UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕස්ට්‍රේලියානු බොදුනුවන්ගේ සැදැහැ වඩන පින්බිම

ඕස්ට්‍රේලියානු බොදුනුවන්ගේ සැදැහැ වඩන පින්බිම

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට ද මෙම විහාරස්ථානය සිත නිවන, සැදැහැ වඩන තෝතැන්නකි. ශ්‍රී ලංකාව ගැනත්, ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ පිළිබඳත් නිර්මල ථෙරවාදී බුදුදහම ගැනත් හඳුන්වා දීම නිසා විදේශිකයන්ගේ පැසසුමට ලක්ව ඇත. ඕස්ට්‍රේලියානු ජාතිකයන්ම මෙහි පැවිදි වී ඕස්ට්‍රේලියානු මහාද්වීපය පුරා දහම් සුවඳ පැතිර වීම ඉමහත් සතුටකි.

අන්‍ය ආගමිකයන් වැඩි ප්‍රතිශතයක් ජීවත්වන ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට කිලෝමීටර් 100 ක පමණ දුරකින් පිහිටි කටුම්බා ප්‍රදේශයේ සුන්දර ගම්මානයක දර්ශනීය කඳු වැටියක් පාමුල, ඕස්ට්‍රේලියානු ප්‍රථම බෞද්ධ විහාරය පිහිටියේය.ඕස්ට්‍රේලියානු ජාතික බෞද්ධයන් විසින්ම ඉදිකිරීම් සඳහා උරදෙනු ලැබූ මේ විහාරයේ සමාරම්භක 40 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.

ආරණ්‍ය සේනාසනයක් ලෙස 1972 දී පූජ්‍යපාද රත්මලානේ සෝමාලෝක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන්නට යෙදුණි. එතැන් සිට චරිත සංවර්ධනය සහ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සියලු ආගමිකයන්ට සහභාගි විය හැකි භාවනා වැඩසටහන් හා ධර්මදූත සේවාවන් සිදු කරමින් මෙය පවත්වාගෙන යනු ලැබේ. මින් වසර ගණනාවකට පෙර රත්මලානේ සෝමාලෝක හිමිපාණන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඇමරිකාවට වැඩමවීමෙන් පසු මෙම ආරණ්‍ය සේනාසනයේ කටයුතු ශාස්ත්‍රවේදී කුඩාගල කෝවිද හිමිපාණන් වහන්සේට පැවැරුණි. උන්වහන්සේ 1997 සිට 1999 වසර දක්වා සහකාර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මෙම විහාරස්ථානයේ වැඩවාසය කොට 2001 වසරේ සිට වත්මන් විහාරාධිපති ධුරයට පත්වූහ. උන්වහන්සේ විසින් මෙම ආරණ්‍ය සේනාසනය, අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන ලද අතර එය මේ වන විට බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී ඇති ජාත්‍යන්තර කීර්තියට පත් විහාරස්ථානයක් ලෙස පරසිදුය. දේශදේශාන්තරවල සිට වැඩම කරන භික්‍ෂූන් වහන්සේගේ පහසු විහරණය පිණිස විධිමත් වැඩපිළිවෙළක් යොදා තිබීමද බෙහෙවින් අගය කළ යුත්තකි.

කුඩාගල කෝවිද ස්වාමීන් වහන්සේ දක්ෂ කවියෙකි; ලේඛකයෙකි. උන්වහන්සේ විසින් රචනා කරන ලද පද්‍ය හා ගී පොත් රාශියකි. එම පොත්වලින් උන්වහන්සේගේ ප්‍රතිභාපූර්ණ බව මනාව හෙළිවේ. සිංහල, ඉංගී‍්‍රසි හා ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද පතපොත බෞද්ධ ලෝකයාට ඉතා වැඩදායකය.තම හැකියාව සාහිත්‍යමය අංශයෙන්ද පොදු ජන හිත සුව පිණිස යෙදවීම අගය කළ යුතු බවත්, පුරා වසර 40 ක් කටුම්බා විහාරස්ථානයෙන් ලෝ වැසියන්ට සිදුවූ හා සිදුවන උදාර ශාසනික මෙහෙවර අගයන බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ පවසති.


විහාරාධිපති කුඩාගල
කෝවිද හිමි

ථෙරවාදී බුදුදහම අද දක්වාම නිර්මලව ආරක්ෂාවන ශ්‍රී ලංකාවේ ඉපිද, තම රට, දැය, සමය වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කළ අනගාරික ධර්මපාලතුමා අමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති දෘෂ්ඨි සම්මේලනයට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාභාගි වී ලෝකයේ විවිධ රටවල විවිධ ආගම් අදහන දහස් සංඛ්‍යාත ජනතාව අමතා කතා කිරීමට අවස්ථාවක් සලසා ගත්තේය. එතුමා එදා පැවැත්වූ ඒ විශිෂ්ට දේශනා යුරෝපය පුරාම බුදුදහම පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වීමට හේතුවිය.

