UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගොඩහේනේ ජනානන්ද නාහිමි

මහනුවර දිස්ත්‍රික්කයේ සාරසියපත්තුවට අයත්, ගොඩහේන සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, විචිත්‍ර ධර්මකථික ගොඩහේනේ ජනානන්ද හිමියන් වෙත උඩරට අමරපුර මහා නිකායේ ‘සාසනජෝතිකා’ කාරක සංඝ සභාව විසින් හාරිස්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.

ගොඩහේන ජනපදයෙහි පදිංචිව සිටි එගොඩගේ උපාසක තුමන්ට සහ යසවතී මහෝපාසිකාවට පුත් රුවනක් වශයෙන් 1952 අගෝස්තු මස 29 වැනි දින උපත ලැබූ ජනානන්ද හිමියෝ, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දොළපිහිල්ල මහා විද්‍යාලයෙනි. කුඩා කල සිටම පැවිදි බව ලැබීමට ඉමහත් රුචියක් දැක්වූ මෙම දරුවා ඓතිහාසික දොළපිහිල්ල මහා පබ්බතාරාම රාජ මහා විහාරාධිපති, කහටගස්තැන්නේ ජිනෝරස නා හිමියන් වෙත භාරදෙනුව, 1969.07.29 වැනි දින ගොඩහේනේ ජනානන්ද යන නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ. කහටගස්තැන්න ශ්‍රී අරියවංශාරාමය නේවාසික විහාරස්ථානය කර ගත් උන්වහන්සේ, බටගල්ලේ ධම්මරතන විශ්ව විද්‍යාලයීය පිරිවෙනට ඇතුළත්ව, කීර්තිමත් පඬි රුවනක් වශයෙන් වැඩසිටි මහාචාර්ය හපුගොඩ නන්දාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇසුරෙහි ධර්ම ශාස්ත්‍රය මෙන්ම පාලි සංස්කෘත, සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයයන් හැදෑරූහ.

උගත යුතු කරුණු මැනවින් හදාරා, 1973.07.04 වැනි දින මහවැලි නදී සිරිමහබෝධි සීමා මාලකයේදී උපසම්පදාව ලබා ගත්හ. අනතුරුව හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන අධ්‍යාපනය ලබා ගත් ජනානන්ද හිමියෝ නිත්‍ය නේවාසික කහටගස්තැන්න ශ්‍රී අරියවංශාරාමයෙහිම වැඩ වසමින් එම විහාරස්ථානය දියුණු පවුණු කරමින් දායක දායිකාවන්ගේ ප්‍රසාදයට පත් වෙමින් වැඩ සිටි අතර, අභාවයට පත්වෙමින් පැවති ගොඩහේන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කර එම ස්ථානය ද දියුණු කිරීමට උත්සාහ ගත්හ. වර්තමානයෙහි එම බෞද්ධ මධ්‍යස්ථානයෙහි වැඩ වසමින් ලෝක ශාසනයට ඉමහත් සේවයක් සිදු කරති.

ජනානන්ද හිමියන් ගොඩහේන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහනෙහි පාලක සභාවෙහි ගරු අනුශාසකයන් වහන්සේ වශයෙන් කටයුතු කරති. එසේම මධ්‍යම පළාතේ “ සිරි සිදුහත් භික්ෂු සංවර්ධන පදනමෙහි” ප්‍රධාන නිලයක් දරති. ගොඩහේන තරුණ බෞද්ධ සංගමයෙහි අනුශාසකයන් වහන්සේ වෙති. රාජසිංහ ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්යයන් වහන්සේ වන උන්වහන්සේ විවිධ ස්වේච්ඡා සංවිධාන වල නිලතල දරති. සමස්ත ලංකා සාමවිනිසුරුවරයෙක් වශයෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් පත්වීම් ලබා ඇති ජනානන්ද හිමියෝ ස්ව නිකායික සංඝ සභාව වෙතින් “ කර්මවාගාචාර්ය” තනතුරකින් ද පිදුම් ලබා සිටිති. ගිහි පැවිදි ශිෂ්‍යයන් විශාල පිරිසක් සමාජයට දායාද කර සිටින උන්වහන්සේ ප්‍රදේශයේ සුප්‍රකට ධර්ම දේශකයෙකි. පිරිත් දේශකයෙකි. හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි සාමණේරයන් වහන්සේලාට සර්ව රාත්‍රික පිරිත් දේශනා ධර්ම දේශනා පුහුණු කරන්නේ ද උන්වහන්සේ විසිනි. උන්වහන්සේ දෙවතාවක් ඉන්දියාව, නේපාලය යන රටවල ධර්ම චාරිකාවේ නිරත වූහ.

