Print this Article


<%on error resume next%> දුක සැප හමුවේ නො සැලුන ශාන්ති නායකයාණෝ

දුක සැප හමුවේ නො සැලුන ශාන්ති නායකයාණෝ

පින්වත් මහණෙනි සත්පුරුෂයන් සැප විඳින කාලයේදීත් කලබලයක් නැතිව ශාන්තව ඉන්නවා. දුක් විඳින කාලයේදීත් ශාන්තව ඉන්නවා. කලබලයට යන්නේ නැහැ. නුවණැති සත්පුරුෂයන් මේ රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ යන හැම දෙයක් කෙරෙහිම ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන්ම යි. හිතේ එක් ආශාවක් තියාගෙන කටින් වෙන එකක් කියන්නේ නැහැ

බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් චරිතාපදානය දෙස බලද්දී සැප – දුක අභියස නොසැලී මුහුණදුන් අයුරු අපට දැකගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදී ම උන්වහන්සේ ඉතා සැහැල්ලුවෙන්, ප්‍රබෝධමත් සිතින් අකම්පිතව වැඩ සිටියා. ඒ ගැන සඳහන් වන ප්‍රකට කථා වස්තුවක් ධම්ම පදයේ හමුවෙනවා.

එදා “වේරඤ්ජ” කියා බ්‍රාහ්මණ ගමක් තිබුණා. තථාගතයන් වහන්සේත් පන්සියයක් භික්ෂූන් සමඟ චාරිකාවේ වඩිද්දී වස් කාලය ළං වුණා. වස්සානය ළං වෙද්දී උන්වහන්සේ වැඩහිටියේ වේරඤ්ජ කියන ගමේ.

“වේරඤ්ජ” ගමේ ගම් ප්‍රධානියාගේ නමත් “වේරඤ්ජ” යි. මේ බමුණන්ට බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වෙලා තිබුණේ ඉතාම වැරැදිි අභූ®ත, අසත්‍යය කතාන්දර. ‘තරුණයන් මහණ කරලා පවුල් කඩාකප්පල් කරනවා. සැමියන් බිරින්දෑවරු අතහැර මහණ වෙනවා. හැම දෙනා ම නිවනට ගිහිල්ලා ලෝකය හිස් කරනවා, ආදී අභූත කටකතා නිසා බමුණන් හිටියේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපැහැදීමෙන්.

“වේරඤ්ජ” ගමට බුදුරජාණන් වහන්සේ වැඩිය වෙලාවේදී “වේරඤ්ජ” බ්‍රාහ්මණයා ඇවිදින් ඒ කටකතාවල සත්‍ය අසත්‍යබව විමසුවා. බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරුවලින් ඒ කටකතාවල් මුළුමණින්ම අසත්‍ය බව ඔහුට අවබෝධ වුණා. ඔහු පැහැදුනා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා.

වස් කාලය ළං වුනා. ඒ බ්‍රාහ්මණ ගමේ වස් වසන්න කියා වේරඤ්ජ බ්‍රාහ්මණයා බුදුරදුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂූ සංඝයාට ආරාධනා කළා. බුදුජාණන් වහන්සේ ඒ ඇරැයුම පිළිගත්තා. මේ තැනැත්තා ඉතාමත් සතුටින් තම නිවසට ගියා.

හැබැයි හරි පුදුම දෙයක් වුණා. තමන් බුදුරදුන් ප්‍රධාන පන්සියයක් භික්ෂූ සංඝයාට වස් වැසීමට ආරාධනා කළ බව මේ බ්‍රාහ්මණයාට මුළුමනින්ම අමතක වුණා. ඒ තුන් මාසය ගෙවෙනකම් අමතක වුණා. ඒ අමතක කිරීම කරන ලද්දේ මාරයා විසිනුයි. එයින් අපට පැහැදිලියි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී පවා උන්වහන්සේට හෝ භික්ෂූ සංඝයාට හෝ ලැබෙන සිව්පස ලාභය පවා වළක්වන්නට මාරයා කටයුතු කොට තිබෙනවා.

