UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලාභය, ධනය සහ සුවය

ලාභය, ධනය සහ සුවය

වැරැදි හැසිරීම නිසා අප ඇති කර ගන්නා ආබාධ හැර සියල්ල කර්මය නිසා ඇතිවන ආබාධ බව නොසිතන්න. ආරෝග්‍යපරමා ලාභා යන සම්බුදු වදන ආදර්ශයට ගැනීමෙන් අපේ ජීවිත නිරෝගීමත් ජීවිත බවට පත් කරගැනීමට වාසනාව උදාකරගත හැකි වේ

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨී පරමං ධනං
විස්සාස පරමා ඤාතී
නිබ්බාණං පරමං සුඛං

කාරුණික පින්වත්නි!

අපේ ජීවිතවලට නිරන්තරයෙන් බලපාන කරුණු කීපයක් පැහැදිලි කරගැනීමට ඉහත ගාථාව උපයෝගී කරගනිමු. මනුෂ්‍යයාට තිබෙන උතුම්ම ලාභය නිරෝගී බව ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළා. එම නිරෝගීබව රැකගැනීමට අප හැම කෙනෙකුම උත්සාහ කළ යුතු ය.

වාතය, පිත, සෙම යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගවලට අමතරව ‘විසම පරිහාරජා’ යනුවෙන් දේශනාවෙන් පැහැදිලි කරනුයේ තමා අනුගමනය කරන ක්‍රියා පිළිවෙත වැරැදි ලෙස අනුගමනය කිරීම නිසාද රෝගාබාධ ඇතිවන බවයි.

අපේ දිව පිනවීමට අධික ලෙස රසවත් ආහාර අනුභවයට ගන්නා විට එමගින් රෝග හට ගනී. මෙකල ‘දියවැඩියා’ රෝගය පවා වැළඳෙනුයේ අධික ලෙස එසේ පැණි රසැති ආහාර ගැනීමෙන් බව විශ්වාසයේ පවතී.

නූතන සමාජයේ දක්නට ඇති එක් ලක්‍ෂණයක් නම් බොහෝ විට කය නො වෙහෙසවා නොයෙක් වර්ගයේ ක්‍ෂණික ආහාර වර්ග වෙළෙඳසැල් වෙතින් ලබා ගැනීමය.

එසේ පහසුවෙන් ආහාර ලබාගැනීමට පෙළඹීමෙන් ඇතැම්විට අප නොදැනුවත්වම නිරෝගී බව තුරන් කරගැනීමට අප කටයුතු කර ඇති බව අමතක නොකළ යුතු යි.

හැම නිවසකම ආහාරයට අවශ්‍ය යම් දෙයක් වගා කරගැනීමට අපහසුවක් නොවේ. තමන්ගේ ශක්ති පමණින් නිවසේ පිහිටි ගෙවත්තෙහි යමක් වගා කර ගැනීමට පෙළඹීමෙන් කායික වශයෙන් අලසකමෙන් ඈත්වීම පමණක් නොව නිරෝගිමත් ජීවිතයක් උදෙසා දහඩිය වගුරුවා රසවත් ආහාරයක් නිපදවා ගැනීමට ද දායක වුවා යැයි සතුටක් තමාට බලපාන බව අමතක නොකරන්න.

වැරැදි හැසිරීම නිසා අප ඇති කර ගන්නා ආබාධ හැර සියල්ල කර්මය නිසා ඇතිවන ආබාධ බව නොසිතන්න. ආරෝග්‍යපරමා ලාභා යන සම්බුදු වදන ආදර්ශයට ගැනීමෙන් අපේ ජීවිත නිරෝගීමත් ජීවිත බවට පත් කරගැනීමට වාසනාව උදාකරගත හැකි වේ.

ගාථාවේ දැක්වෙන අදහසට අනුව සතුට පරම ධනයයි. ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන්ගෙන් වෙන් වූ විට ‘සතුට’ උදාකරගත හැකි වේ. සතුට නිසා ලබන වින්දනයෙන් තම ජීවිතය සාර්ථක කරගැනීමට එය මහෝපකාරී වේ. ලොව වෙසෙන බොහෝ දෙනාට බොහෝ රෝගාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව මනසේ උදාවන අසතුට නිසා බව ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාඥයන් සොයා ගෙන ඇත. සිත සතුටෙන් ගත කරන විට, කයට බලපාන බොහෝ ආබාධ වලින් ඈත්ව සුවයක් ළඟා කර ගත හැකි වේ.

‘විස්සාස පරමා ඤාතී’ යනුවෙන් සඳහන් කරනු ලබන්නේ තමන්ගේ ජීවිතයට යහමඟ සලසා ගැනීමට උපකාර කරන්නේ විශ්වාසවන්තයා ය. විශ්වාසවන්තයා ඇසුරු කිරීම තුළින් තමාගේ ජීවිතය උසස් තත්ත්වයට පත්කර ගැනීමට පහසුවක් වනු ඇත. ‘සිඟාලෝවාද’ ආදී සූත්‍ර දේශනාවන්හිදී බුදුරජාණන් වහන්සේ විසින් ඇසුරු කළ යුතු, නොකළ යුතු මිතුරන් ගැන හඳුන්වා දී ඇත. ඒ අනුව කටයුතු කිරීම බොදුනුවාගේ වගකීම බව කල්පනා කළ යුතු වේ.

විශේෂයෙන් තම දරුවන් පිළිබඳව මවුපියන් සොයා බලමින් ඔවුන්ගේ ඇසුරට පත් අය පිළිබඳ විමසිලිමත් වීම කාලෝචිත වනු ඇත. දරුවන් නරක ඇසුර නිසා නොමඟට ගියහොත් එහි දුක් විඳීමට මවුපියන්ටද සිදුවන බව අමතක නොකළ යුතුයි.

“නිබ්බාණං පරමං සුඛං” ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ දෝමනස්ස ආදී ධර්මතාවන්ගෙන් වෙන්ව අපේ ජීවිතය ලබන සැනසීම කෙරෙහි අපේ සිත වහ වහා යොමු කළ යුතු වේ. නිරෝගී බව සියලු ලාභයන්ට වඩා උතුම් ම ලාභයයි. සන්තුෂ්ඨිය සියලු ධනයන්ට වඩා උතුම් ම ධනයයි. විශ්වාසවත් වූයේ සියලු නෑයන්ට වඩා උතුම් නෑයායි. නිවන් සුවය උතුම් ම සුවයයි. එබැවින් ඔබත් එම උතුම් දහම් මඟෙහි යෙදීමට උත්සාහ ගෙන මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කරගැනීමට නොපමාව කටයුතු කරන්න.

තෙරුවන් සරණයි

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 08. 47 ට ලබයි.
27 වැනිදා ඉරිදා පූර්ව භාග 10. 07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 26 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]