UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - සදහම් දැනුම

ප්‍රශ්නය
සියලු සත්වයෝ කර්මය සිය දේපළ වශයෙන් උරුම කරගත්තෝ ය. (ම.නි. චුල්ලකම්ම විභංග සූත්‍ර) කර්මය නම් චර්යාව (හැසිරීම්) පිළිබඳව හේතු ප්‍රත්‍යයයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර් භවයයි. කර්මය මූලික වශයෙන් කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකක් වුවත් කාර්ය අනුව කොටස් හතරකි. ඒ මොනවාද?

පිළිතුර
ජනක කර්ම (නාම රූප ධර්ම උපත සිදුවීම ඉපදවීම)
උපස්ථම්භක කර්ම (ජීවත්වීමට උපකාර කිරීම)
උප පීඩක කර්ම (ජීවත්වීමට බාධා කිරීම)
උපඝාතක කර්ම (ජීවිතය විනාශ කිරීම)

මේ කර්ම සතරේම ක්‍රියාකාරීත්වය පිළිබඳව එක් නිදසුනක් නම් දේවදත්ත තෙරුන්ගේ ජීවිත පැවැත්ම දැක්විය හැකියි. ජනක කර්මය කුසල වූ හෙයින් දේවදත්ත තෙරුන් වහන්සේ රජ පවුලක උපතට හේතුවිය. උපත්ථම්භක කර්මයේ බලපෑමෙන් සුව පහසු ජීවිතයක්ම පවත්වාගෙන යෑමට කර්ම විපාකය බලවත් වුවත් සංඝභේද කර්මය හේතුවෙන් උපපීඩක කර්ම විපාක වශයෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය. අවසානයේ උපඝාතක කර්ම විපාක වශයෙන් අවාසනාවන්ත ඉරණමකට භාජන විය.

ප්‍රශ්නය
භෞතික සහ ආධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් බුදුදහෙමි ඉගැන්වෙයි. ඒ මොනවාද?

පිළිතුර
උතුනියාම – අජීව වස්තූන් පිළිබඳ භෞතික නියාමයකි.
බීජ නියාම – ඇටවර්ග හා බීජයන්ගේ ස්වභාවයය.
කම්ම නියාම – කර්ම සහ විපාකය පිළිබඳ නියාමය.
ධම්ම නියාමය – ධර්මතාවයන්හි නියාමය.
චිත්ත නියාම – මනසෙහි නියාමය.

ප්‍රශ්නය
කායක (කයින් කෙරෙන) අකුසල් වලින් අදත්තාදානය (සොරකම) එකකි. නුදුන් දෙයක් සොර සිතින් තමා සන්තකයට ගැනීම අකුසලයකි. මේ සඳහා සාධක කිහිපයක් එක්වීමෙන් සතර අපා දුක් ඇතිවීම, අවාසනාවන්ත දිළිඳු ජීවත පැවැත්මක් ඇතිවීම විපාක වශයෙන් ලැබීමට හේතුවන අංග සියල්ලක්ම සම්පූර්ණ විය යුතු ය. සම්පූර්ණ අකුසල විපාක සඳහා හේතුවන අංග මොනවාද?

පිළිතුර
අදත්තාදාන අකුසලයක් විපාක සඳහා හේතුව වන අංග පහකි.

අන්සතු භාණ්ඩයක් වීම.
අන්සතු බව දැනීම.
සොරා ගැනීමේ චේතනාව
සොරා ගැනීමට කරන උපක්‍රමය
එයින් පැහැර ගැනීම.

ප්‍රශ්නය
අකුසල කර්ම වලින් වැළකී කය, වචනය යන දොරටුදෙක සංවර කර ගැනීම ශීලයයි. සීලයෙහි ප්‍රභේදයන් ගණනාවක් අතුරෙන් ගෘහස්ථ සීලය (ගිහි) පැහැදිලි කරන්න.

පිළිතුර
ගෘහස්ථ ජීවිතයෙහි දී ආරක්‍ෂා කළ හැකි සීල වශයෙන් (සප්ත සීල) ක්‍රම හතක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. අනගාරික අගාරික වශයෙන්ද වෙන්කර ගෘහස්ථ සීලය සමාදන් විය හැකිය. එම සීල නම්,

පංච සීලය, බ්‍රහ්ම චරිය සීලය, ෂට්ක සීලය, ආජීවට්ඨමක සීලය,

අට්ඨංග සීලය, නවාංග සීලය, දස සීලය,

ප්‍රශ්නය
සිල්වතෙකුවීම දෙලොව යහපත පිණිස හේතු වන බව පෙළ දහමෙහි සඳහන් වෙයි. සීලයෙහි විපාක වශයෙන් ලැබෙන ඵලයන් පැහැදිලි කරන්න.

