කෙලෙස් දාහය නිවාලන නිසල සොඳුරු පරිසරය
කඩුගන්නාව, මුදලිවත්ත
දීපාලෝක විහාරාධිපති
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ
කථිකාචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
පුද්ගල අභිවෘද්ධියට බලපාන කරුණු රාශියක් මංගල සූත්‍රයෙන් ඉදිරිපත්
කරයි. එහි ‘පතිරූප දේස’ යනුවෙන් සුදුසු පියසෙක විසීම වැදගත්කොට
දක්වන්නේ
මිනිසාගේ දියුණුවට පරිසරය
බලපාන නිසයි. මිනිසාගේ දියුණුව ලෙස බුදුදහම දකින්නේ භෞතික හා
අධ්‍යාත්මික යන අංශ දෙකේම අභිවෘද්ධියයි. මේ දෙයාකාර
දියුණුව සඳහාම පරිසරය
බලපාන බව ධර්මයේ වෙන් වෙන්ව පැහැදිලි කර දී තිබේ.
බුදු දහමේ අවසාන ඵලය නිවන් අවබෝධ කර ගැනීමයි. නිවන් අවබෝධ කළ හැක්කේ
සියලු කෙලෙස් නැති කිරීමෙනි. මේ ඉගැන්වීම පමණක් පදනම් කරගෙන ඇතැම්හු
බෞද්ධ ඉගැන්වීම ආර්ථික අභිවෘද්ධිය වළකාලන මඟක් බැව් පවසති. විශ්වනාත්
ප්‍රසාද් වර්මා එවැනි මතයක් දැරූ කෙනෙකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සතර
බ්‍රහ්ම විහරණ වැනි ඉගැන්වීම් පදනම් කරගෙන ඔහු මේ මතය දක්වයි. මෙවැනි
අදහස් ගෙනහැර දක්වන අය තම මතය සනාථ කිරීමට කරුණු කිහිපයක්ම දක්වති.
බුදුදහම මෙලොව සරු කර ගැනීමට නොව පරලොව සරු කර ගැනීමට කළ දේශනාවක් බැව්
කීම, කර්මය පිළිබඳ ඉගැන්වීම දියුණුවට යන මාවත අවුරාලන බව දැක්වීම, ලෝකය
දුකින් පිරුණු තැනක් බැව් කියා මිනිසාගේ ලෞකික දියුණුව වළකාලන බැව්
කීම, සරල දිවි පැවැත්ම හා නිරාශාව පිළිබඳ කරන ඉගැන්වීම්වලින් ආර්ථික
දියුණුවට බාධා පැමිණෙන බව දැක්වීම වැනි කරුණු මේ සඳහා ඉදිරිපත් කරති.
බුදු දහම ගැඹුරු දහමකි. දිගු කලක් හදාළ යුතු දර්ශනයකි. එහි ඉගැන්වෙන
කරුණු කිහිපයක් පමණක් පදනම් කරගෙන නිගමනවලට පැමිණීම සාධාරණ නොවේ.
මිනිසා බුද්ධිය උපතින්ම උරුම කර ගන්නා සත්වයෙකි. මිනිස් බුද්ධිය උපරිම
මට්ටමට දියුණු කළ තැනැත්තා ‘බුද්ධ’ යනුවෙන් හැඳින්වේ. බුදුරජාණන්
වහන්සේගේ චින්තනය අන් හැම දෙනාගේම චින්තනයට වඩා වෙනස් වන්නේ ද එබැවිනි,
බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ අසත්‍යයෙන් වැසී ඇති සත්‍යය
ලෝකයාට අවබෝධ කර දීම පිණිසයි. ඒ බැව් සංයුක්ත නිකාය නගර සූත්‍රයේ මනාව
පැහැදිලි කර තිබේ. පුද්ගලයා පරිසරය සමඟ බැඳී සිටින අයකු බැව් බුදුදහම
පිළිගනී. එනිසා සමාජය හා පරිසරය සමඟ බැඳුණු සියලු අංග පිළිබඳ බුදුදහම
අවධානය යොමු කරයි. සෑම පුද්ගලයකුම උපත ලබන්නේ ද කිසියම් පරිසරයක
කොටස්කරුවකු වශයෙනි. එබැවින් පරිසරය සමඟ නොගැටී ජීවත්විය හැකි කිසිවකු
ලොව නැත. ජීවමය හා ජීවමය නොවන පරිසර සංරක්‍ෂණය පිළිබඳ වැඩි අවධානයක්
බුදුරජාණන් වහන්සේ යොමු කළේ එබැවිනි.
පුද්ගල අභිවෘද්ධියට බලපාන කරුණු රාශියක් මංගල සූත්‍රයෙන් ඉදිරිපත්
කරයි. එහි ‘පතිරූප දේස’ යනුවෙන් සුදුසු පියසෙක විසීම ලෙස දැක්වෙන්නේ
මිනිසාගේ දියුණුවට පරිසරය බලපාන බවයි. මිනිසාගේ දියුණුව ලෙස බුදුදහම
දකින්නේ භෞතික හා අධ්‍යාත්මික යන අංශ දෙකේම අභිවෘද්ධියයි. මේ දෙයාකාර
දියුණුව සඳහාම පරිසරය බලපාන බව ධර්මයේ වෙන් වෙන්ව පැහැදිලි කර දී තිබේ.
