UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් රසය බෙදා දෙන ගම්පළ සිරි බුවනෙකබා පිරිවෙන

සදහම් රසය බෙදා දෙන ගම්පළ සිරි බුවනෙකබා පිරිවෙන

කන්ද උඩරට දළදා සමිඳුන් වැඩ සිටින පුරවරයේ ගම්පළ රාජධානියේ අම්බුලුවා ජෛව විවිධත්ව සංකීර්ණ කඳු පාමුල පිහිටි ගම්පළ සිරි බුවනෙකබා පිරිවෙන මුළු පළාතටම දහම් රසය බෙදා දෙන කේන්ද්‍රස්ථානයකි. වසර 85 ක් සපිරෙන මේ සදහම් නිකේතනය සද්ධර්ම වාගිෂ්වර කොත්මලේ ශ්‍රී ඉන්දජෝති හිමියන් විසින් 1928 දී ආරම්භ කරන්නට යෙදුණි.


විහාරාධිපති හිමි සහ පරිවෙණාධිපති හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ

දුරදක්නා නුවණින් හා විචක්ෂණ බුද්ධි මහිමයකින් හෙබි විනය ගරුක හිමිනමක වශයෙන් පරසිදු කොත්මලේ ශ්‍රී ඉන්දජෝති හිමියන් විසින් ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ඉටුකරන ලද සේවය අතිමහත්ය. සුවිශේෂි වශයෙන්, උන්වහන්සේ විසින් දැන උගත්, ගුණගරුක ශිෂ්‍ය පිරිසක් සසුන් කෙතට දායාද කරන ලදී. මේ අනුව, රාජකීය පණ්ඩිත කොටදෙනිය ඤාණානන්ද නා හිමි, උඩපළාත ප්‍රධාන සංඝනායක ගම්පොළවෙල සද්ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති හිමි, ශාස්ත්‍රපති දොරුවාදෙනියේ ඉන්දරතන හිමි සහ ශාස්ත්‍රාචාර්ය රාවණාගොඩ රතනපාල හිමි ඇතුළු පැවිදි උතුමෝ පිළිවෙත් ගරුකව වැඩ වසමින්, සදහම් ඥානය බෙදා දෙමින් බුදුසසුන ප්‍රභාවත් කළහ.

1947 දී ගංවතුරෙන් හානියට පත් පැරැණි විහාරය වෙනුවට නව විහාර මන්දිරයක් කොත්මලේ ශ්‍රී ඉන්දජෝති හිමියෝ ඉදිකරවූ සේක. විහාර මන්දිරය ඉදිරිපස යෝධ ශෛලමය ප්‍රාකාරයක් ගොඩනංවා සිද්ධස්ථාන වටපිටාව තවදුරටත් ස්ථාවර කළහ.

කොත්මලේ ශ්‍රී ඉන්දජෝති හිමියන් 1970 දී අපවත් වීමෙන් අනතුරුව පරිවෙණාධ්‍යක්ෂ ධූරයට පත් ගම්පළවෙල ශ්‍රී චන්දජෝති නාහිමියෝ ගුරු භක්තිය පෙරදැරිව ක්‍රියා කරමින් දායක කාරකාදින් සමඟ එක්ව තවදුරටත් ආයතනයේ දියුණුවට උරදී කටයුතු කළහ. විහාරාංග සංවර්ධනය කරමින් සිද්ධස්ථානයේ රමණියත්වය වර්ධනය කිරීමට ද උන්වහන්සේ ක්‍රියා කළහ. නායක හිමියන් 1998 දී අපවත් වීමෙන් පසුව වත්මන් විහාරාධිපති ධූරයට ශාස්ත්‍රපති නියංගම්දොර විමලජෝති හිමියෝ පත්වූහ.


විහාරාධිපති නියංගම්දොර විමලජෝති හිමි

ආයතනයේ ගමන් මඟෙහි මහත්ම ශක්තියක් වන්නේ ගිහි, පැවිදි ආචාර්ය මණ්ඩලයයි. පළාත්වාසී මහා සංඝරත්නයේ ආශිර්වාදය නිබඳව මෙහි දියුණුවට පිටිවහලක්ම වේ. මෑත කාලීන සංවර්ධන කාර්යයන් අතර තෙමහල් භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීමත් විහාරය අභියස දකුණු පස ශෛලමය ප්‍රාකාරය, දාන ශාලාව සහ පැරැණි ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමත් ආදිය ප්‍රමුඛ වේ. ඒ ආදි විහාරස්ථ ආගමික, සාමාජීය කටයුතු සාර්ථක කර ගැනීමට සහාය පිණිස ඉදිරිපත් වන පින්වතුන් එදා මෙදාතුර මෙහි දියුණුවට බෙහෙවින් උපකාරවත්ව සිටින බව කෘතගුණපූර්වකව සිහිපත් කළ යුතුය.

සිරි බුවනෙකබා පිරිවෙන අද ගම්පළ ප්‍රදේශයේ දීප්තිමත් පිරිවෙනකි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන දහම් පාසලක් ලෙසත් ප්‍රසිද්ධියට පත්ව ඇත. උසස් මට්ටමේ විභාග ප්‍රතිඵල ද නිරතුරුවම හිමිවීම දහම් අධ්‍යාපනයේ යහපත් ඵල ලැබීමක් මෙන්ම ගුරු - ශිෂ්‍ය දෙපාර්ශවයේ සහ උපකාරවත් වන සැමගේම ජයග්‍රහණයකි.

විහාරස්ථ පිරිවෙනේ ශිෂ්‍ය සමිති ඇතුළු විවිධ සමිති පවත්වාගෙන යමින් ආගමික සහ අධ්‍යාපනික ක්‍ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීම සිදුවේ. පරිවෙණාස්ථානයේ බොහෝ කටයුතු සිදු කිරීමට සුගතසමයොපාකාර සමිතිය මඟින් මහත් දායකත්වයක් සපයනු ලැබේ.

වාර්ෂිකව පළ කෙරෙන සිරි බුවනෙකබා ලිත ද අගනා ප්‍රකාශනයකි.

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]