UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> අඩසිය වසක අතීතය සමරන මාතර බෝධි ආරක්ෂක සභාව

අඩසිය වසක අතීතය සමරන මාතර බෝධි ආරක්ෂක සභාව

මාතර නගරයට ප්‍රවිශ්ඨ සැම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එකවරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන ඓතිහාසික පුරාවෘත්තයක් නිහඬව කියා පාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේය.

කොළඹ සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගණයට මුහුණලා පිහිටා ඇති මේ පරම පූජනීය මාතර ඓතිහාසික බෝධි රාජයා ක්‍රි.ව. 515 දී මෙරට රාජ්‍යත්වයට පත් වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැලකෙන කුමාරදාස නිරිඳු කල දක්වා දිවෙන ඓතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ.මෙම බෝධිරාජයා රෝපණය කිරීමේ අවස්ථාවට කුමාරදාස රජුගේ ආරාධනයෙන් රාජ්‍ය අමුත්තකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ජීවිතක්‍ෂයට පත් වූ කාලිදාස මහා කිවිදාණන්ගේ චිතකයට පැණ දිවි නසාගත් බිසෝවරුන් පස්දෙනාත් සමග රජුද උපදෙස් දුන් පඬිවරුද යන සත් දෙනාද පැන දිවි තොරකර ගත් බව සඳහන් වේ. මේ ශෝකාන්තය සිහිපත් වන්නට මාතර නගරය තුළ බෝධි 7 ක් රෝපණය කළ අතර එදා පටන් මේ ස්ථානය “ හත් බෝධි වත්ත” නමින් හඳුන්වන ලදී. මාතර ඓතිහාසික බෝධි රාජයා එම බෝධින් වහන්සේලා අතරින් එකක් ලෙස විශ්වාස කෙරේ. මෙම මාතර ඓතිහාසික බෝධින් වහන්සේ අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ ගෝත්‍රයට අයත්වන බව උද්භිද විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

එවකට මෙරට පාලනය කරන ලද ඉංගී‍්‍රසි පාලකයින් මේ ඓතිහාසික පූජා භූමියට විවිධ තර්ජන එල්ල කරන ලද අතර මාතර නගර සභා භූ®මිය පුළුල් කරන අටියෙන් හා බෞද්ධයින්ට පාඩමක් ඉගැන්වීමේ අදහසින් ඔවුන් විසින් මෙම බෝධින් වහන්සේ කපා ඉවත් කිරීමට දින පවා නියම කර ගන්නා ලදී. එහෙත් එවකට මාතර නගරයේ සිටි බෞද්ධ ව්‍යාපාරිකයන් රාජ්‍ය නිලධාරින් හා මාතර නගර සභාවේ නිලධාරින් ද සෙසු බෞද්ධ ජනයාද එක්ව විවිධ තර්ජන ගර්ජන මැද්දේ ඉතා අපහසුවෙන් එය ආරක්ෂා කර ගෙන තිබේ. ඔවුන්ගේ මූලිකත්වයෙන් බෝධින් වහන්සේ අබියස බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳුවා වන්දනාමාන කිරීමට කටයුතු සැලැස් වූ අතර මෙහි පූජනීයත්වය ඔප් නැංවීමට කුඩා බුදු මැදුරක් ද කුඩා චෛත්‍යයක් ද දේවාල දෙකක් ද ඉදිකරන ලදී. මුලින් ඉදි කළ මෙම කුඩා චෛත්‍ය විහාර මන්දිරය පිටුපස දැනුදු දක්නට ලැබේ.

මාතර බෝධි ආරක්‍ෂක සභාවේ සාමාජිකයන් අතුරෙන් පරලෝ සැපත් බී. ආරියරත්න මහතාත් බී.ඒ. සයිමන් අප්පුහාමි මහතාත් කේ. පී.කරනේලිස් මහතාත් මේ සඳහා පෙරමුණ ගත් පිරිස අතර වේ. 1961 කේ.ටී. සෝමපාල ,සී.ඒ.ධර්මසේන සහ ආර්.පෑලිස් යන මහත්වරු ස්වකීය ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක් ගොඩනැගීම ආරම්භ කරන ලදී. මෙසේ ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැති මාතර බෝධි රාජායාගේ ඉදිරි පැවැත්ම හා ආරක්ෂාව සඳහා 1962 ඔක්තෝබර් 19 වන දා මාතර බෝධි ආරක්ෂක සභාව පිහිටුවන ලදී.

මාතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ධුරයට එඩ්මන් සමරසේකර මහතා පත් වූ අතර 1978 දක්වා 17 ක් නොකඩවා එතුමා එම තනතුර හොබවමින් අකලංක අමරණීය සේවාවක් සිදු කරමින් බෝධි රාජයාගේ උන්නතිය සදහා කටයුතු කරන ලදී. ඔහුගේ අභාවයෙන් පසු පිළිවෙළින් හෙන්රි ගුණසේකර, සී.ඒ.හේමචන්ද්‍ර නීතිඥ රිචඩ් කුලතුංග එස්.කේ. චන්ද්‍රසෝම අමරදාස කුමාරනායක, රොහාන්ත සමරසිංහ යන මහත්වරු පත් වූ අතර වර්තමාන සභාපති ලෙස කටයුතු කරන්නේ ප්‍රදේශයේ සම්භාවනීය පරපුරකට අයත් ප්‍රභූ®වරයෙකු වන ඩිහාන් සමරසේකර මහතායි. එතුමා තම කාලයත් ධනයත් ශ්‍රමයත් මේ සඳහා කැප කරමින් ජාතික හා ආගමික හැඟීමෙන් යුතුව රටටත් සමාජයටත් සම්බුද්ධ ශාසනයටත් මේ තුළින් උදාර ජාතික ආගමික හා සමාජයීය මෙහෙවරක් කරමින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරන බව ප්‍රශංසාභිමුඛයෙන් සඳහන් කළ යුතුය.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් සිදු කරන සේවාවන් රාශියකි. අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරි නැමීම, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරි නැමීම, මාතර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර දීම, ආර්ථික අපහසුතාවලින් යුතු පවුල් වල දරු දැරියන්ට හා වැඩිහිටියනට්, නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම, රෝහල් ගතව ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සඳහා බෙහෙත් වර්ග ලබාදීම, අක්‍ෂි කාච ලබාදීම, ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමට ද්‍රව්‍ය හා මූල්‍යමය වශයෙන් ආධාර ලබාදීම ශාසනික, සංස්කෘතික හා සමාජයීය පරිත්‍යාග සිදු කිරීම, ප්‍රදේශයේ පාසල් සිසුන් උදෙසා අ.පො.ස. සාමාන්‍යපෙළ පෙරහුරු සම්මන්ත්‍රණ පැවැත්වීම, අනාගතයේ ශාසනික පැවැත්ම සදහා අවශ්‍ය ධර්මධර විනයධර සඟ පරපුරක් බිහි කරලීමේ අරමුණින් බුද්ධ ධර්මය ඉගැන්වීමේ ව්‍යාපෘති පිළියෙල කිරීම ප්‍රදේශයේ පවත්නා විහාරස්ථාන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ආධාර දීම, ධර්මකාමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් බෝධි රාජයා අබියස දිනපතා සන්ධ්‍යා කාලයේ බෝධි පූජා ධර්මදේශනා වැඩසටහන හා සති අන්ත විශේෂ භාවනා ධර්ම සාකච්ඡා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,ජාතික වැදගත් කමකින් යුතු උත්සව සැමරීමට අධාර දීම,බෞද්ධ පුස්තකාල සේවාවක් මගින් පාසල් දරු දැරියන්ටත් වැඩිහිටියන්ටත් අවශ්‍ය දහම් පොත පත ලබාදීම,ඓතිහාසික බෝධින් වහන්සේ හා එම බෝමළුව තුළ ඇති සියලුම බෞද්ධ වස්තුන් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර හා වත් පිළිවෙත් අනුව ආරක්‍ෂා කිරීම හා පවත්වාගෙන යාම ආදි ශාසනික, ජාතික හා සාමාජයීය කටයුතු රාශියක් සිදු කරනු ලබයි. මෙහි සදහන් කරන ලද්දේ මාතර බෝධි ආරක්‍ෂක සභාවෙන් සිදු කරන සුවිශාල සේවාවන් අතරින් කිහිපයක් පමණි. දිවයිනේ වෙනත් විවිධ බෞද්ධ සංවිධානවලට පූර්වාදර්ශයක් ලබා දෙමින් මාතර බෝධි ආරක්‍ෂක සභාව මහජනතාවගෙන් ලැබෙන මහජන මුදල් පාරදෘශ්‍ය භාවයෙන් යුතුව නිසි කළමණාකාරිත්වයක් යටතේ පරිපාලනය කරමින් ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර ජීවිතය යහපත් කර ගැනීම සඳහා යෙදවිය යුතුය යන පරහිතකාමී උදාර සංකල්පය මත පිහිටා කරනු ලබන මේ සේවාව සමස්ත ලංකාවාසී ජනතාවගේ ම ඇගයීමට ලක්විය යුතුය යන්න අපගේ විශ්වාසයයි.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කෙරෙන සුවිශාල සේවාවන් අතරින් මාතර, හම්බන්තොට,රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මිලියන 2 ක පමණ ජනතාවට සේවා සලසනු ලබන අතර මහ රෝහලට ලබා දෙන අනුග්‍රහය විශේෂයෙන් සඳහන් කළ යුතුය. දැනට මාතර මහ රෝහලේ පවත්නා වාට්ටු 27 න් වාට්ටු 11 ක් ම ඉදි කරවා උපකරණ සහිතව පරිත්‍යාග කොට ඇත්තේ මාතර බෝධි ආරක්‍ෂක සභාව මගින් බව මෙහිලා ප්‍රශාංසාභිමුඛව සඳහන් කළ යුතුය.

