Print this Article


<%on error resume next%> ගාමිණී අභය රජුට දුට්ඨ ගාමිණී යැයි කීම යුක්ති සහගත ද?

ගාමිණී අභය රජුට දුට්ඨ ගාමිණී යැයි කීම යුක්ති සහගත ද?

ප්‍රථමයෙන්ම රාජ්‍යත්වය සඳහා බුදු දහම පදනම් කරගත් ශ්‍රේෂ්ඨ අධිරාජයා පෙරදිගින් පහළ වූ ධර්මාශෝක අධිරාජයාය. එතුමා මුලින් දිග්විජය ප්‍රතිපත්තිය අනුගමනය කළත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසුව ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය කළේය. භාරතයේ සිටි ප්‍රබලතම රාජ්‍ය නායකයා වූ මුලින් චණ්ඩාශෝක නමින් ප්‍රකට වු මේ අධිරාජයාගේ සුරතින් අසිපත බිමට හෙලන්නට සමත්වූයේ අන් කිසිවක් නොව තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි.

බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 කට පසුව ධර්මාශෝක මහාධිරාජයා රටවල් නවය (9) කට අප තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලදී. තම්බපණ්ණි ,මහිස මණ්ඩල, යෝනක දේශය, අපරන්ත, කාශ්මීර ,ගන්ධාර, මහාරිට්ඨ, වනවාසී, හිමවන්ත, ස්වර්ණභූමි යනු ඒ රටවල් නවයයි.

එම රටවල් නවයට අපගේ පුණ්‍යවන්ත භාග්‍යවන්ත රටවන ශ්‍රී ලංකාද්වීපය ඇතුළත්වීම මොනතරම් ආශ්චර්යක්ද? මුළු ලෝකයටම ථෙරවාදී බුදු දහම ප්‍රචලිත කිරීමට හැකියාව තිබෙන සැබෑ බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන්නේ මුතු කැටයක් බඳු වූ අපගේ මේ දහම් දිවයිනයි. ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යුත් මුතුන් මිත්තන් මේ රට ආරක්‍ෂා කළේ අන් කවර හේතුවකටත් වඩා තථාගතයන් වහන්සේගේ නිර්මල බුදු දහම නිසාමය.

එදා මීට වසර එක්දහස් පන්සීයකට පමණ පෙර අප සම්බුදු සසුනේ පිනට පහළ වූ අත්‍යුදාර ශ්‍රේෂ්ඨ නරපතියෙකු පිළිබඳව මෙම ලිපිය තුළින් අවධාරණය කළ යුතුමය.

ඒ ස්වර්ණමාලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේ කරවූ ගැමුණු මහ රජතුමාය. එතුමාගේ නම ගාමිණී අභය නම් වේ.

මහාවංශයට අනුව ‘දුට්ඨගාමිණී’ නමින් ප්‍රසිද්ධ වන බව කියවෙන මේ උදාර රජතුමා සිදු කළ වීර වික්‍රමාන්විත ක්‍රියා සහ අත්‍යුදාර ශාසනමාමක ක්‍රියා පිළිබඳව අප ගැඹුරින් වටහා ගත යුතුයි. එතුමා මෙලොව එළිය දුටුවේ බුදු සසුනට අති දැවැන්ත ලෙස ප්‍රහාර එල්ල වෙමින් තිබූ යුගයකය. මුලින් සිලාපස්සය පිරිවෙණේ සාමණේර නමක් ලෙස ස්වකීය නිවන් මග සාක්ෂාත් කරගැනීම පිණිස උතුම් පුණ්‍යකර්මයන් හි නිරත වූ එතුමා චෛත්‍යය රාජයාණන් වහන්සේට වන්දනා කර ගැනීම පිණිස පඩිපෙලකට කළුගල් අදිමින් මහත් වෙහෙස වී කටයුතු කරන අතරතුරේදී දරුණු ලෙස රෝගාතුර විය. සාමණේරයන් වහන්සේ ඇඳෙහි වැතිර අපවත්වීමට සූදානම් ව සිටින එම අවස්ථාවේදී විහාරමහා දේවිය සිලාපස්සය පිරිවෙණේ නාහිමියන් මුණගැසී තමාට රට දැය සමය සුරැකීම පිණිස පුත්රුවනක් අවශ්‍ය බව දැනුම් දුන්නාය. එවේලෙහි සිලාපස්සය පිරිවෙණේ නායක හිමියන් ධෛර්යසම්පන්න, පින්වන්ත එම සාමණේර ස්වාමීන් වහන්සේට ආරාධනා කර ගන්නා ලෙස දැනුම් දුන් අතර රාජදේවිය ඒ අපවත්වීමට සිටින සාමණේර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොයෙක් පිංකම්කොට සතුටු කරවා තම මව්කුසෙහි පිළිසිඳගන්නා ලෙස ආරාධනා කළාය. සාමණේරයෝද ඉනික්බිතිව අපවත් වී රාජදේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය.