ඒ කාලයේ දී ම අශ්ව වෙළෙඳුන් සමූහයක් ඒ ආසන්නයේ ම වස් කාලයේ නැවතී සිටියා. භික්ෂූන් වහන්සේලා එතැනට පිණ්ඩපාතයේ වැඩියා. යව හාල් තමයි පාත්තරයට ලැබුණේ. ඒවා වතුරෙන් පොඟවා කොටා වළඳන්නට සිදුවුණා.

ආනන්ද ස්වාමීන් වහන්සේ ද යව හාල් වතුරෙන් පො¼ඟවා ගලේ අඹරා මී පැණි සම¼ඟ බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා.

ඒ වස් කාලයේ දී මුගලන් මහරහතන් වහන්සේ පවා වැඩ සිටියේ වේරඤ්ජා ගමේම යි. ඉර්ධි බලය උපකාර කරගෙන වෙන ප්‍රදේශයකින් ප්‍රණීත දන් පැන් පිණ්ඩපාතය ගෙනැවිත් දීමට බුදුරදුන්ගෙන් අවසර ඉල්ලුවා. නමුත් උන්වහන්සේ වදාළේ මෙවැනි අවස්ථාවල පවා ඉවසීම පුරුදු කළ යුතුª බවයි. ඒ භික්ෂූන් වහන්සේලා ගේ උතුම් ධර්මයේ හැසිරීම කඩාකප්පල් කිරීමට මාරයාට ඕනකම තිබුණේ. නමුත් බුදුරදුන්ගේ උපදෙස් නිසා එය අසාර්ථක වුණා.

වස් කාලය අවසන් වුණා. චාරිකාවේ වඩින්න කල් පැමිණුනා. සිරිතක් හැටියට වස් වසන්න ඇරයුම කළ දායක පින්වතාට දැන්වීම යුතුකමක්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා වේරඤ්ජ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩියා, එවිටයි බ්‍රාහ්මණයාට මතක් වුණේ තමා අතින් සිදුවූ අත්වැරැද්ද. ඔහු කම්පා වුණා. බලවත්ව කම්පා වුණා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ් සිත සැනසුවා. ඊට පස්සේ ඔහු ප්‍රණීතව දන් පැන් සූදානම්කොට බුදුන් ප්‍රමුඛ සංඝයාට පූජා කළා.

බුදුරජාණන් වහන්සේ සඟ පිරිස පිළිවෙලින් සැවැත්නුවරට වැඩියා. වස් කාලය තුළ මුහුණ දුන් අහේනිය ගැන සැවැත්නුවර සැදැහැවතුන් මහත් කම්පාවට පත්වුණා. ඔවුන් ඉතාමත් ප්‍රණීත ලෙස දන්පැන් පිළියෙල කොට වුවමනාවටත් වඩා සංඝයාට පූජා කළා.

භික්ෂූන් වහන්සේලා දන් වළඳා අවසන් වූ විට ඉතිරි වන ඉඳුල් බත් කන පිරිසකුත් සැවැත්නුවර වාසය කළා. ඒ ඉඳුල් බත් කන පිරිස එදා වේරඤ්ජ ගමේ සිට ආපු පිරිසක්. තුන් මසක් මුළුල්ලේ ඔවුන්ට හරි කෑමක් ලැබුණේ නැති නිසා සැවැත්නුවර දී ලැබෙන ප්‍රණීත ආහාරපාන වලින් ඔවුන් මත්වුණා. ඒ ඉතුරුවෙන දානය බඩ පිරෙනකම් අනුභව කරනවා. ඉන් පස්සේ තැන් තැන්වලට ගිහින් බුදියනවා. ඉන්පස්සේ ගඟ අයිනට යනවා. ගිහින් කණ්ඩායම් හැදිලා ගුස්ති අල්ලනවා. හූ කියමින් කෑ ගහනවා. ඔට්ටු සෙල්ලම් කරනවා. හරියට කෑ ගොස්සන් ගහනවා.