ගොඩහේනේ ජනානන්ද හිමියන්ගෙන් ලෝක ශාසනය උදෙසා සිදුවන අමිල මෙහෙය සලකා උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතිකා සංඝ සභාව විසින් හාරිස්පත්තුව ද්විතීය සංඝ නායක පදවිය පිරිනමන්නට යෙදුණි. ඒ පිළිබඳ අක්ත පත්‍රය පසු ගිය ජූලි මස 15 වැනි දින පේරාදෙණිය සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී උඩරට අමරපුර මහා නිකායේ අනුනායක, මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත, අත්තරගම වජිරජ්‍යෝත්‍යභිධාන මාහිමිපාණන් ප්‍රධාන කාරක සංඝ සභාව වෙතින් පිරිනමන ලදී.


කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමි

පන්නිපිටිය දෙපානම දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමියෝ සැප්තැම්බර් මස 24 වන දිනට 43 වැනි විය සපුරති.

1969 සැප්තැම්බර් 24 වන දින කොළොන්නාවේ පූර්ණා චන්ද්‍ර විජේසිංහ සහ පරලෝ සැපත් සුමනා හෙට්ටිආරච්චි දම්පතීන්ගේ පුත්‍රයකු ලෙස උපන් එම කුමරු 1982 ජුලි මස 21 වැනිදා කොළොන්නාවේ සාලමුල්ල ආනන්දාරාමයේදී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මිරිස්සේ පියදස්සී ලොකු හාමුදුරුවන් වහන්සේ යටතේ කොළොන්නාවේ සිරි සුමංගල නමින් පැවිදි බිමට ඇතුළත් වූහ. මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයට ඇතුළත් වූ සුමංගල හිමියෝ එහි නේවාසිකව ගුරු හාමුදුරුවරුන් යටතේ අධ්‍යාපනය ලැබූහ.

1986 දී ස්වකීය ගුරුදේවයන් වූ මිරිස්සේ පියදස්සී හිමියන්ගේ අපවත්වීමෙන් පසු උඩුපිල ශ්‍රී සුධර්මාරාමයට වැඩම කර ඇති උන්වහන්සේ විහාරස්ථානයේ භාරකාරත්වය පිළිගෙන කළ සාසනික මෙහෙවර ප්‍රශංසනීයහ.

1989 ජුලි 07 වැනි දින ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මිරිස්සේ පියදස්සී හිමියන් සහ අමරපුර මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත මඩිහේ සිරි පඤ්ඤාසීහ මහ නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලබා ඇත.

සුමංගල නා හිමියෝ කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඤාණේශ්වර පිරිවෙණින් අධ්‍යාපනය හදාරා ප්‍රාචීණ, මධ්‍යම, සිරි සුමංගල ත්‍රිපිටක ධර්ම පරීක්‍ෂණය, විනයාචාර්ය හා සද්ධර්මාචාර්ය උපාධිය ලැබ කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කිරින්ද නිමලව ආරණ්‍ය සේනාසනය අම්බලන්ගොඩ හල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය හා ඉන්දියාවේ වාරාණසී යෝගී අසපුවෙන් අධ්‍යාත්මික හා යෝගී භාවනා පුහුණුව ලබා ඇත.

පන්නිපිටියේ දෙව්රම් වෙහෙර සියලු විහාරාරාංග වලින් සමන්විතව ඉදිකර අති අතර මෙයට අමතරව ත්‍රිපිටකය ශිලා ලේඛන ගත කිරීමේ මහාපුන්‍ය කර්මයටද සුමංගල හිමියෝ මූලිකත්වය ගෙන ඇත.

සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා පන්නිපිටිය දෙව්රම් වෙහෙරෙහිදී පන්සියයකට අධික දරුවන් පිරිසක් සසුන්ගත කර ඔවුන්ගේ අනාගතය අධ්‍යාපනය හා ශාසනික කටයුතු සුරක්‍ෂිත කරමින් කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන් කරනු ලබන ශාසනික මෙහෙවර අති උදාරය. බුදුමග සංවිධානය මගින් ධර්ම දේශනා, අධිෂ්ඨාන ආශිර්වාද පූජා ශීල සමාදාන අභයදාන පින්කම් රෝහල්, නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට මානසික සහනය ලබාදීම අසරණ වූවන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘති ආදි සමාජ සත්කාර්යයන් වලද නියැලෙති.


ගල්ලොළුවේ ධම්මපාල නා හිමි

සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණී කර්ම වාගාචාර්ය සිරි අනුරුද්ධ වංශාලංකාර, ශාස්ත්‍රපති ගල්ලොළුවේ ධම්මපාල ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ පසුගිය වසරේ දී අමරපුර මහා නිකායේ ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

මිනුවන්ගොඩ ඒ.ඩබ්ලිව්. සිසිනෝනා සහ එස්.එම්. චාර්ලිස්හාමි මව්පියන්ගේ දෙවැනි පුත්‍රයා ලෙස 1953 දී මෙලොව එළිය ලැබීය. 1964 දී කොළඹ වරායේ රැජින පාලමේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ගල්ලොළුවේ සිරි දේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි වූහ. බුද්ධ ශාසනය රැකීමට මනා සේවයක් කළ අනගාරික ධම්මපාලතුමාගේ සියවැනි ජන්මෝත්සවය වෙනුවෙන් මේ පැවිදි පින්කම සිදු කරන ලදී.එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වූහ. ආචාර්ය ගාල්ලේ අනුරුද්ධ නාහිමියන් ආචාර්යන් වහන්සේ වූහ. 1973 දී බලපිටි මෝදර උදකුක්ඛෙප සීමාමාලකයේ දී උපසම්පදාව ලැබූහ.1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියද 1989 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද 1994 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබාගත්හ.ලුම්බිණි දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසින් දීර්ඝ කාලයක් මිනුවන්ගොඩ ප්‍රදේශවාසී දරුවන්ට දහම් දැනුම ලබාදෙන උන්වහන්සේ 1982 දී හීනටියන ශ්‍රී ලක්‍ෂ්මී ධර්මදූත පිරිවෙනෙහි ආචාර්යවරයකු වශයෙන් ද, මිනුවන්ගොඩ කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන්ද කටයුතු කළ උන්වහන්සේ 1993 සිට මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරනු ලැබේ.කටුවැල්ලේගම ශ්වේතබිම්බාරාම මහා විහාරයේ විහාරාධිපති ලෙසින් ද එම විහාරයේ සිරි අමරසිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙසද කටයුතු කරති. ගල්ලොළුව ලුම්බිණි මහා විහාරයේද අවශ්‍යතා සපුරමින් එම ප්‍රදේශයේ දායක කාරකාදීන්ට පිහිට වෙති. අප නිර්මල බුදු දහම විදේශීය රටවලද ප්‍රචලිත කිරීමටද කැපව සිටින උන්වහන්සේ වරක් තායිලන්තයට ද වැඩම කළහ. තවද දහම් පොත පත මුද්‍රණය කිරීම මෙන්ම පුවත්පත් සඳහා ලිපි සම්පාදනය ද උන්වහන්සෙගේ් ධර්ම ශාස්ත්‍රීය සේවයේ වැදගත් මෙහෙවරක් වන්නේ ය.මිනුවන්ගොඩ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ලෙසින්ද, මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ ප්‍රාථමික අංශ විදුහල්පති ලෙසින් ද, 2005 වසරේ දී මුළු දිවයිනටම සාම විනිසුරු ධුරයෙන්ද, අමරපුර මහා නිකායේ කාරක සංඝ සභික ලෙසින් ද, දිවුලපිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ලෙසින් ද, උන්වහන්සේ ක්‍රියා කළහ. අමරපුර මහා නිකායේ කර්මවාගාචාර්ය තනතුරටද ධම්මපාල නාහිමියෝ 2011 වසරේ දී අමරපුර මහා නිකායේ ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක තනතුර ලද්දේ සද්ධර්මකීර්ති ශ්‍රී විචිත්‍රභාණී කර්මවාගාචාර්ය සිරි අනුරුද්ධ වංශාලංකාර ගෞරව නාමයද ලබමිනි


