Print this Article


පූජාච පූජනීයානං

ගලබඩ ශ්‍රී පියසිරි අනු නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්‍ෂිත අධ්‍යාපනවේදී ශාස්ත්‍රපති අගලබඩ ශ්‍රී‍්‍ර පියසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටක විශාරද ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහානාහිමි ප්‍රමුඛ සානුනායක ත්‍රිංශද් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අපේ‍්‍රල් මස 26 වන දින උපාධ්‍යාය ධුරය පිළිබඳ අක්ත ප්‍රදානය කෙරිණි.

හම්බන්තොට දිසාවේ අගලබඩ ග්‍රාමයේ දෝන ගිමාරා ඡාතුං දහනායක ගිමාරා හීන් හාමිනේ මාතාව ගේ හා දොන් ඒවිස් චන්ද්‍රදාස ජාලන් මුහන්දිරම් වෙද රාළහාමිගේ පුත්‍රයෙකු ලෙස 1945 ඔක්තෝම්බර් 20 වන දින පින්වත් කුමරෙකු මෙලොව එළිය දුටුවේය.

හොරේවෙල මහා විද්‍යාලය හා දෙනිආර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර මාතර කිතුලේවෙල ජයමහා විහාර පරිවේණාධිපතිව විසූ රාජකීය පණ්ඩිත අගලබඩ ඤාණිස්සර, දිද්දෙනිපොත පේමරතන නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් 1959 ජනවාරි 29 වන දින අගලබඩ පියසිරි හිමි නමින් පැවිදි බිමට පත් විය. මාර / කිතුලේවෙල ජයමහා විහාර විද්‍යායතන පිරිවෙණින් මූලික හා උසස් අධ්‍යාපනය ලද පියසිරි හිමියෝ 1965 දී මහනුවර මහා විහාර උපෝසථාගාරයේදී තෙල කී ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1966 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදි උපාධිය ද 1972 දී එම විශ්ව විද්‍යාලයෙන්ම අධ්‍යාපනවේදි උපාධියත් 1985 දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්හ.

1972 දී ගුරු වෘත්තියට පිවිස වරාපිටිය මහා විද්‍යාලය බ/ඇත්තලපිටිය මහා විද්‍යාලය මහ/වාවින්න විද්‍යාලය ආදී විදුහල් කිහිපයක උප ගුරුවරයෙකු ලෙසත් සේවය කොට 1990 දී හ/වරාපිටිය නවෝද්‍යා පාසලේ විදුහල්පති ලෙසත් සේවය කොට 2002 දී විශ්‍රාම ලැබූහ.

සිය ගුරු හිමියන්ගේ අපවත්වීමෙන් 1989 දී විහාරාධිපති ධුරයට පත් පියසිරි හිමියන් ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය සකලාංග පූර්ණ දර්ශනීය විහාරයක් බවට ගොඩනැගූහ. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් වාර්ෂික ඇසළ පෙරහර පවත්වමින් රුහුණේ සංස්කෘතික අනන්‍යතාව ලොවට විහිදා පෑහ.

වලස්මුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ලෙස දීර්ඝ කාලයක් සිට මේ දක්වා ක්‍රියාකරන පියසිරි හිමියෝ ප්‍රාදේශීය සමිති සමාගම් රැසකද අනුශාසක ලෙස කටයුතු කරති.

සම්බුද්ධ ශාසනයටත්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත්, ජාතියටත් අනගි මෙහෙවරක නියැළී සිටි පියසිරි හිමියන් කෙරෙහි පැහැදුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය 1991 දී සද්ධර්ම කීර්ති ශ්‍රී ඤාණිස්සර පේ‍්‍රමරතන ගෞරව නාම සම්මුතිය සහිතව හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයද 1992 දී කර්මවාගාචර්ය පදවියටද 1997 දී විධායක කාරක සභික පදවියටද පත් කරන ලද අතර සංස්කෘත සාහිත්‍ය චක්‍රවර්ති, රාජකීය පණ්ඩිත, කැකුණේවෙල ශ්‍රී පියරතනාභිධාන අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධුරයට 2011 දෙසැම්බර් 16 වන දින පත් විය.

අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිරෝගි සුව චිර ජීවනය ලැබේවා.


විටියල කුසුමසිරි හිමි

මාතර පුරාණ මන්තින්දාරාමයේ විටියල කුසුමසිරි නායක ස්වාමීන් වහන්සේ ජූනි මස හයවන දින (06) අසූ දෙවැනි (82) වියට පා තැබූහ. මාතර, කඹුරුපිටිය, ඉහළවිටියල ග්‍රාමයේ දොන් අන්දරයස් සහ දෝන සිසිලියනා මාතාව දෙමාපියන් වූහ.

1932 පොසොන් මස හය වනදා උපන් කුමරුට සිරිදියස් යන නම තැබීය. ඉහළ විටියල ශ්‍රී ගුණරතන විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, කපුදූව කනිෂ්ඨ විද්‍යාලයෙන් දහවැනි ශ්‍රේණිය දක්වාත් පාසල් අධ්‍යාපනය ලැබීය.

