Print this Article


පුනරුප්පත්ති ලිපි- 08 මරණින් මතු පැවැත්ම

පුනරුප්පත්ති ලිපි- 08

මරණින් මතු පැවැත්ම

ගන්ධබ්බයා මව් කුසට පිවිසෙන්නේ පෙර කරන ලද කුසලා කුසල කර්මයන්ගේ විපාක වශයෙනි. ඔහු හෝ ඇය කුසල කර්ම වලින් සම්පූර්ණ නම් යහපත් මව් කුසක් ලැබෙන අතර අකුසල කර්ම කැර ඇත්නම් ඊට අදාළ මව්කුසක් ලැබේ.

උඳුවප් අමාවක පෝදා (ජනවාරි 11) පත්‍රයේ පළවූ ලිපියෙන් මරණය හා මරණාසන්න අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කෙළෙමු.

මෙවර අපගේ අවධානය යොමු වන්නේ මරණින් මතු පැවැත්ම පිළිබඳවයි.

මරණින් මතු නැවැත ඉපදීම සිදුවන්නේ කෙසේද?

බුදුදහමට අනුව පුහුදුන් සත්වයන් නැවැත කුමන හෝ ආත්මයක ඉපදීම නිරන්තරයෙන් සිදුවන්නකි. කෙලෙස් නැසූ උතුමන් අතර එනම් බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ,මහ රහතන් වහන්සේ යන උතුමන් වහන්සේ නැවැත සසරෙහි නූපදින සේක.

ජීවත්වන අනෙකුත් පෘථග්ජන සියලු සත්ත්වයෝ කිසියම් දිනයක මරණයට පත්වන අතර යම් ආත්මයක උප්පත්තිය ලැබීමද අනිවාර්යෙන් සිදුවන්නකි.

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ කෙනෙකුගේ මරණයෙන් පසු නැවැත උපතක් ලැබීම දක්වා ඔහු ගත කරන කාලසීමාව කෙතෙක් දැයි විමසා බැලීමට හා ඒ අතර තුර අත්විඳීන සංසිද්ධින් විමසීමකට ලක් කිරීමය.

මරණින් මතු පැවැත්ම හෙවත් උප්පත්තියක් අපේක්ෂාවෙන් සිටින අවස්ථාව හඳුන්වන්නේ “අන්තරා භවය” යන නමිනි. මෙය තරමක ගැටලු සහගත තත්ත්වයකි. ඊට හේතුව බොහෝ දෙනෙක් මරණයත් සමඟම නැවැත ඉපදීමක් සිදුවන බැවින් ඒ අතර කාලයක පැවැත්මක් නැති බවට පිළිගෙන ඇති මතය නිසාය.

කෙනෙක් මිය ගිය මොහොතේ ම නැවැත ඉපදීමක් ලබන බව ධර්මයේ සඳහන් වන්නේ නැත. එහෙත් කෙනෙකුගේ මරණයත් සමඟ ඔහු කළ පුණ්‍ය මහිමයන්ට හෝ අකුසලධර්මයන්ට අනුව ප්‍රතිසන්ධියට සුදුසු අවස්ථාවක් එළඹ ඇත්නම් එය සිදුවේ. එසේ නැත්නම් දින හතේ සිට බොහෝ කාලයක් අන්තරා භව අවස්ථා වේ සැරිසැරිය හැකිය.

එම කාල සීමාව කෙතෙක් ද යන්න තීරණය වන්නේ ඔහු කළ කුසලා කුසල කර්මයන්ගේ බලපෑම මතය.

අන්තරා භවයක් හෝ කුසලා කුසල කර්මයන් පිළිබඳව විශ්වාස නොකරන්නන්ට මේ පිළිබඳව සැක කිරීම් හා ගැටලුකාරි ස්වභාවයන් ඇතිවිය හැකිය. එහෙත් සත්වයාගේ නැවැත ඉපදීම විශ්වාස කරන්නන්ට එය ගැටලුවක් නොවන අතර අන්තරාභවයද සිදුවන බව විශ්වාස කළ හැකිය. කරණීයමෙත්ත සූත්‍රයෙහි සඳහන් වන “භූත” හා “සම්භවේසී” යන වචන දෙක අපගේ අවධානයට යොමු කිරීම වැදගත්වේ.

භූ®ත යනුවෙන් හඳුන්වන්නේ අප සාමාන්‍යයෙන් අදහස් කරන අද්භූ®ත බලවේගයක් නොව උප්පත්තියක් ලබා සිටින සත්ත්වයන්ය.

ඒ අනුව කුඩාම සත්ත්වයා ගේ සිට විශාලම සත්වයා දක්වා උපන් හෙවත් හටගත් සියලු සත්ත්වයන් අදහස් කරයි.

සම්භවේසී (සං+භව+ ඒසී) යනු නැවැත ඉපදීමක් අපේක්ෂාවෙන් සිටින සත්ත්වයන්ය. අන්තරා භව යන්නෙන් අදහස් කරන්නේ මෙවැනි ඉපදීමක් අපේක්ෂාවෙන් සිටින සත්ත්වයන්ගේ ආයු කාලයයි.