ගෝනගල සිරි සුජාත හිමි

සබරගමු පළාතේ – කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල දෙහිගම්පල් කෝරලයේ ‘ගෝනගල’ නම් ග්‍රාමයේ ගොඩකුමාරගේ සොපිනෝනා මෑණියන්ට හා බටදොල ගමගේ සරනේලිස් සිල්වා පියාණන්ට දාව 1943 දී ජූනි 15 වෙනි දින එළිය ලැබීය. හේ නමින් බී.ජී. ප්‍රේමදාසය, ගෝනගල මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1954 වසරේ අප්‍රේල් මස 08 වෙනි දින ගාල්ලේ ශ්‍රී මාලාලංකාර නාහිමියන් හා ගෝනගල අභිනවාරාමාධිපති ගෝනගල සිරි සුදත්ත නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ‘ගෝනගල සිරි සුජාත’ නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූහ. ‘සුජාත පොඩි හාමුදුරුවො’ තෙප්පනාවේ ශ්‍රී සුමන පිරිවෙනටත්, බුළුගහපිටියේ ශ්‍රී සුමන පිරිවෙනටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබූහ.

මීන්නාන ගමේ කුඩා ආවාසයක් භාරගෙන කටයුතු කළහ. 1972 දී එම ස්ථානයට වැඩම කළ සුජාත හිමියෝ ටික කලකින් ම එහි දහම් පාසලක් ද ආරම්භ කළේ ය. එය ‘ශ්‍රී සුමන දහම් පාසල’ නමින් අද ප්‍රදේශයේ දියුණුවට පත්ව ඇති දහම් පාසලකි.

තම ගුරු පරපුරේ මහ තෙරුන් වහන්සේලා වන හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමි – මහාචාර්ය හේන්පිටගෙදර ඤාණවාස නාහිමි පණ්ඩිත මාබොදලේ ශ්‍රී ධම්මාලෝක නාහිමි ගාල්ලේ සිරි මාලාලංකාර නාහිමිවරු නිතර එම ස්ථානයේ ආගමික කටයුතු වලට වැඩමවා ගත්හ. එසේම ඇහැලියගොඩ ප්‍රදේශයේ ශාසනික කටයුතුවල නියැලී ඉඹුල්පිටියේ ශ්‍රී විපුලභාර හිමි – මාණික්කවත්තේ ශ්‍රී විජයාරාමාධිපති කොස්ගම මහානාම - ගෝනගල ජිනරතන නාකන්දල ගංගාරාමාධිපති සිරි රතන හිමිවරු මෙන් බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන් වාසී මහ සඟරුවනගේ ද සහාය ලබමින් විශාල ශාසනික සාමාජික කටයුතුවල යෙදුනහ.

මෙසේ විශාල ශාසනික, ආගමික, ජාතික කටයුතුවල නියැලෙමින් සිටි සුජාත හිමිපාණන්ට ඇඹිලිපිටිය වැනි දුෂ්කර ප්‍රදේශයේ විහාරස්ථානයක් 99, ගඟේයාය ශ්‍රී ඤාණසීහ පරිවෙණාධ්‍යක්‍ෂ වේවැල්වල අනුරුද්ධ හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ‘බිංගලයාය ශ්‍රී සුදර්ශනාරාමය’ භාර ගැනීමට සිදුවිය. ඒ ප්‍රදේශයේ ද සෑම ආගමික සාමාජික පොදු කටයුතුවල නියැලෙමින් අද දක්වාම එහි අධිපතීත්වය දරමින් වැඩ වසති.

විශාල ආගමික කටයුතු වල නියැලෙමින් ඇඹිලිපිටිය බිංගලයාය සුදර්ශනාරාමාධිපති ගෝනගල සිරි සුජාත හිමිපාණන්ට වසර 70 ක් පිරීම නිමිත්තෙන් මෙම මස 15 – 16 දෙදින විශේෂ පින්කම් රැසක් මීන්නාන මුචලින්දාරාමයේ දී විහාරාධිකාරී සමිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරිනි

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]