1946 මැයි 16 වන දින කඩවැද්දුවේ සිරිනිවාස නාහිමියන්ගේ උපාධ්‍යාය යටතේ උයන්වත්තේ ගුණරතන. මාලිම්බඩ ඛේමානන්ද යන ආචාර්ය හිමිවරුන් යටතේ විටියල කුසුමසිරි නමින් ප්‍රවෘජ්ජාව ලැබීය. මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතනයෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනයත්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලැබූ උන්වහන්සේ විසිඑක්වැනි වියේ දී ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

1962 දී මාතර, වැලිවේරිය පුරාණ මන්තින්දාරාමයට වැඩම කළ විටියල කුසුමසිරි හිමිපාණෝ එදා මෙදා තුර ප්‍රදේශවාසීන් හා එක්ව විහාරස්ථානයේ දියුණුව උදෙසා සිදු කළ මෙහෙය අපමණය. උන්වහන්සේ එහි වැඩම කරන විට තිබුණේ පැරැණි ආවාස ගෙයක් හා ජරාවාස වූ විහාරගෙයක් පමණි. එහෙත් මේ වන විට පුරාණ මන්තින්දාරාමය හෙවත් හබරලේ පන්සල දකුණු පළාතේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ.

එම ශාසනික සේවය අගයමින් ‘ජනසරණ කීර්ති ශ්‍රී බෞද්ධ දර්ශනපති යන ගෞරව නාමයෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ. ජූනි මස 01 වෙනි දින සිට 07 වන දින දක්වා විශේෂ බෝධි පූජා මාලාවක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා උන්වහන්සේට දිගාසිරි පැතීමට කටයුතු සංවිධානය කර ඇති අතර නව දෙමහල් ගොඩනැඟිල්ල ‘සිරි කුසුමසිරි ධර්ම මන්දිරය’ ලෙස නම් කර උපන් දිනයදා විවෘත කිරීමට නියමිතව තිබිණි.

විටියල කුසුමසිරි නාහිමිපාණන් වහන්සේට තව බොහෝ කල් සසුන රකින්නට දිරිය ශක්තිය සමඟ දිගාසිරි ලැබේවා! යි පතමු.


අඹගමුවේ සෝරත හිමි

ගම්පල වැලිගල්ල ඇල්පිටියේ පොත්ගුල් විහාරාධිපති ශ්‍රී සුමංගල දහම්පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී අඹගමුවේ සෝරත හිමිපාණන් වහන්සේ පැවිදි දිවියට පත්ව වසර 31 කි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ගම්මානයේ හෙට්ටිහේවාගෙදර ධර්මසූරිය මහතාට හා කහවත්තේ ගමරාලලාගේ සිරියාවති මහත්මියට දාව 1964 ඔක්තෝම්බර් 18 වැනිදා උපන් කුමරුවා ජයන්ත හෙට්ටි හේවා නම් විය.

මූලික අධ්‍යාපනය ගිනිගත්හේන අඹගමුව මහා විද්‍යාලය වැලිගල්ල මහා උඩඅලුදෙනිය මහා විද්‍යාලයයි. 1982 නොවැම්බර් 14 වන දින පැවිදි වූහ. ගම්පල උඩපළාත වැලිගල්ල ඇල්පිටිය පොත්ගුල් විහාරාධිපති ගෙලිඔය පිටවලවත්ත පස්පිලිම විහාරාධිපති අපවත් වී වදාළ ඇල්පිටිය සෝමානන්ද නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1992 ඇතුළත් වී 1996 බෞද්ධ අධ්‍යයන විෂය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගන්නා ලදී. පසුව ගම්පල බුවනෙකබා පිරිවණේ ගුරුවරයෙකු ලෙස 1996 සිට 2004 දක්වා සේවය කරන ලදී.

ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ජපානය, පිලිපීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා වෙනත් විදේශ සංචාරයන් වන සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව රටවල ආගමික වැඩසටහන් රැසක් මෙහෙයවමින් විශාල සේවාවක් දේශීය විදේශීය වශයෙන් සිදු කරන ලදී.

අභාවයට පත්ව තිබූ ගම්පල වැලිගල්ල පොත්ගුල් විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර ඇත. එයට අමතරව ඇල්පිටිය ගම්වාසීන්ට මාර්ග, ජලය, නිවාස දරුවන්ට පාසල් උපකරණ අසරණ පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් ජාති භේද ආගම් භේද නොමැතිව මෙම සේවාවන් ඉටු කරවූ බුද්ධ පුත්‍රයෙකි.


