UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාරස්ථානය


පනස් හතර රියන් හිටි පිළිම වහන්සේ

සතර කෝරළය ආගමික මෙන්ම වෙනත් ඓතිහාසික තොරතුරුවලින් ගහන ප්‍රදේශයකි. සතර කෝරළයට අයත් ගල්බඩ කෝරළයේද ආගමික මෙන්ම වෙනත් ඓතිහාසික තොරතුරු විශාල වශයෙන් හෙළි කරන ස්ථාන අතර අම්බුලුගල රජමහා විහාරය, දෙවනගල රජමහා විහාරය, වාකිරිගල රජමහා විහාරය, දනකිරිගල රජමහා විහාරය, දොඩන්තලේ රජමහා විහාරය ආදිය වෙයි. ඓතිහාසික තොරතුරු කියාපාන ලෙව්කේ ගම්මානය පිහිටා ඇත්තේද මෙම ගල්බඩ කෝරළයේය.

මාවනැල්ලේ කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාරස්ථානයද එවැනි ඓතිහාසික තොරතුරුවලට හිමිකම් කියන පූජනීය ස්ථානයකි.


මණ්ඩාවල ධම්මාරාම හිමි

මෙම පූජනීය ඓතිහාසික පුදබිම පිහිටා ඇත්තේ මාවනැල්ලට නුදුරින් මාවනැල්ල – රඹුක්කන මහා මාර්ගයේ සත්වැනි සැතපුම් කණුව අසලය.

1918 ඌව කැරැල්ලට නායකත්වය දුන් මොනරවිල වීර කැප්පෙටිපොල සෙන්පති තුමාට නින්දගමක් ලෙස හිමි වූ ගල්බඩ කෝරළයේ කැප්පෙටිපොල නින්දගම පසු කාලයකදී එතුමාගේ ඥාති සොහොයුරිය වූ මොල්ලිගොඩ ටිකිරි කුමාරි හාමි මැතිණිය විසින් ටැම්පිට විහාරයක්ද ඇතුල් විහාරයක් ද සාදවා ශාසනයට පූජා කර ඇත.

කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාරස්ථානය ලෙස වර්තමානයේ හඳුන්වනු ලබන්නේ එම විහාරස්ථානයයි.

විහාරස්ථානය දෙකට බෙදී ඇත. ටැම්පිට විහාරය සහ පැරණි බෝධිය එක් පසෙක පිහිටා ඇති අතර, අනෙක් පසෙහි සංඝාවාසය පිහිටා තිබී ඇත. ගොඩින් සහ මඩින් හැටපස් අමුණක වපසරියක් මෙම විහාරස්ථානය සතුව ඇතැයි ජන වහරේ පවතී. එවැනි වපසරියක් මෙම විහාරස්ථානය සතුව තිබෙන්නට ඇතැයි තමන් වහන්සේද අනුමාන කරන බවත්, නමුත් විටින් විට විහාරස්ථානය පාලනයේ පැවති දුර්වලතා නිසා සමහරක් ඉඩ කඩම් කැලෑ බවට පත්ව ඇති අතර, සමහරක් ඉඩම් වෙනත් අය අත්පත් කරගෙන ඇති බව වර්තමාන විහාරාධිපති මණ්ඩාවල ධම්මාරාම ස්වාමීන් වහන්සේ පවසති. ටැම්පිට විහාරය පවා ඒ හේතුව නිසා නටබුන් බවට පත්වී ඇත.


සතර දේවාල

ටැම්පිට විහාරය නටබුන් බවට පත්වීම නිසා එය රැක බලා ගැනීමට පුරා විද්‍යා අධිකාරියට දන්වා ඇතත් මෙතෙක් ඒවාට විසඳුමක් ලැබී නොමැත.


නව වාහල්කඩ

සංඝාවාසය පිහිටි බිමේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදි කිරීමට මීට වසර කීපයකට පෙරදී තමන් වහන්සේ අදහස් කළ අතර, අද එය ඉටු වී ඇති බව සඳහන් කරන ධම්මාරාම හිමියෝ, ඒ සඳහා විහාරස්ථානය සතු ඉඩකඩම් වලින් ලැබෙන ආදායමත්, දායක සභාවේ ආධාරයත් ඉවහල් වූ බව කියති.

අව්කන බුදුරුවේ හැඩය ඇති සිව් පනස් රියන් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ, රන්වැට සහිත බෝධි ප්‍රාකාරය, දැකුම්කළු වාහල්කඩ, නවීන පන්නයේ ධර්ම ශාලාව, දෙමහල් සංඝාවාසය, අටවිසි බුද්ධ ප්‍රතිමා ආදිය ඉදි කර ඇත්තේද කාගේත් බොදු සිතුම්, පැතුම් පුබුදුවාලන අයුරිනි.

නව විහාරස්ථානයේ වැඩ අවසන් කර පොදු මහ ජනතාවගේ හිත සුව පිණිස විවෘත කර දැනට අවුරුදු ගණනාවක් වන අතර එදා පටන් මේ දක්වා සෑම වසරකම අගෝස්තු මාසයේ අග භාගයේ “වස්සාන කාල සත් දින සදහම් දේශනා මාලාව” නමින් ධර්ම දේශනා මාලාවක් පවත්වනු ලැබේ.

මෙවරද මෙම අගෝස්තු මස 25 දින ආරම්භ කෙරෙන මෙම සදහම් වැඩසටහන 31 දින දක්වා පැවැත්වෙයි. මෙම ධර්ම දේශන සඳහා වැඩම කරනු ලබන්නේ දෙස් විදෙස් දෙරටේම නම් දරා සිටින ධර්ම දේශකයාණන් වහන්සේලාය.


අභිනව විහාර මන්දිරය

මෙවර මෙම ආගමික වැඩසටහන අවසන් කරනු ලබන්නේ සැප්තැම්බර් මස දෙවැනි දින ගරුතර මහා සංඝයා වහන්සේලා සියක් නමකට පිරිනමන සාංඝික මහා දානයෙනි.

දානමය පිංකම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක සද්ධර්ම කීර්ති ශ්‍රී ගරු උඩුගම ධම්මදස්සී රතනපාල බුද්ධ රක්ඛිත මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම පිංකම් මාලාව ආරම්භ කෙරෙන දිනයේ මෙම විහාරස්ථානයට අභිනවයෙන් ඉදිකළ අංග සම්පූර්ණ සිව් දේවාලද විවෘත කරනු ලැබෙයි.

 

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]