Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලද දෙයින් සතුටුවීමේ වාසනාව තුරන් වී යනවාද?

ලද දෙයින් සතුටු වීමේ සරල චාම් දිවි පෙවෙත බෞද්ධ අන්‍යතාවය විදහා දක්වන සුවිශේෂි ගුණ ධර්මයක්. නමුත් නො සංසිඳෙන ආශාවන් පසුපස හඹා යන වත්මන් ලෝකයෙන් ලද දෙයින් සතුටු වෙමින් සැපසේ වාසය කිරීමේ වාසනාව වේගයෙන් තුරන් වී යන සෙයකි. මෙය බෞද්ධ අපගේ ජීවිතවල සිදු වූ විශාල පරිහානියක් බව අප කවුරුත් තේරුම් ගත යුතු කරුණකි. ඒ ලද දෙයින් සතුටුවීම යම් සමාජයක් තුළින් තුරන් වී ගිය කළ එහි නොයෙකුත් අර්බුද, ගැටලු සහගත දෑ සිදුවීම නො වැළැක්විය හැකියි. අපට හැඟෙන ලෙසට වත්මන් ලෝකය බොහෝ සෙයින් කතාකරන ශීඝ්‍ර ගුණ ධර්ම පරිහානියට ප්‍රබලතම හේතුවක් වෙන්නේ මෙය යි.

තමන් නො ලද අන් අය භුක්ති විඳින කාමයන් කෙරෙහි ලොබ බැඳගත් කළ බොහෝ දෙනා කටයුතු කරන්නේ යහපත, අයහපත පිළිබඳව වගක් නො මැතිව ය. අප හොඳින් කල්පනා කර බැලුවොත් මේ ලෝකයේ නොයෙකුත් හොරකම් සිදුවන්නේ තමන්ට නො මැති අනුන් සතු දේට ආශා කිරීම නිසා නේ ද? එමෙන්ම බොහෝ අවස්ථාවල දෙදරා ගිය පවුල් ජීවිත ගැන ගත්තොත් බොහෝ විට ඊට හේතු වී ඇත්තේ ස්වාමියා, බිරිඳ ඉක්මවා එහා ගිය සදාචාර විරෝධි අසම්මත සම්බන්ධකම් ය. ඒ විතරක්ද නොවෙයි. අනුන්ගේ දියුණුවට අකුල් හෙළන යම්තාක් අකටයුතුකම් පවතීද ඒ සෑම දෙයකට ම මුල තමා ලද දේ පිළිබඳව සතුටට පත්වීමට නො හැකියාව හා ඒ දේවල් අනුන් ලබා ගැනීම දරා ගැනීමට නො හැකිවීම යි. මේ අනුව ලද දෙයින් සතුටට පත්වීමට නොහැකි බව සමාජයට සිදුකර ඇත්තේ සුළුුපටු විනාශයක් නො වේ.

ඒ වගේම ලද දෙයින් සෑහීමට පත්වීමට නො හැකි තැනැන්තා විශාලතම හානිය කර ගන්නේ තමාට යි. එනම් කිසිදාක තෘප්තියකට පත්වීමට නො හැකිවීම තුළින් උපදිනා මානසික පීඩනය යි. එමෙන් ම නො ලද දේ තමන් සතු කර ගැනීම පිණිස දරණ වෑයමේ දී සිදුවෙන නො යෙකුත් අකුසල් හේතුවෙන් මෙ ලොවදී ත් පරලොව දී ත් විඳින්නට සිදුවන දුක් විපාක නො දැනයි. එ නිසාම ඒ බොහෝ දෙනාට මරණයට පත්වන්නට සිදු වන්නේ සන්තර්පණය කර ගැනීමට නො හැකි වූ බොහෝ ආශාවන් පොදි බැඳගෙන මිය යන්න යි.