අංකුඹුරේ පේමවංස හිමි

මහනුවර දිස්ත්‍රික්කයේ උඩගම ග්‍රාමයේ විසූ අතාවුද මුදියන්සේලාගේ මුදියන්සේ නිලමෙතුමාට දාව කුලතුංග මුදියන්සේලාගේ ටිකිරිමැණිකේ කුමාරිහාමි මෑණියන්කොට 1949- 12 – 16 වැනි දින ජන්ම ලාභය ලැබූ අතාවුද මුදියන්සේලාගේ රත්නායක නම් වූ කුමරුවා නිසි වයස් එළඹීමෙන් පසු, උඩගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1964 මැයි මස 21 වන දින වර්තමාන මහා නායක ස්වාමීන්වහන්සේගේ ආචාර්යත්වයෙන් හා අපවත්වීවදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක තෙරිපැහැ සීලාලංකාර හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් “අංකුඹුරේ පේමවංස” නමින් පැවිදි වූහ. ආචාර්යත්වය දැරූ වර්තමාන මහා නායක ස්වාමීන්වහන්සේට අමතරව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක, මහනුවර දකුණු ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති මැදදුම්බර එක්සත් බෞද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති පින්කෙත සමාජසේවා පදනමේ අනුශාසක මහදොරලියද්ද ධර්මවර්ධනාරාමාධිපති කාව්‍යකීර්ති ශ්‍රී ප්‍රවචන විශාරද ශාස්ත්‍රාචාර්ය නත්තරම්පොත සිරිවිමල හිමියන්ගෙන් සහ ආචාර්ය පෙරේරා ශ්‍රීමතාණන්ගෙන්ද අධ්‍යාපනය ලබා ඇත.

අපවත්වී වදාළ ඉඳුරුවේ උත්තරානන්ද නා හිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් 1969 දී කල්‍යාණනදී උදකුක්ඛෙප සීමා මාලකයේ දී උපසම්පදා විය.

1973 දී රත්මලානේ පිරිවෙන් ගුරු විද්‍යාලයට ඇතුළත්ව 1975 වන විට පරිවෙණාචාර්ය සහතිකය ලබා 1988 දී බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද 1988 ප්‍රාචීන පණ්ඩිත උපාධියද, ශාස්ත්‍රපති උපාධි දෙකක් ද ලැබීය.

1974 දී සර්වෝදය පුහුණු පාඨමාලාවක් හදාරා ඒ හරහා මහනුවර දිස්ත්‍රික්කයේ ඉතා නොදියුණු ගම් රැසකට අමිල සේවාවක් කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන මහා නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ සඤ්ඤා ලේඛකාධිකාරී තනතුර හෙබවූ අතර දකුණු සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී තනතුරද හෙබවූහ. පටිපත්ති සංවද්ධන සභාවේ උප ලේකම්, කෘත්‍ය සම්පාදක සභාවේ සම්බන්ධීකරණ ලේකම් පටිපත්ති සංවද්ධක සභාවේ ලේඛකාධිකාරී ආදී වූ තනතුරු නිකායෙන් ලැබී ඇති අතර අනුරාධපුර ධර්මපීඨයේ කථිකාචාර්ය ධූරයට ද පත්වූහ. සමස්ත ලංකා පිරිවෙන් භාවනා උපදේශක වශයෙන් ද කටයුතු කරති.

මැදදුම්බර සඳගිරිලෙන් විහාරය නමින් ඈත කාලයේ සිට ගල් ලෙනක් තුළ පැවතුනු විහාරස්ථානය ශුද්ධ පවිත්‍ර කර මැදදුම්බර ප්‍රදේශයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පිරිවෙණක් ද අරඹන ලදී. සඳසිරි දුනුවිල සඳගිරිලෙන් තපෝවන පිරිවෙන නමින් හැඳින්වෙන මෙම පිරිවෙනේ පරිවෙනාධිපතිකම දරමින් 2013 ජනවාරි මස 04 වන දින මෙම පිරිවෙනේ දී නේපාලයෙන් කැඳවාගත් කුමරුවන් පස් දෙනකු පැවිදි කළහ.

එදා 1964 මැයි මස 21 වන දින ‘අංකුඹුරේ පේමවංස’ නමින් පැවිදිව අවුරුදු 49 ක්වැනි කාලයක් තුළ අනූපමේය සේවයක් ඉෂ්ඨ සිද්ධ කර 2013 – 05- 22 දින පැවිදි දිවියේ 50 වැනි ස්වර්ණ ජයන්තියට පා තබන්නේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පටිපත්ති සංවද්ධන සභාවේ ලේඛකාධිකාරී, සමස්ත ලංකා පිරිවෙන් භාවනා උපදේශක, විනය විශාරද, ත්‍රිපිටක වාගීශ්වර, රාජකීය පණ්ඩිත, සිරි ඉන්ද්‍රජොති සීලවංස පෙමසිරි වංසාවතංස සද්ධම්මජොති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංසාභිධාන ස්වාමීන්්ද්‍රයන්වහන්සේ වශයෙනි.


හිග්ගොඩ චන්දිම හිමි

වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2013.02.15 වෙනි දින පැවැති වත්තල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නිලවරණයේ දී වසර 5 සඳහා ලේකම් ධුරයට හැඳල පුරාණ විහාරාධිවාසී කෙරවලපිටිය විද්‍යාලෝක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති හිග්ගොඩ චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිතරගයෙන් පත්විය.