ගාමිණී අභය ලෙස එතුමාට නම් තැබිණි. කුඩා කාලයේ පටන්ම බුදු සසුනට මහත් ලැදියාවකින් කටයුතු කළ මේ කුමරුවා ස්වකීය සහෝදරයා වන තිස්ස, කුමරු සමඟ එකතු වී මේ රට එක්සේසත්කොට බුදුසසුන සුරක්‍ෂිත කිරීමට අධිෂ්ඨාන පූර්වකව කටයුතු කළේය. ස්වකීය පියාණන් වන කාවන්තිස්ස රජතුමා දූරදර්ශි ලෙස අනාගතයේදී රට, දැය, සමය සුරැකීම පිණිස තම පුත් කුමරුවන්ට අවශ්‍ය පරිදි කටයුතු සලසනු ලැබිණි.

එහිදී විශේෂයෙන්ම ගාමණී අභය කුමරුනට සෙන්පතියන් දස දෙනෙකු පත් කරවනු ලැබිණි. නන්දිමිත්‍ර, සුරනිමල, මහසෝණ ,ගෝඨයිම්බර, ථෙරපුත්තාභය, කඤ්චදේව, ඵුස්සදේව, ලභියවසභ හා භරණ යනුවෙන් ඒ දසදෙනා හඳුන්වනු ලැබිණි. කෙසේ නමුත් එළාර රජුගේ බලරාක්‍රමය පිළිබඳව ඉතා සූක්‍ෂම අවබෝධයක් පරිණත බුද්ධියක් ඇති කාවන්තිස්ස රජුට තිබූ හෙයින් තම පුත්‍රයා එළාර රජු සමග යුද්ධයට යාමට කල්වැඩි යැයි ඔහු නිරතුරුවම කල්පනා කළේය. මේ වන විට නිරතුරුවම සම්බුදු සසුනට බොහෝ නොපනත් කම් එළාර රාජ්‍යයෙන් එල්ල විය. ඒවායේ වගකීම එළාර රජු නොදැරූ අතර ජනතාවගේම දෝෂයක් ලෙස එය ප්‍රචලිත විය. ප්‍රසිද්ධියේ ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ වන්දනා කරන එළාර රජු තමා තුළ නැති සැදැහැති බවක් දක්වා අප්‍රසිද්ධියේ ශ්‍රී මහා බෝධින් වහන්සේ විනාශ කිරීමට කටයුතු කළේය.

බුදුදහම බේරා ගැනීමේ අරමුණින්ම මේ ලෝකයට සම්ප්‍රාප්ත වු ගැමුණු කුමරුට මේ අදෘෂ්‍යමාන හස්තය ඉතා සූක්‍ෂම ලෙස අවබෝධ කරගත හැකි විය. කපටි පාලකයෙකු සතු ගුණාංග සියල්ල විනිවිද යාමේ උත්කෘෂ්ට හැකියාවක් තිබූ ගාමිණී අභය කුමරුන්ට තවදුරටත් ශ්‍රද්ධාවේ නාමයෙන්ද ධර්මිෂ්ඨ කමේ නාමයෙන්ද රවටන්නට “ධර්මිෂ්ට” එළාර රජුට නොහැකි විය. එහෙයින් ඔහු පරදවා බුදු සසුන ස්ථාපිත කිරීමේ මහා පුණ්‍යකර්මය ආරම්භ කිරීමට කුමරුට දැඩිව අවශ්‍ය විය. මේ බව පිය මහ රජුට වරින්වර දන්වා සිටියද එතුමා එය ගණනකට නොගත් බැවින් කුමරු දැඩිලෙස සිත් තැවුලට පත් වී සමස්ත රාජ්‍යත්වයම අතහැර තමාගේ සුපුරුදු සංසාර ගමනට යෙදෙන්නට, එනම් නිවන් මගට යොමුවීමට සිතුල්පව්ව බලා පිටත් වූයේ නැවත රාජ්‍යත්වයට පත්වීමේ සියලු අපේක්‍ෂා දුරු කොට ගෙනය. එහෙත් ඉතා දූරදර්ශීව කටයුතු කළ විහාර මහාදේවිය ගැමුණු කුමරුගේ සෙන්පතියන් යවා ඔහුගේ දිශානතිය වෙනස් කොට මලය රටට යැවුවේය. එහි ගිය වහාම එතුමා කළේ තම පිය මහ රජතුමාට ඇත් දළ පෙට්ටියක කාන්තා ඇඳුම් සහ ආභරණ එවීමයි. මෙයින් කුපිත වූ රජු තම පුතාට ‘දුෂ්ඨ ගාමිණී’ යැයි නම් කොට රන් දම්වැලෙන් බැඳ දඟගෙයි දැමීමට අණ කරන ලදී. එහෙත් එය කිරීමට නොහැකි වූයේ කුමරුවා ඒ වන විටත් මාලිගය අතහැර ගොස් සිටි නිසාය.

