Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව - 24 මහා සුදස්සන සූත්‍රයෙන් බුදුරදුන්ගේ අතීතාවර්ජන දේශනාව

පුනරුප්පත්ති ලිපි මාලාව - 24

මහා සුදස්සන සූත්‍රයෙන් බුදුරදුන්ගේ අතීතාවර්ජන දේශනාව

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ මජ්ඣිම නිකායේ ඇතුළත් ‘නළකපාන සූත්‍රයේ’ එනපුනර්භව විස්තරය විමසා බැලීමට ය.  මෙවර අපගේ අවධානය යොමුවන්නේ දීඝනිකායේ ඇතුළත් මහා සුදස්සන සූත්‍රයේ සඳහන් බුදුරජාණන් වහන්ස්ගේ අතීත ජන්මයක් පිළිබඳ කරුණු විමසා බැලීමට ය.

ප්‍රශ්නය- ‘ මහා සුදස්සන සූ‍්‍රත්‍රයේ’ සඳහන් කරුණු තුළින් බුදුරජාණන් වහන්සේගේ අතීත ජන්මයන් පිළිබඳ කරුණු හා චිත්ත පරම්පරාවන්ගේ සම්බන්ධය විස්තර වන්නේ කෙසේ ද?

මෙම ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනෙහි වූ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටියදීය. එනම් ආනන්ද හිමියන්ගේ ඉල්ලීමකට අනුවය. ආනන්ද හිමියන්ගේ ඉල්ලීම වූයේ චම්පා, සාවත්ථි, සාකේත, කෝසම්බි, බාරාණසී වැනි මහා විශාලවූ නගර තිබියදී කුසිනාරාව වැනි ඉතා කුඩාවූ මෙන්ම දුර්ගම වූ නගරයක පිරිනිවන් පෑම නුසුදුසු බවයි. එමෙන් පෙර කී නගරයන්හි බුදුරජාණන් වහන්සේගේ ශරීර පූජාව සිද්ධ කිරීමට අවැසි සියලු පහසුකම්වලින් යුත් ක්‍ෂත්‍රිය ශාලා, බ්‍රාහ්මණ ශාලා, ගෘහපති ශාලා ආදී වූ විශාල ශාලාවන් ඇති බවයි.

“මා හන්තෙ, භගවා, ඉමස්මිං බුද්දක නගරකෙ උජ්ජඞ්ගලනගරකෙසාඛානගරකෙ පරිනිබ්බාසී, සන්ති, හන්තෙ, අඤ්ඤාණ මහානගරානි, සෙය්යථිදං - චම්පා, රාජගහං, සාවත්ථි, සාකෙතං, කොසම්බි, බාරාණසී, එත්ථ භගවා පරිනිබ්බායතු. එත්ථ බහූ බක්තියමහාසාලා බ්‍රාහ්මණමහාසාලා ගහපතිමහාසාලා තථාගතෙ අභිප්පසන්නා, තෙ තථාගතස්ස ශරීරපූජං කරිස්සන්තී” ති.

එවිට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ ආනන්දය, මේ කුසිනාරාවට කුඩාවූ දුර්ගම නගරයක් ලෙස නොකිවයුතු යන්නයි.

“මා හෙවං, ආනන්ද, අවචමා හෙවං, ආනන්ද, අවච – ඛුද්දකනගරකං උජ්ජඞ්ගලනගරකං සාඛානගරක”න්ති

ඊට හේතු ලෙස උන්වහන්සේ දේශනා කරනු ලබන්නේ පෙර තමන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජව මහත් වූ ඓශ්චර්යය වින්දනය කරමින් සියලු සම්පත්තීන්ගෙන් අනූන වූ මේ කුසිනාරාවෙහිම රාජ්‍ය විචාල බවයි.

“භූතපුබ්බං. ආනන්ද, රාජා මහාසුදස්සනො නාම අහොසි ඛත්තියො මුද්ධාවසිත්තො චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො, රඤ්තො, ආනන්ද, මහාසුදස්සනස්ස අයං කුසිනාරා කුසාවතී නාම රාජධානී අහොසි, පුරත්ථිමෙන ව පච්ඡිමෙන ව ද්වාදසනයොජනානි ආයාමෙන, උත්තරෙන ච දක්ඛිණෙනව ච සත්තයොජනානි චිත්ථාරෙන, කුසාවතී, ආනන්ද, රාජධානී ඉද්ධාචෙව අහොසි ඒකාව බහුජනංච ආකිණ්ණමනුස්සංච සුභික්ඛා ච. සෙය්යථාපි, ආනන්ද, දෙවානං ආළකමන්දා නාම රාජධානි ඉද්ධා චෙව හොති පිතා ච බහුජනා ච ආකිණ්ණයක්ඛා ච සිභික්ඛා ච: එවමෙව ඛො, ආනන්ද, කුසාවතී රාජධානී ඉද්ධා වෙව අහෝසි චීතාව බහුජනාව : ආකිණ්ණමනුස්සාච සුභික්ඛා ව, කුසාවතී, ආනන්ද, රාජධානී දසහි සද්දෙහි අවිචිත්තා අහොසි දිවා චෙව රත්තිඤ්ච, සෙය්යථිදං - හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන භෙරිසද්දෙන මුදිඞ්ගසද්දෙන, වීණාසද්දෙන ගීතසද්දෙන සඞ්ඛසද්දෙන සම්මසද්දෙන පාණීතාළසද්දෙන ‘ අස්නාථ පිවථ බාදථා’ති දසමෙන සද්දෙන.