”රජ කෙනෙක් සාගරය පවුර කරගෙන මුළු ලෝකයම ජය ගත්තත් ඔහුට තෘප්තියක් නැහැ. ඔහු කැමති යි සාගරයෙන් එතෙර තිබෙන රටත් රජ කරන්න. ඒ රජුත්, අනෙක් බොහෝ මනුස්සයනුත් මරණයට පත්වෙන්නේ තණ්හාව දුරු නො කරමයි. ජීවිතය අත්හරින්නේ ඌණත්වයට පත් වෙලාම යි. මේ කාම ලෝකයේ තෘප්තියට පත්වීමක් නම් නෑ මයි” කියා රට්ඨපාල මහරහතන් වහන්සේ වදාළා.

එසේ නම් ලද දෙයින් සතුටුවීමට නො හැකි පුද්ගලයාට ලෞකික ජීවිතයේ පවා හිමිවන්නේ අතෘප්තිය පමණ යි. එසේ නම් අත්හැරීම කේන්ද්‍ර කරගත් බුදු සසුනක පිහිට පිළිසරණ ඔහු කෙසේ ලබන්න ද? එ නිසාමයි මේ බුද්ධ ශාසනය ලද දෙයින් සතුටු වන කෙනා උදෙසා පමණක් වෙන්නේ (සන්තුට්ඨිස්සායං භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස) මහණෙනි, මාගේ මේ ධර්මය තියෙන්නේ ලද දෙයින් සතුටු වන කෙනාට යි. ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට නම් නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු බුදු සසුනේ මහ පුරුෂයන් බිහිකරන මහා පුරුෂ විතර්කයක් බවයි. එ මෙන්ම නිවන පිණිස උපකාර වන්නා වූ දස කතාවේදී ද ‘’සන්තුටිඨි කතාවම” දක්වා ඇත්තේ එය නිවන් මගට එතරම් ම උපකාර වන බැවිනි.

එ නිසා බුදුරජාණන් වහන්සේ නිතර නිතර ස්වාමීන් වහන්සේලාට අවවාද කළේ ලැබුණු සිවුරකින්, ලද පිණ්ඩපාතකින්, ලද කුටියකින්, ලද ගිලන් පසකින්, ලද බෙහෙතකින් සතුටු වෙමින් හංසයන් මෙන් නිදහස් ජීවිතයක් ඇතිකර ගන්නා ලෙස යි.එයට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ලද දෙයින් සතුටු වුණේ නැත්නම් ඒ කෙනාට නොයෙක් කුහකකම් ඇතිවන බව යි. ඒ වගේම නො ලද දේ ලබා ගැනීම පිණිස නැති ගුණ පෙන්වීමට සිදුවන බවයි. කැමැති දේවල් නො ලැබෙන්නේි නම් මිථ්‍යා ආජීවයෙන් හෝ ඒ දේවල් ලබා ගැනීමට කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. එතකොට බලන්න. ලද දෙයින් සතුටු නොවීම අපේ ධර්ම මාර්.යට කොතරම් නම් අනතුරක් සිදු කරනවා ද? ඒ වගේම නො සංසිඳුණු ආශාව අපේ සාමාන්‍ය ජීවිතයේ සතුට පවා නැති කරනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලද දෙයින් සතුටුවීමේ හැකියාව උපදවා ගැනීම පිණිස අප්‍රමාදීවන්න කියලා.

ඒ උතුම් ගුණධර්මය බුදුරජාණන් වහන්සේගේි ජීවිතය තුළ රහතන් වහන්සේලාගේ ජීවිතය තුළ උපරිමයෙන් පිහිටා තිබුණා. ඒ නිසයි උන්වහන්සේලා කටුක වූ ආහාර වළඳා නමුත්, ගස් සෙවනක වාසය කරමින් නමුත්, ඉවත ලන රෙදි කඩකින් කළ සිවුරක් පරිහරණය කළ නමුත් පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කළේ. බුද්ධ ශාසනය යනු ලද දෙයින් සතුටුවීමේ ගුණයේ ආශ්චර්යය ලෝකයාට කියා පාන්නක්. ඒ ගුණධර්ම අදට ද ලොව මවිත කරයි.