මෑණි කෙනෙක් පිය කෙනෙක් දරුවෙකු සමඟ උරණ වූ අවස්ථාවල යම් යම් ප්‍රකාශ කළත් පසුව එය වෙනස් කරයි. ‘දුෂ්ඨ ගාමිණී’ යන්නත් එවැනි ප්‍රකාශයක් වුවත් අද දක්වා ජන සමාජයට එය කාවැද්දවීමට කටයුතු කළේ එළාර රජුගේ දේශපාලන ක්‍රියාදාමයයි. මුළුමහත් දේශයක් එක්සත් කළ සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිත කළ ලෝවාමහාපාය, මිරිසවැටිය, නිර්මාණය කළ මුළු මහත් බෞද්ධ ලෝකයේම මුදුන් මල් කඩක් බඳු වූ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා නිදන්කොට සාදා තිබෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ පිංවත් ගාමණී අභය රජතුමා හෙවත් ගැමුණු මහ රජතුමාව ‘දුෂ්ඨ ගාමණී’ හෙවත් ‘දුටුගැමුණු’ නමින් හැඳින්වීම කොතරම් යුක්ති සහගතද?

යුදපිටිය මෛත්‍රිය පතුරන උතුම් පින් කෙතක් බවට පත් කළ පින් දෙන තෝතැන්නක් බවට පරිවර්තනය කළ ජනතාව බේරා ගැනීමේ අරමුණින් තම දිවි පරදුවට තබා ද්වන්ද සටනකට එළඹුණු තමාගේ පසමිතුරු රජු තමා අතින් අවාසනාවන්ත මරණයකට ගොදුරු වූ විට ඔහුගේ හිස තම උකුළට ගෙන සනසවා යහපත් මරණයකට මං පෙත් විවර කළ ඔහුගේ අභාවයෙන් පසුව රාජකීය ආදාහනයක් කරවා ගෞරවනීය සොහොන් කොතක් නිර්මාණය කර එතනින් ගමන් කරන අයට අසුපිටින් බැසීමටත් ඇතු පිටින් බැසීමටත් පෙරහැරවලට හේවිසි නාද නොකිරීමටත්, හිස්වැසුම් ආදිය ගලවාගෙන යාමටත් අණ කරන ලද මුළු ලෝකයටම මානව හිමිකම පිළිබඳ ප්‍රථම පාඩම කියාදුන් ලෝකයේ ප්‍රථම රාජ්‍ය නායකයා වන බුදු දහම වෙනුවෙන් දිවි පරදුරවට තබා ක්‍රියා කළ “මාගේ මේ ව්‍යයාමය කිසිකළෙකත් රජ සැප පිණිස නොව, බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහාම” යැයි ප්‍රකාශ කරමින් අත්‍යුදාර, අනූපමේය, විශිෂ්ට සේවයක් කළ ගාමිණි අභය රජුට දුෂ්ඨ ගාමිණි ලෙස හැඳින්වීම යුක්ති සහගතද? දැන්වත් අඳුර පට ඉරා දමා බුද්ධියේ කඩතුරාව මෑත් කොට යදම් වලින් ගැට ගසා තිබෙන චින්තනය නිවහල් කොටගෙන යථාර්ථවාදීව ක්‍රියා කරමු. අප හෙළ බෞද්ධයන්ගේ යුක්ති සහගත භාවය ධාර්මික චින්තනය ලොවට හඬ ගා කියමු. එහි ප්‍රථම රණ බෙරය වැයු ගාමිණී අභය නාමයට සදා ගරු කරමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.