ආනන්දය, පෙර ශීර්ෂාභිෂේක කරන ලද මහනුභාව සම්පන්නවූ මහා සුදස්සන නම් ක්‍ෂත්‍රිය රජ කෙනෙක් විය. මේ සුදස්සන රජුට මේ කුසාවතී නම් රාජධානිය විය. මෙම කුසාවතී රාජධානිය පෙර දිසාවේ සිට පසු දිසාව දක්වා වු දිගින් යොදුන් දොළොසක් විය. උතුරු දිසාවේ සිට දකුණු දිසාව දක්වා වූ පළලින් යොදුන් සතක් විය. ආනන්දය, මේ රාජධානිය සමෘද්ධිමත් වූයේ බොහෝ ජනයාගෙන් යුක්තවූයේ සුලභවූ ආහාරපාන ඇත්තේය, ආනන්දය, සෘද්ධිමත් බවින් දෙවියන්ගේ ආලකමන්දා නම් මෙම රාජධානිය දිවා රෑ දෙකෙහිම ඇත්, අස් රථ, භේරී, මුදිංග, වීණා, ගීත, සංඛ සම්මපාණිසාල ආදි දස විධි සත්වයන්ගෙන් අතුරු සිදුරු නැති විය. සෑම තැනම තව තව බෞද්ධ ආදි සාධු සත්වයන්ගෙන් ශෝභමාන විය.

එපමණක් නොව මෙම රාජධානිය ස්වර්ණ – රජකාදි ප්‍රාකාර සතකින් වටව තිබූ බවද තවදුරටත් විස්තර වේ. මහා සුදස්සන රජුට චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණි රත්නය,, ස්ත්‍රී රත්නය, ගහපති රත්නය හා පරිණායක රත්නය යන සප්තවිධ රත්නයන් පහළ වූ ආකාරය ද මෙහි සවිස්තරව ඇත. ධම්මපාසාද පොක්ඛරණී ආදී වූ විවිධ සම්පත්තීන් පහළව විවිධ ඓශ්චර්යවත් දේ සිදුවූ ආකාරය මෙහි සවිස්තරව ඇත.

මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ජන්මයක් පිළිබඳ කළ අතීතාවර්ජන දේශනාවකි. ජාතක පාලියේ විස්තර වන්නේ ද බුදුරජාණන් වහන්සේ අතීත ජන්මයන් හි විවිධ ආත්මයන්හි ඉපිද පාරමී ධර්මයන් සම්පූර්ණ කළ අවස්ථාවන්ය. ඒ පිළිබඳ අපි පෙර සාකච්ඡාවක දී විස්තර කළෙමු. බෝධිසත්වයන් වහන්සේ ඇතැම් අවස්ථාවල රජවරු, සිටුවරු වශයෙන් පමණක් නොව සක්විති රජවරුන් වශයෙන් ද ඉපිද සිට අවස්ථා ජාතක කතාවන්ගෙන් හා ඇතැම් සූත්‍ර ධර්මයන්ගෙන් පැහැදිලි වෙයි.

මෙසේ බෝධිසත්වයන් වහන්සේ විවිධ භවයන් හි ඉපිද සම්මා සම්බුද්ධත්වය දක්වා සිත දියුණු කරගත් බව ජාතක කථාවන්ගෙන් හා අතීත ජන්මයන් පිළිබඳ කරුණු දැක්වෙන සූත්‍රයන්ගෙන් පැහැදිලි වෙයි. මෙයින් පැහැදිලි වන එක් කරුණක් නම් අපේ ශරීරය මරණින් පසු විනාශයට පත් වුවද, සිත වෙනස් තත්වයකට හෙවත් විනාශයකට පත් නොවෙන බවයි. එසේ සිත විනාශ වන්නේ නම් නැවත භවයකදී එය නැවත සිතක් විය යුතුය. එනම් සිත භංගත්වයකට හෙවත් බිඳීමකට පත් නොවෙයි. එසේ වුවහොත් අප එකතු කරගත් කර්ම ශක්තීන් විනාශයට පත් වන්නේය. ධර්මයේ චිත්ත පරම්පරාව විස්තර වන්නේ වැළක් ආකාරයටය. මරණයත් සමඟ ශරීරය බිඳී යන අතර සිත බිඳීමකට පත් නොවී නිවනට යන තෙක් කර්ම ශක්තීන් රැස්කරමින් ගමන් කරයි.

එක් සිතක් නිරුද්ධ වූ පසු එකවර සිත් කිහිපයක් ඇතිවී අතු බෙදී යන ස්වභාවයක් ද එහි නැත. එබැවින් එක් සත්වයෙක් එක් සත්වයෙකු ලෙසම සිටිනු මිස, කිසි කලෙක බෙදී දෙදෙනෙක් නොවන්නේය. නැවත නැවත ජාතියෙන් ජාතිය, උපදිනා සත්වයාගේ ශරීරවල එකිනෙකට සම්බන්ධයක් නැත. සිත් පරම්පරාව පමණක් එකක් වේ. මිනිසෙකු මැරී දෙව්ලොව උපන් කල්හී දෙව් ලොව උපන්නේ ඒ මිනිසාය කියනුයේ, දැන් ඒ දෙවියාගේ ශරීරය ඇසුරුකොට පවත්නේ මිනිසාගේ ශරීරයේ පැවති චිත්ත පරම්පරාව නිසාය.

මේ චිත්ත පරම්පරාවේ සම්බන්ධය අතිශය සියුම් එකකි. ඒ පිළිබඳ තවත් විස්තර ශ්‍රාවක ශ්‍රාවිකා චරිතාපදාන ඇසුරින් ඊළඟ සාකච්ඡාවන්හිදී විස්තර කරන්නෙමු.

සටහන: බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 23 පුනර්භවය ගැන නළකපාන සූත්‍රයෙන්