පිළිතුර
සීලයෙහි (ආනිශංස) ඵලයන් මෙසේය.

උපභෝග පරිභෝග සම්පත්ලැබීම
දස දෙස සිල්වතාගේ කීර්තිය පැතිරෙයි.

අභීතව - නොපැකිළව
විශාරදව සභාගත විය හැක.

(අසම්මුල්හෝ) නුමුළාව මරණය සිදුවන අතර මරණින් මතු දෙව්ලොව උපතට ද සීලයේ විපාක වශයෙන් හේතු වන්නේ ය.

ප්‍රශ්නය
බෞද්ධ භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
රාග, දෝෂ, මෝහ ආදී සිත කිලිටු කරන සිතිවිලි පහළ නොවෙන සේ සිත එක අරමුණක පිහිටුවා නැවත නැවතත් එම අරමුණට සිත නැංවීම භාවනාවයි. (භාවෙතීතිභාවනා)

ප්‍රශ්නය
මරණානුස්සති (මරණය සිහිකළයුතු) භාවනාවට අනුව ධර්මානුකූලව මරණයට සිහිකළ යුතු අංග අටක් සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර
වධක පච්චුපට්ඨාන
තමා පිටුපස එන ඝාතකයෙකු සේ (මරණත්ථාය ඔකාසං වඨකොවිය) පැමිණෙන බව සිතීම.

සම්පත්ති විපත්තිය
ජීවිතය සියලු සත්වයාට සම්පතකි.එය විපතින් කෙළවර වීම සම්පත් විනාශයකි.

ආරෝග්‍ය රෝගය අවසාන කර ඇත්තේය.

තාරුණ්‍යය දිරාපත්වීම (මහලුවීම) දක්වා පමණයි.

සියලු ජීවිත (මරණ පරියොසානං මෙ ජීවිතං) මරණයෙන් කෙළවර වන්නේ ය.

උපසංහරණය
අනුන් හා තමන් සමාන වන අයුරින් මරණය සිහිකිරීමයි.

මරණය වනාහී මහා යසස් ඇති පිරිවර ඇති ධනවතුන් මෙන් පිනැති අයට ද එකසේ මරණය සිදුවන බවද මා වැන්නවුනට කෙසේ නොපැමිණෙදැයි සිහි කිරීම.

කාය බහු සාධාරණ මරණය තම ශරීරය බොහෝ සත්වයන්ට සාධාරණ බව සිතීමය.

ආයු දුර්වලත්ව මරණය
ආයුෂ දුර්වල බව තමා වටහා ගැනීමෙන් මරණය මෙනෙහි කළ යුතු ය.

අනිමිත්ත මරණය
ජීවිතං ව්‍යාධි කාලොච
දෙහ නික්ඛෙපනය ගති
පංචෙතෙ ජීවලොකස්මිං
අනිමිත්තා න ඤායරේ

ජීවිතය, රෝගය, කාලය, මරණය, ගතිය යන පස ජීවලෝකයෙහි අනාවැකි කිව නොහැකිය.

අද්ධාන පරිච්ඡේදය
අප්පමිදං භික්ඛවෙ මනුස්සාන ආයු, මිනිස් ආයුෂ කෙටිය. කාල නියමයන් පැනවිය නොහැකිය.

නිකායාගතා දේශනා අනුව, මහණෙනි, යම් කෙනෙක් බත් පිඩක මුව තබා ගිලිනතෙක් ආශ්වාස කොට ප්‍රශ්වාස කරනතෙක් ජීවත් වන්නෙම් නම් යහපති ආදී වශයෙන් ජීවිත පැවැත්ම කෙරෙහි විශ්වාස නොතබා සිහි කිරීම අද්ධාන පරිච්ඡේදයයි.

ඛණ පරිච්ඡේදය
ජීවිතය ස්වල්ප මොහොතක් පමණ (චිත්ක්‍ෂණයක්) පවත්නා බව සිතා මරණය මෙනෙහි කිරීමයි.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]