UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෑබඩ රජමහා විහාරය

වෑබඩ රජමහා විහාරය


සැතැපෙන බුදුපිළිම වහන්සේ

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සොබා සෞන්දර්යයෙන් අනූන වූ සුන්දර ගම්පියසක් වන වෑබඩ පිහිටි වෑබඩ ගල්ලෙන් රජමහා විහාරය වළගම්බා යුගයට නෑකම් කියන්නකි. මනස්කාන්ත තුරුලතා, කෙත්වතුවලින් සුසැඳි ගම්මානයේ ජීවත් වන ජනතාවගේ සරල හා නිර්ව්‍යාජ ජීවිතවලට මේ විහාරස්ථානය ගෙන එන්නේ වෙසෙස් ආලෝකයකි. කොළඹට ආසන්නව පිහිටියත් ඉතා නිහඬ සුන්දර පරිසරය එහි පැමිණෙන සැදැහැවතුන්ගේ සිත් ඒකාත්මික කර ගැනීමට මනා පිටිවහලකි.

ඉතිහාසයේ සඳහන් පරිදි, වළගම්බා රජතුමා විදේශ ආක්‍රමණ වලට එරෙහිව වන ගතව සේනා සංවිධානය කර යුද්ධයට සැරසෙන අවස්ථාවේ දී ඊට යොදා ගත් සෑම ස්ථානයක්ම පාහේ පසුව රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව වෙහෙර විහාරස්ථාන බවට පත්කර ඇත. වාරණ, පිලිකුත්තුව යන රාජමහා විහාරයන් හා වෑබඩ ගල්ලෙන් රාජමහා විහාරය ඒ අතරට අයත් වේ. කොළඹ සිට මහනුවර දෙසට ගමන් කිරීමේ දී කඩවත නගරය පසුකර කිලෝමීටර් පහක් පමණ නුවර දෙසට ගමන් කරන විට හමුවන කිරිල්ලවල ඉඳිගහමුල මංසන්දියෙන් වෑබඩ දෙසට හැරී කිලෝමීටර තුනක් පමණ ගමන් කළ විට වෑබඩ පුරාණ ගල්ලෙන් රාජමහා විහාරය නෙත ගැටේ. පැරැණි සංදේශ කාව්‍ය වන හංස සංදේශය හා මයුර සංදේශය වැනි සංදේශ කාව්‍ය වල ද එම විහාරස්ථානය පිළිබඳ සඳහන් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ‘ගලේපන්සල’ යන නමින් හඳුන්වන මෙම විහාරය පුංචි ශ්‍රී පාදස්ථානය ලෙස ජනවහරේ භාවිතා වේ. ඒ සඳහා හේතු වී ඇත්තේ විශාල කළුගලක් ආශි‍්‍රතව පන්සල පිහිටා තිබීමත්, ගල්කන්ද මුදුනේ ඉහළින් විහාර මන්දිරය අසල බුදුන් වහන්සේගේ ශ්‍රීපාදය කළුගල්කුල මුදුනේ නෙළා තිබීමත් ය.


විහාරාධිකාරී වෑබඩ පියරතන හිමි

ඉතා අලංකාර සෑරදුන් වහන්සේ සහ බෝධීන් වහන්සේගෙන් ද විහාර මන්දිර දෙකකින් ද සමන්විත මෙම විහාරය උස් බිමක පිහිටා තිබීම නිසා මනස්කාන්ත දසුනක්ව ඈත සිට දැක බලාගන්නකුගේ වුවද නෙත සිත සනසාලයි. විහාර භූමියට පිවිසෙන්නකුට පියගැටපෙළ දිගේ ඉහළ නැඟ යන විට ගල්කන්ද මුදුනේ ජල පොකුණක් දක්නට ලැබේ. එම පොකුණේ සුවිශේෂත්වය නම් කෙතරම් බලවත් නියඟයක් පැවැති කාලයක වුවද මෙහි ජලය නොසිඳී පැවතීමයි.එම පොකුණේ පහළට, ගැඹුරට යන විට දෝනාවක ස්වරූපයක් ගන්නා බව කියැවේ. මෙබිමේ පිහිටි රණරාජ ශාලාව නම් ඉපැරැණි ගොඩනැඟිල්ල පැරැණි විද්‍යාස්ථානයක මතක සටහන් කියාපාන්නකි. වර්තමානයේ මෙය ‘වෑබඩ දකුණ විද්‍යාලය’ නමින් ප්‍රදේශයේ දරුදැරියන් විශාල පිරිසකට සිප්සතර ලබාදෙන විද්‍යාස්ථානයක් බවට පත් වී ඇත. ඉපැරැණි වාස්තු විද්‍යාත්මක අංග ලක්‍ෂණ වලින් සමන්විත කටාරම කෙටූ ගල්ලෙනක පිහිටි විහාරමන්දිරය ඓතිහාසික වටිනාකම මොනවට මතුකරයි.


බෝධින් වහන්සේ

වෑබඩ රජමහා විහාරය මගින් ගම්ප්‍රදේශයට සමාජ, සංස්කෘතික, ආගමික හා අධ්‍යාපනික වශයෙන් විශාල සේවයක් සිදුවේ. වත්මන් විහාරාධිකාරී වෑබඩ පියරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ සියලු කටයුතු සිදු කෙරෙයි. ඉරිදා දහම් පාසල සහ පෝදා ශීල සමාදානය සේම, දූ දරුවන් පිරිත් පින්කම් කෙරෙහි වඩාත් නැඹුරු කිරීම සඳහා ද වැඩසටහනක් ක්‍රියාත්මක වේ. පිරිත් සජ්ඣායනයෙන් ලබාගත හැකි ආශිර්වාදය හා එහි වැදගත්කම පිළිබඳ වර්තමාන දූ දරු පරපුරට මැනැවින් වටහා දෙමින් ඔවුන් පිරිත් සජ්ඣායනයට හුරු කිරීමද ඔවුන් ලවා පිරිත් පින්කම් පැවැත්වීමද මේ අනුව සිදුකෙරේ. එම වැඩසටහන ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ඥානා විජේසූරිය ගුරුමෑණියන් හා ප්‍රවීණ ගිහි පිරිත් දේශකවරුන් වන එම්.ඒ. ගුණවර්ධන, සුමනදාස රණවක සහ සරත් වන්නි ආරච්චි යන මහත්වරුන් ය. අනාගත පරපුර ධර්මයට යොමුකිරීමේ අරමුණින් ආරම්භ කළ එම වැඩසටහන ප්‍රදේශයේ මෙන්ම අවට ප්‍රදේශවල වැසියන්ගේද ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇත. පිරිත් සජ්ඣායනය කිරීම සඳහා දැනට දරුවන් විශාල පිරිසකට පුහුණුව ලබාදී ඇති අතර ඔවුන් විවිධ ප්‍රදේශවල පිරිත් පින්කම් රාශියක් සාර්ථකව පවත්වා ඇත.


ඓතිහාසික විහාර මන්දිරය

මේ ලිපිය සැකසීමේ දී තොරතුරු සපයාදීමෙන් සහයෝගය දැක් වූ සංජීව රංජන කුමාර සහ පි‍්‍රයන්ත අල්විස් යන මහත්වරුන්ට ස්තූතිය හිමි වේ.

 

 

 

 

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]