තම අත්දැකීමක් ගෙනහැර දක්වන බුදු රජාණන් වහන්සේ, මගධ දනව්වේ සැරිසරමින්
යනවිට ඇස ගැටුණු රමණීය පරිසරය, සුදු වැලි තලාව, මනා තොටුපොළ හා හාත්පස
ගොදුරු ගම ද ප්‍රධන් වීර්යය වඩන්නෙකුට ඉතාම යෝග්‍යය බැව් හැඟුණු බැවින්
එහි නැවතුණු බව වදාරන සේක. පුද්ගලයකුට තම අභිමතාර්ථ සාධනය සඳහා පරිසරයේ
ඇති වටිනාකම මෙයින් පෙන්වා දෙයි. දියුණුව හෝ පරිහානිය සඳහා පරිසරයට
බලපෑම් කළ හැකි බව දැනගත් ඤාණවන්තයා කටයුතු කළයුත්තේ ජීවත්වීමට සුදුසු
පරිදි පරිසරය සකසා ගැනීම සඳහායි. යම්හෙයකින් ජීවත්වීමට සුදුසු පරිදි
පරිසරය සකසා ගැනීමට හැකියාවක් නැතිනම්, ඊළඟට කළයුත්තේ එතැනම සිටිමින්
පරිහානිය කරා නොගොස් එයින් ඉවත්ව යෑමයි.
ලෝකය දුක මත පවතී, ‘දුක්ඛෙන ලොකො පතිට්ඨිතො’ යන බුදුවදනින් ඒබව
දැක්වෙයි. මිනිසා දුක පිළිකුල් කරන බැවින් ස්වභාව ධර්මය එලෙසින්ම පිළි
නොගෙන, සුදුසු පරිදි සකසා ගෙන වැඩිදියුණු කොට උපරිම ප්‍රයෝජන ලැබීමට
උත්සාහවත් වෙයි. බුදුදහම එය එලෙසින්ම අනුමත නොකරයි. පරිසරය වෙනස් කළ
යුත්තේ ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙනි. අංගුත්තර නිකායේ එන අච්චායික ඛෙත්ත
හා නිදාන වැනි සූත්‍රවලින් එය පැහැදිලි කර දී තිබේ. සරු අස්වැන්නක්
බලාපොරොත්තු වන ගොවියා, වගාවට පෙර බීජ, ජලය හා භූමිය පිළිබඳ මනා
අවබෝධයකින් පසුවිය යුතු අතර, ඒවා සම්පාදනය කර ගැනීම ගැන ද මනා
අවබෝධයකින් කටයුතු කළ යුතුය. නොකැඩුණු, කුණු නොවූ, අව්වැසි සුළඟින්
නොපෙලුණු, මනා ප්‍රරෝහණ ශක්තියක් ඇති බීජ තෝරා ගතයුතු අතර, සරු පසක්
ඇති, මනා ලෙස පෝරු ගා සකසන ලද බිමක් තෝරා ගැනීමත්, අවශ්‍ය වූ විටෙක ජලය
ලබා ගැනීමටත් අනවශ්‍ය වෙලාවට ජලය අත්හිටුවීමටත් ඇති හැකියාව ගැනද සොයා
බැලිය යුතුය. මේ සියල්ල සම්පූර්ණ වුවද ප්‍රමාණවත් නොවේ. කාලගුණය හා
දේශගුණය පිළිබඳ අවබෝධය, බීජ ප්‍රරෝහණයේ කාල වකවානු පිළිබඳ ඇති වැටහීම
ද, සිදුවිය හැකි ආපදා හා ඒවා වළක්වා ගැනීම පිළිබඳත් ගොවියාට මනා
අවබෝධයක් තිබිය යුතු බැව් එහි දැක්වෙයි.
ස්වභාව ධර්මයෙන් ඵල නෙලා ගැනීම පිණිස එහි වෙනස්කම් කිරීමේදී, ස්වභාව
ධර්මයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා වැටහීමක් වුවමනා වන්නේ ද එබැවිනි.