යුරෝපයට බුදුදහම ගෙන ගිය ධර්මදූතයා වන අනගාරික ධර්මපාලතුමා දෙවැනි ධර්මාශෝක වශයෙන් හැඳින්විණ.ලොව පුරා මේ අයුරින් බුදුදහම පැතිරෙද්දී ඕස්ට්‍රේලියා මහාද්වීපයේද ක්‍රමයෙන් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථමයෙන්ම බිහිවූ ඕස්ට්‍රේලියානු මහාද්වීපික බෞද්ධ විහාරස්ථානයෙන් ගත වූ වසර 40 පුරාවට ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ඉටුවූයේ මහඟු සේවයකි. වරින් වර ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද භික්ෂූන් වහන්සේ එහි වැඩ සිට ඕස්ට්‍රේලියාවට බුදුදහම හඳුන්වාදීමට විසල් මෙහෙවරක් ඉටු කර තිබෙන බව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුව ඇත.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට ද මෙම විහාරස්ථානය සිත නිවන, සැදැහැ වඩන තෝතැන්නකි. ශ්‍රී ලංකාව ගැනත්, ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ පිළිබඳත් නිර්මල ථෙරවාදී බුදුදහම ගැනත් හඳුන්වා දීම නිසා විදේශිකයන්ගේ පැසසුමට ලක්ව ඇත. ඕස්ෙට්‍රිලියානු ජාතිකයන්ම මෙහි පැවිදි වී විහාරස්ථාන ආරම්භ කොට ඕස්ට්‍රේලියානු මහාද්වීපය පුරා දහම් සුවඳ පැතිර වීම ඉමහත් සතුටකි. විසම කාලගුණ තත්ත්වයක් පවතින අධික ශීතලකින් යුතු පරිසරයක සිට උතුම් ධර්මඥානය ලබා ගන්නා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම ලෝක ශාසන පුනරුදයේ දීප්තිමත් සන්ධිස්ථානයකි.

අන්තර්ජාතික කීර්තියට පත් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකුවූ ආතර් සී. ක්ලාක් මහතා ඉදිරි අනාගතයේදී සිදුවන බොහෝ දේ ගැන කල්තියා අනාවැකි පළ කළේය. චන්ද්‍රිකා පණිවුඩ තාක්ෂණ ක්‍රමය ඔහුගේ සිහිනයකි. අද එය සැබෑවී ඇත. 1950 දී ‘ගැඹුරු මුහුද’ නමින් ඔහු විසින් සම්පාදනය කරන ලද කෘතියෙන් තව වසර 100 කින් ලෝකය තුළ සිදුවන බොහෝ වෙනස්වීම් පිළිබඳ ඉඟි පළ කෙරිණි. 2004 දී සිදුවූ සුනාමිය ඉන් එක් සත්‍යයක් බව ලොවටම ප්‍රත්‍යක්ෂ විණ.

එහිදී ඔහු සඳහන් කළ තවත් එක් කරුණක් මෙහිලා සඳහන් කිරීම වැදගත් යැයි සිතේ. තව වසර 100 ක් ගත වූ තැන (එනම් 2050 දී) ලෝකයේ දේවවාදී සියලුම ආගමික දර්ශන අභාවයට යන අතර බුදුන් වහන්සේ වදාළ විශ්ව දර්ශනය සියලු විද්‍යාත්මක අභියෝග ඉදිරියේ නොසැලී පවතින බව ඔහු එදා සඳහන් කළේය.

පංචේන්ද්‍රියන් පිනවීමේ අන්තයටම ගමන් කළ යුරෝපීය සමාජයට අද ‘නවාතැනක්’ අවශ්‍යව තිබේ.අධ්‍යාත්මික සුවය ලබා ගැනීමට ‘තෝතැන්නක්’ අවැසිව තිබේ. දූරදර්ශි වූ පූජ්‍ය රත්මලානේ සෝමාලෝක හිමිපාණන් 1972 දී ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය ලෙස කටුම්බා ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමෙන් බටහිර ජාතීන්ට අවශ්‍යවූ ‘නවාතැනක්’ සහ ‘තෝතැන්නක්’ යන කරුණු දෙකම සපුරා තිබීමෙහි වටිනාකම මැනිය නොහැකිය.

ඕස්ට්‍රේලියානු කටුම්බා විහාරස්ථානයටත්, එහි විහාරාධිපතිධුරය හොබවන ශාස්ත්‍රවේදී කුඩාගල කෝවිද ස්වාමීන් වහන්සේටත් ලෝක ශාසනයේ චිරජීවනය වෙනුවෙන් තවත් බොහෝ සේවාවන් ඉටු කිරීමට තෙරුවන් බෙලෙන් භාග්‍යය සහ ශක්තිය ලැබේවායි ශ්‍රී ලාංකේය සමස්ත බෞද්ධ ජනතාව සමඟ ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]