ඒවා නඩත්තු කරන්නේ ද නවීකරණය කරන්නේද මාතර බෝධි ආරක්ෂක සභාව මගිනි. මේ දක්වා මාතර මහ රෝහල සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව සඳහා වැය කර ඇති මුදල් හත්කෝටි පනස් නව ලක්‍ෂ හැට එක් දහසක් පමණ වේ. (රු. 75,961,000/=) මෑතදී මාතර බෝධිආරක්‍ෂක සභාව මගින් තනා නිමකර රෝහලට භාරදුන් සී.ටී. ස්කෑන්ර් යන්ත්‍රය ස්ථාපනය සඳහා වූ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා පමණක් වැය කර ඇති මුදල් රුපියල් කෝටි 03 කට ආසන්නය. මේ හැරෙන්නට මාතර බෝධි ආරක්ෂක සභාව සතුව තිබු මාතර, කඹුරුගමුවේ මාතර, ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අක්කර 02 ක පමණ සරුසාර වගාවෙන් යුතු භූ®මි භාගයද ලක්‍ෂ 200 ක් වැය කර තනා නිම කළ අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර එහි සම්පූර්ණ අයිතිය නීත්‍යානුකුªලව පවරා ඇත.

තවත් විශේෂ ව්‍යාපෘතියක් වනුයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ප්‍රාචීන , ප්‍රාරම්භ, මධ්‍යම හා උසස් පෙළ අංශයන් සඳහා සුදසුකම් ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින් සමත් වී වැඩිම ලකුණු ලබාගත් මාතර දිස්ත්‍රික්කය තුළ ආර්ථික අපහසුතා වලින් යුතු දරු දැරියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමයි. සිසු දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරි නැමීමේ වැඩසටහන 1994.07.25 වන දින ආරම්භ කළ අතර මේ දක්වා දරු දැරියන් 875 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මේ දක්වා භික්ෂූන් වහන්සේලා 226 නමක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ.

මාතර බෝධි ආරක්‍ෂක සභාව ආරම්භ කර 2012.10.19 වන දිනට වසර 50 ක් සපිරේ. ඒ අනුස්මරණිය අවස්ථාව සිහිපත් කිරීම සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව මගින් මුළු වසර පුරාම දිවෙන ජාතික, ආගමික හා සාමජයීය ව්‍යාපෘති රාශියක් දැනට දියත් කර ඇත. එහි සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔක්තෝබර් මස 03 දා සිට 16 වන දින දක්වා දිනපතා රටටත් ,ජනතාවටත් සෙත් පතා පස්වරු 6.00 ට බෝධිපූජාවක් ද රාත්‍රි 7.00 ධර්මකථිකයන් වහන්සේලා වැඩමවා සිදු කෙරන ධර්ම දේශනා මාලාවක් ද සංවිධානය කර ඇත.

 

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]