ඒ අනුව නැවත ඉපදීමක් අපේක්ෂාවෙන් සිටින පුද්ගලයා ප්‍රතිසංන්ධිය ලබන්නේ තමාට සුදුසු කාලය හා අදාළ මව්කුස සම්පූර්ණ නම් පමණි.

මේ සඳහා අවස්ථා තුනක් සම්පූර්ණ විය යුතු බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වේ. මෙය හඳුන්වන්නේ ‘ගර්භා වක්‍රාන්තිය’ යන නමිනි.එය සම්පූර්ණ වීමට අවශ්‍ය කරන කාරණය මෙසේය.

මාතාච උතුනී හොති
මාතා පිතුන්තං සන්නිවාසො හොති
ගන්ධබ්බොච පච්චුපට්ඨිතො හොති

සමහර අයගේ පිළිගැනීමට අනුව මේ කාරණා තුනම එකවර සිදුවිය යුතුය. එහෙත් එය වැරැදි පිළිගැනීමකි. මෙහි මුල් කාරණා දෙක එනම් මවගේ ඍතු වීමත් ඒ ආසන්නෙ හි දෙමාපියන්ගේ එක්වීමත් එකවර සිදුවිය හැකිය.

එහෙත් ගන්ධබ්බයෙකුගේ පැමිණීම ඒ අවස්ථාවේම පැමිණීමට අවස්ථාව අනිවාර්ය නොවේ. එය පසුවද සිදුවිය හැකිය.

මේ සඳහා නිදසුනක් ලෙස විහාරමහාදේවියගේ කුසෙහි දරු ගැබක් පිහිටි මේ කතාව සඳහන් කළ හැකිය. එනම් රුහුණේ මහා විහාරයක අසනීපව මරණාසන්නව වැඩ සිටි සාමණේර හිමිනමකට ඇප උපස්ථාන කිරීමෙන් අනතුරුව ආරාධනා කොට තම කුසෙහි පිළිසන්ගන්වා ගත් බව මහා වංසයේ විසි දෙවැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

සිද්ධාර්ථ කුමාරයා මව් කුස පිළිසිඳ ගැනීමේ අවස්ථාවද මේ සඳහා කදිම නිදසුනකි.

මෙහිදී ගන්ධබ්බ යන වචනයෙහිද අපගේ අවධානයට යොමු විය යුතු වචනයකි.මෙයින් අදහස් කරන්නේ අන්තරාභවයේ සැරිසරණ අන්තරා භවිකයාය. ගන්ධර්ව ගඳ අනුභව කරන්නාය. ගන්ධානු භාවයට යන්නා යනුද මෙයට අර්ථකථනයකි. ඒ අනුව ගන්ධර්ව යනු භවයක් අපේක්ෂාවෙන් සිටින අන්තරා භවිකයා හෙවත් උපතක් අපේක්ෂාවෙන් සිටින සත්ත්වයා ලෙස විස්තර කළ හැකිය.

මෙම ගන්ධබ්බයා මව් කුසට පිවිසෙන්නේ පෙර කරන ලද කුසලා කුසල කර්මයන්ගේ විපාක වශයෙනි.

ඔහු හෝ ඇය කුසල කර්ම වලින් සම්පූර්ණ නම් යහපත් මව් කුසක් ලැබෙන අතර අකුසල කර්ම කැර ඇත්නම් ඊට අදාළ මව්කුසක් ලැබේ.

කිසියම් මනුස්සයෙකු නිශ්චිත ආකාර ඇති සමාජ තත්වයක් ලැබීමට සුදුසු මරණාසන්න චිත්ත බීතියකින් යුතුව මියගියේ යැයි සිතමු. චුතියට අනතුරුව ප්‍රතිසංධිය සිදුවීමට නම් ඔහුට සුදුසු මව්කුසක් පිළියෙළ වී තිබිය යුතුය. මෙය හැම විටම ඉටුවී තිබේ යැයි සිතිය නොහැකිය.

මරණාසන්න චිත්තවීති මතයට අනුව ඔහුට කොතනක හෝ ඉපදිය නොහැක. ඉපදීම මරණාසන්න චිත්ත වීථියට අනුව තීරණය වී ඇති හෙයිනි.

ඇතැම් විට ගිනිකඳු පිපිරීම්, කඳු කඩා වැටීම්, සුනාමි වැනි ස්වභාවික විපත් නිසා දහස් ගණන් එකවර මිය යති. මොවුන්ට ඉපදීමට සුදුසු ස්ථාන පිළියෙළ වී ඇතැයි සිතිය නොහැකිය.

එසේ නම් ඔවුන් එක්තරා වීදියක අතරමන් වීමකට පත්වෙති.අන්තරාභවය නමින් හැඳින්වෙන්නේ මේ තත්ත්වයයි.