එක්තරා වස් කාලයක දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය “වේරඤ්ජාව“ කියන ගමේ වස් සමාදන් වුණා. ඒ “වේරඤජ” නම් බ්‍රාහ්මණයාගේ ආරාධනාවෙන්. නමුත් වස් කාලය පුරාවට සිවුපිසයෙන් උපස්ථාන කිරීම ඔහුට අමතක වුණා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට සිදුවුණා. නමුත් ඒ කාලය පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාන ය පිණිස ලැබුණේ අශ්වයන්ගේ ආහාර පිණිස යොදා ගන්නා යවහාල් පමණයි. නමුත් ලද පිණ්ඩපාතයෙන් සතුටුවන උන්වහන්සේලා යවහාල් කොටා සාදාගත් ගුලි අනුභව කරමිනුයි ඒ කාලය ගත කළේ. මේ සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලද දෙයින් සතුටුවීමේ ගුණයට සාධුකාර පැවැත්වූවා. “පින්වත් මහණෙනි මේ විදිහට රහතන් වහන්සේලා යවහාල් පමණක් වළඳා සතුටින් වාසය කළ බව අනාගතයේ මිනිසුන් දැන ගත්තොත් ඔවුන් රසමසවුළු පිරි සූප ව්‍යඤ්ජනයන්ට ඔච්චම් කරාවියි” වදාළා.

එහෙමනම් අද අප පතමින් යන්නේ ඔච්චම් කළ යුතු ආශාවන් පසුපස නේද?නමුත් කෙතරම් රස මසවුළු අනුභව කරමින් ගියත් දිවට දැනෙන රසය සම්බන්ධයෙන් අප අදටත් අතෘප්තිමත්. ඒව අතෘප්තිය මරණ මොහොත දක්වා ම දිවෙන්නකි. පංච කාමයන් සම්බන්ධයෙන් ම තත්ත්වය එසේම ය.එසේ නම් අපට පැහැදිලියි ජීවිතයේ සතුට සැනසුම රඳා පවතින්නේ නො ලද කාමයන් පසුපස හඹායාම තුළින් නොව, ලද දෙයින් සතුටු වෙමින් ගෙවන සරල දිවි පැවැත්මෙනි.

ඒ වගේම ගෞතම බුදුසසුන තුළ ලද දෙයින් සතුටුවීමේ ගුණයෙන් සෝභමානව සුදිලුණු මහා කස්සප මහරහතන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක ගුණ වර්ණනා කළේ මෙසේයි. “පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබුණු සිවුරකින් සතුටු වෙනවා. ඒ වගේම ලැබුණු සිවුරකින් සතුටු වෙන්ට පුළුවන්කම ගැන ගුණ වර්ණනා කරනවා. සිවුරක් නිසා නො ගැළපෙන දේවල් කරන්න යන්නේ නැහැ. සිවුරක් නො ලැබුණා කියලා තැවි තැවී ඉන්නේ් නැහැ. සිවුරක් ලැබුණොත් එයට ගිජු වෙන්නෙත් නැහැ.එයින් මුසපත් වෙන්නෙත් නැහැ. ඒ කෙරෙහි ආශාවෙන් බැස ගන්නෙත් නැහැ. ඒ සිවුරේ අනිත්‍ය බව නම් වූ ආදීනවය දකිමින් එහි නො ඇලෙන නුවණින් යුක්තවමයි එය පරිහරණය කරන්නේ (කස්සප සංයුත්තය)

ඔබත් ඒ ආකාරයට කල්පනා කොට ලද දෙයින් සතුටු වන කෙනෙක් බවට පත්වුණොත් ඔබේ ජීවිතය දිනෙන් දින සුවපත් වන ආකාර ය ඔබ ට ම පසක් වේවි’ නො සංසිඳෙන ආශාව පසුපස හඹායෑමෙන් ඇතිවන අමිහිරි වූ විඩාව, අතෘප්තිමත්භාවය ඔබ කෙරෙන් පහව යනු ඇත. එවිට බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ බුදු වදන ඔබ උදෙසා වනු ඇත. එය ඔබ බුදු සසුනේ මහා පුරුෂයෙක් බවට පත්වීමට සුදුසුකම් ලද්දෙකි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.