපළක ගමන් පථය ආලෝකවත් කරන්නේ විද්‍යුත් බලය රැගත් විදුලි බුබුළු රාශියකිනි. මෙම ආලෝකයෙන් රාත්‍රියේ දී හෝ අඳුරු කාලගුණයකදී ගුවන් යානය නිශ්චිතව ගොඩබැස්සවිය යුතු ස්ථානය ගුවන් නියමුවාට පෙන්වා දෙනු ලබයි.

සද්ධර්මය ආධ්‍යාත්මයේ දහම් ගබඩාවේ සුරැකිව රැගෙන වැඩියා වූ මේ උත්තුංග ගුවන් නියමුවාණන්ට මේ මහා පිවිතුරු බිමේ ගුවන් ගමන නැවැතිය යුතු නිශ්චිත ස්ථානය පෙන්වා දෙනු ලැබුවේ සොබාදම් දිනිතිය විසින් දැල්වූ විදුලි බුබුළක් සේ එළිය කළ චන්ද්‍රකාන්ති පාෂාණය නම් ආලෝක ප්‍රභවය විසිනි.

සේල චෛත්‍ය නොහොත් අම්බස්තල සෑ රදුන් සමීපයේ අදත් දිදුළන්නේ එම පාෂාණාලෝකයයි. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහත්ඵලලාභිහු ද ෂට් අභිඥාලාභි සුමන සාමණේරයන් වහන්සේ ද අනාගාමී ඵල නෙළු භණ්ඩුක නම් උපාසක තුමා ද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමඟ සෘද්ධි බලයෙන් මෙම ස්ථානයට වැඩි අනෙකුත් බෞද්ධ දූත පිරිස වූහ.

මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට ප්‍රථමයෙන් හමු වූ ස්ථානයේ දී දේශනා කළ ‘චුල්ල හත්ථිපදෝපම සූත්‍රය’ ශ්‍රවණය කළ දෙවනපෑතිස් නිරිඳු සහ හතළිස් දහසක මහ පිරිවර පිරිස තෙරුවන් සරණ යමින් සම්මා සම්බුදු දහම වැළඳ ගත්හ.

එදවස සෞම්‍යය සැඳෑ සමයේ දී පැවිදි වීමට අපේක්‍ෂාවෙන් සිටි භණ්ඩුක කුමරු ග්‍රාම සීමාවේ දී සසුන්ගත කරන ලදී. ඒ සමඟම උන්වහන්සේගේ උපසම්පදා පුණ්‍ය කර්මය ද සිදුවිය. ලාංකේය බිමේ වූ ප්‍රථම පැවිදි පින්කම එය වූ අතර එ සැනෙන් භණ්ඩුක භික්‍ෂූන් වහන්සේ රහත් ඵලයද ලබා ගත් සේක.

මේ අසිරිමත් අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ, සුමන සාමණේරයන් වහන්සේ කැඳවා පැවැසුවේ ‘ධර්ම ශ්‍රවණ කාලය ඝෝෂා කරව කියාය. එවිට සුමන සාමණේර රහතන් වහන්සේ විචාලේ ‘කොතෙක් දුරට ඇසෙන්නට ද හඬ නැඟිය යුතු වන්නේ’ කියා ය.

එවිට මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ මුළු තාමුපර්ණී දිවයිනටම (ලක් දෙරණ) ඇසෙන්නට හඬ නැගිය යුතු බවය.

සුමන සාමණේරයන් වහන්සේ විසින් සෘද්ධි බලය පා මුළු ලක්දිවටම ඇසෙන සේ කාල ඝෝෂා කළහ. එය ධර්ම ශ්‍රවණය පිණිස පැමිණීමට කළ ආරාධනාවකි. මෙම හඬ බඹලොව දක්වා පැතිරුණු බව වංශකතාවන්හි සඳහන්ව තිබේ. මෙය මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය.

‘සාමණේරයන්ගේ හඬ අසා භූමි නිගී‍්‍රත දෙවියෝ ඝෝෂා කළහ. පිළිවෙළින් ඒ ශබ්දය බඹලොවට ද නැංගේ ය. ඒ ඝෝෂාවෙන් දෙවියන්ගේ මහා සමාගමය විය. ස්ථවීර තෙමේ ඒ සමාගමයෙහි ‘සමචිත්ත’ සූත්‍රය දේශනා කළ සේක. අසංඛ්‍ය ගණන් දේවතාවුන්ට ධර්මාභිසමය වී බොහෝ නාග සුපුර්ණාදී හු සරණෙහි පිහිටියෝ’ යි වශයෙනි.

එදා බුදුන් වහන්සේ දවස සැරියුත් මහරහතන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කළ විචිත්‍රවත් ස්වරයෙන්ම අනුබුදු මිහිඳු හිමියන් ද එය දේශනා කළ බව පැවැසෙයි. ඒ හඬට බඹලොව දක්වා වූ දෙවි දේවතාවුන් වහන්සේලා පහන් සිතැතිව එම සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ බවද පැවසෙයි.

එසේ සුමන සාමණේරයන් ධර්ම ශ්‍රවණයට මුළු ලක්දිව් තලයේ සතර දිගන්තයම ආවරණය කරමින් ද එතැනින් නො නැවැතී බඹලොව දක්වා ද ඇසෙන්නට ප්‍රබල සන්නිවේදනයක් කළේ මෙම ආරාධනා ගල ඉස්මත්තේ සිට බව කියැවෙයි.

උස් කඳු මුදුන් කීපයකින් ම සුසැදි මිහින්තලයේ මේ අපූරු චමත්කාරය දනවන පහන් හද නිබඳ පුදසුනක් කරවූ ආරාධනා ගල නම් වූ පහන් කන්ද ඒ ආරාධනාත්මක මහා හඬ පෞර්ෂයේ ශබ්ද තරංගයන් බඹලොව දක්වා සන්නිවේදනය කිරීමට දායක වූ සම්ප්‍රේෂණ කුලුනක් බඳු විය.

තව දින කිහිපයකින් පොසොන් පුන්සඳ නැඟී අඳුරු රාත්‍රිය සෞම්‍ය වූ සඳ කිරණාලෝකයෙන් නැහැවෙනු ඇත. ඉතින් ඔබත් නැඟෙන පොසොන් සඳ මඬල බලන්නට එන්න මිහින්තලයට.

නගින්න ඒ සොඳුරු ආරාධනා ගල මතට. වසා ගන්න දෑස් හෙමිහිට. හාත්පසින් හමා එන සිහින් සුළං රැල්ලේ දැවැටී එන මන්දස්වරය අසන්නට අවදි කරගනු මැන සැදැහැති සිත් මඬල.

එවිට ඔබට අනුබුදු මිහිඳු අප මහාරහතන් වහන්සේගේ මධුර මනෝහර ස්වරය ඇසෙනු ඇත. ඒ සමඟම දෙවි දේවතාවුන් වහන්සේලා ද සාධු! සාධු! නදින් නගන ප්‍රසාදාත්මක හඬ සහෘද බොදු සැතැති ඔබට ඇසෙනු නියතය!.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]