මෙය දුටු භික්ෂූන් වහන්සේලා මොවුන් කෙරෙහි මහ අනුකම්පාවක් ඇතිවුණා.

”ඇවැත්නි, අපේ පන්සීයක් භික්ෂූන් වහන්සේලා කිසිම දාන මානයක් නැතිව වේරඤ්ජාවේ ඉතාම නිශ්ශබ්දව වැඩ සිටියා. මෙහේ වැඩියට පස්සෙත් මෙතරම් ප්‍රණීත දානමාන ලැබිලත් ඒ නිහඬ බවින්ම වැඩ ඉන්නවා. මේ කොළු ගැටව් එහෙම නොවෙයි. වේරඤ්ජාවේ ඉන්දැද්දී නිහඬව හිටියා. ඉන්නවද කියා හොයන්න බැහැ. දැන් මේ බත් පොඩ්ඩක් කාලා සැවැත්නුවර එක දෙක කරනවා. හරිම පුදුමයි’’.

මෙය බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණා. උන්වහන්සේ වදාළා

”පින්වත් මහණෙනි, ඒක සසර පුරුද්දක්. ඔය කොලු පැටව් එක කාලෙක පන්සීයක් බූරුවො වෙලා ඉපදිලා හිටියා. ඒ කාලේ ආජානීය වර්ගයේ හොඳම අශ්වයන් පන්සීයකුත් හිටියා.

ඉතින් එක දවසක් ඒ ආජානීය අශ්වයන්ට දිය මුසු නැති මිදි යුෂ බොන්න ලැබුණා. මිදි රොඩු ටික ඉතිරි වුණා. සේවකයෝ ඇහුවා ‘රොඩුවලට මොකද කරන්නේ’ කියලා. ‘එහෙම නම් එය මිදි රොඩු ටික වතුරේ දාලා කලම්බලා බූරුවන්ට දෙන්න’ කිව්වා. බූරුවො ටික එම මිදි රොඩු හෝදපු වතුර ටික බීලා මහා ප්‍රණීත මිදි යුෂ බිව්වට වඩා මත්වෙලා පළාත දෙවනත් කරගෙන කෑ ගැහුවා.

මේකත් ඒ වගේ දෙයක්. “පින්වත් මහණෙනි, සත්පුරුෂයන් සැප විඳින කාලයේදී ත් කලබලයක් නැතිව ශාන්තව ඉන්නවා. දුක් විඳින කාලෙදීත් ශාන්තව ඉන්නවා. කලබලයට යන්නේ් නැහැ‘ කියා බුදුරජාණන් වහන්සේ වදාළා.

නුවණැති සත්පුරුෂයන් මේ රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ යන හැම දෙයක් කෙරෙහිම ගැන ඇති ආශාව දුරුකරන්නේ අවබෝධයෙන්ම යි. එනිසාම හිතේ එක ආශාවක් තියාගෙන කටින් වෙන එකක් කියන්නේ් නැහැ. දායකයන්ගේ ළමයි වඩාගන්න යන්නේ් නැහැ. දායකයන් හඬන විට ඔවුන් හඬන්නේ නැහැ. දායකයන් හිනැහෙන විට ඔවුන් හිනැහෙන්නේ නැහැ. දායකයන්ගේ යම් යම් දේ ලැබීමේ ආශාවෙන් චාටුබස් කියන්න යන්නේ නැහැ.

එනිසා දුකක් ලැබුණත් සැපයක් ලැබුණත් ඉවසගෙන ඉන්න ඒ නැණවතුන්ට පුළුවන්. දුක සැප අභියස කම්පා නොවන කෙනෙක් වෙන්න ඇත්නම් කොතරම් අගේ ද?


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.