වර්තමාන ලෝකය මුහුණ පා ඇති බොහොමයක් ප්‍රශ්න ගැටලුවලට ප්‍රධාන හේතුවක්
වී ඇත්තේද, මිනිසා ස්වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අනවබෝධයෙන්
එහි වෙනස්කම් කිරීමට යෑමයි. කාර්මික විප්ලවය, විද්‍යා ඥානයේ පැතිරයාම
හා එහි ප්‍රතිඵලයක් හැටියට තාක්‍ෂණයේ ඇති වූ දියුණුවද පරිසර ගැටලු
උත්සන්න වීමට හේතුවිය. විශේෂයෙන් මිනිසා විසින් ගොඩනඟා ගන්නාලද පරිසරය,
ස්වභාවික පරිසරය හා ගැටීමෙන් මිනිසාගේ පැවැත්මේ තුල්‍යතාව අවුල් වී
යෑම, පාරිසරික ගැටලු උත්සන්න කිරීමට සමත්විය. වර්තමානය වන විට මේ
තත්ත්වය උත්සන්නව පවතී, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ස්වභාව ධර්මයේ
ක්‍රියාකාරිත්වය තේරුම් නොගෙන මිනිසා කටයුතු කිරීමට යෑමයි. ස්වභාව
ධර්මයේ ක්‍රියාකාරිත්වය හඳුනාගත් තැනැත්තා පරිසරය සමඟ ඇති කර ගන්නේ හිත
මිතුරු ආකල්පයකි. ධනය උපයා ගැනීම සම්බන්ධයෙන් ඉතා රමණීය උපමාවක්
සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙයි, එනම් “ භමරස්සේව ඉරියතො” යනුවෙනි. ධනය
උපයා ගැනීමේ දී මල නොතලා රොන් ගන්නා බමරකු පරිද්දෙන් ස්වභාව ධර්මය
විසින් දායාද කරනු ලැබ ඇති සම්පත විනාශ නොකොට කටයුතු කිරීම බුදුදහම
අනුමත කරන පිළිවෙතයි. මලට හානියක් නොකොට රොන් ගන්න බමරා, ශාකයේ පැවැත්ම
සඳහා පරාග පෝෂණය ද කරයි. ලබා ගන්නා මල් රොන්වලින් අගනා නිපැයුමක් ද
කරයි.
ස්වභාව ධර්මය සම්බන්ධයෙන් ද මිනිසාගෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනිම
ක්‍රියාකාරිත්වයකි. වත්මන් ලෝකයේ බොහෝ රටවල් ස්වභාව ධර්මයට සතුරු වී
සිටී. තම පැවැත්ම ගැන පමණක් සිතා කටයුතු කිරීමට යෑම නිසා, ස්වභාවික
සම්පත විනාශ කර දමති. කිසිදා නොසංසිඳෙන ආශාවන් සපුරා ගැනීමේ පටු
චේතනාවන් ඉටු කර ගැනීමට යෑම නිසා ස්වභාවික සම්පතට විශාල වශයෙන් හානි
සිදු කොට තිබේ.
ශාක පද්ධතියට හෝ මිනිසා හැර අනෙකුත් සත්ව ප්‍රජාවට හෝ විමසා බලා කටයුතු
කිරීමේ හැකියාව නැත. මිනිසාගේ වගකීම හා ක්‍රියාකාරිත්වය වැදගත් වන්නේ
විමසා බලා කටයුතු කිරීමේ හැකියාව ඔහු සතුවන නිසයි. මිනිසාට මෙන්ම සෙසු
සත්වයන්ට ද මිහිමත ජීවත්වීමේ අයිතිය ඇති බව මිනිසා පිළිගත යුතුය.
මිනිසාත් සෙසු සත්වයන් හා වෘක්‍ෂලතා ආදියත් අතර පවතින්නේ අන්‍යෝන්‍ය
බැඳීමකි. ගස් වැල් නොමැති පරිසරයක මිනිසාට ජීවත්වීමට නුපුළුවන. මේ
එකිනෙක අතර පවතින සබැඳියාව නිසා එකිනෙකාගේ පැවැත්ම රඳා පවතී. එබැවින්
ස්වභාවික පරිසරය සමඟ උරණ වීමෙන් හෝ ඊට එරෙහිව ක්‍රියා කිරීමෙන්
දෙපිරිසටම අයහපතක් මිස යහපතක් සිදු නොවේ. මිනිසා ක්‍රියා කළයුත්තේ
හිතමිතුරු ආකල්පයකිනි. බෞද්ධ ඉගැන්වීමේ පදනම ද මිනිසා මෙන්ම ජීවමය හා
අජීවමය පරිසරය ද සුරක්‍ෂිත කරමින් පවත්වා ගෙන යෑමයි.
පරිසරය සුරක්‍ෂිතව පැවැතීමේ අගය මෙන්ම එය විනාශ නොකොට ආරක්‍ෂා කිරීමේ
වටිනාකම ද සිය අවවාදයෙන්, අනුශාසනයෙන් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ,
ස්වකීය චරිතාදර්ශය තුළින් ද ඒ බැව් ලොවට පෙන්වූ සේක. උපත, බුදුවීම හා
පිරිනිවීම යන ජීවිතයේ අතිශය වැදගත් සිදුවීම් සියල්ල සිදුවූයේ කෘත්‍රිමව
සකසන ලද පරිසරය තුළ නොවේ. ස්වභාවික පරිසරයකයි. තුරු සෙවන, මල් උයන්,
ගල් තලා, වනරොද, දිය ඇලි, ගංඟා උන් වහන්සේ බොහෝ සේ ප්‍රිය කළ ස්ථාන ද
විය.
වර්තමානයේ කෘත්‍රිමව සකසන ලද පරිසර තුළට වී ස්වභාවික පරිසරය ආරක්‍ෂා
කිරීමට උපදෙස් දෙන්නවුන්ට බුද්ධ චරිතය උගන්වන්නේ සැබෑ පරිසරවේදියකුගේ
පාඩමයි. |