UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ ලොව පහළවන අවධිය වනවිට භාරතයේ බලපැවති සමාජ සංවිධාන මෙහෙයවීමට බ්‍රාහ්මණයාට වූයේ අධිකාරී බලයකි. ඔහු එය උපරිම ආකාරයෙන් මෙහෙයවා තමාට වාසි සහගත පරිද්දෙන් සියල්ල සකස් කරගත් ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර- බ්‍රාහ්මණ සමාජයේ මූලික සමාජ සංකල්පය නියෝජනය වන්නේ වර්ණ හා ‘ආශ්‍රම’ ධර්ම මගිනි. මෙයින් ‘වර්ණ’ යනු භාෂාව අර්ථය පැහැය (පාට) යන අර්ථයයි. බෞද්ධ පොත පතෙහි වර්ණ භේදය හඳුන්වන්නේ ජාති යන වචනයෙහි වර්ණ යන ඡවි වර්ණය හා සම්බන්ධ නිසා මුලදී එය ආක්‍රමණික ආර්යයන් හා දේශීය දස ප්‍රජා හඟවන ප්‍රභේදයක් වන්නට ඇත. වර්ණ සංවිධානයේ ජන්මය කුමක්වුවද සෘග් වේදයේ 10 වන මණ්ඩලයේ 90 වන සුත්තයේ මේ ශ්ලෝකය එය පැහැදිලි කරයි.

බ්‍රාහ්මණස්ස මුඛ මාසිද් බාහු රාජ්‍ය කෘතඞ ඌරු
තදස්ස යද් වෛශ්‍යඞ පාද්‍රභ්‍යම් ශුද්‍රෙ අජායත

විශ්ව නිර්මාණය පිළිබඳ කතා පුවතේදී මහා පුරුෂ ( බ්‍රහ්ම ) ගේ විවිධ ශරීරාංගයන්ගෙන් මිනිස් ප්‍රජාව විකසිත වූ අයුරු පවසන මේ ශ්ලෝකය බ්‍රාහ්මණයා ඔහුගේ මුඛය වූයේය. බාහු යුග්මය මගින් ක්‍ෂත්‍රියයා මැවිනි. ඔහුගේ කළවා වූයේ වෛශ්‍යයාය. පාදයන්ගෙන් ක්‍ෂුද්‍රයා උපන්නේය යයි සඳහන් කරයි. මෙම වේද ගීතිකාවෙන් අරමුණු කීපයක් බ්‍රාහ්මණ පූජකයන් විසින් සනාථ කරගත් බව පෙනේ.

වර්ණ භේදය මගින් ආගමික පදනමක් සපයා දෙනු ලැබේ. පැවැති සමාජ ප්‍රභේදයන්ට එක්තරා ශුද්ධවූ භාවයක් හා ආගමික යුක්ති කරණයක් සහතික කළ බවද පැහැදිලිවීමෙන් එය විශ්වයේ නිර්මාණය වූ එදා සිටම මිනිස් ප්‍රජාවගේ අනිවාර්ය උරුමයක් සේ පවත්නා දායාදයක් වූ බවද කියාපායි.

විශේෂයෙන්ම එය නිර්මාණීවරයාට සම්බන්ධ කර තිබීම වැදගත් ය. ඉන් ධ්වනිත කරන්නේ වර්ණ භේදය වූ කලී කිසිවකු විසින් උල්ලංඝනය නොකළයුතු ඊශ්වර නිර්මිත සමාජ බෙදීමක් බවයි.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රාහ්මණ නිර්මිති සමාජ ප්‍රභේදයන් මිත්‍යාවක් ලෙස බැහැර කරලූයේ කුමන පරිමාණයන් උපයෝගී කරගෙනද ?

පිළිතුර – බුදුසමය අනුව මිනිසා මිනිය යුත්තේ උපත පදනම් කර ගෙන වටිනාකමක් ඇගැයීමෙන් නොව ඔහුගේ කුසලතාව ක්‍රියා ගුණය මත පදනම් වූ අගයන් පිළිබඳ සැලකිල්ලට ගැනීමෙනි. බෞද්ධ කර්මාවාදී අදහස්වලට මිනිසාගේ දිවි පැවැත්ම හා ඔහුගේ වෘත්තීය ධාර්මිකත්වය පදනම් කරගත් ඇගැයුමකි. මිච්ඡා ආජීවයෙහි යෙදෙන තැනැත්තා බ්‍රාහ්මණයෙකි. “කම්මනා වසලො හෝති කම්මනා හොති බ්‍රාහ්මණො” යන දේශනා පාඨයෙන් එය සනාථ වනු ඇත. බුදුරජාණන් වහ්නසේ විසින් බ්‍රාහ්මණ සමාජ සම්මතය ප්‍රමාණය 04 කින් මිත්‍යාවක් බව සනාථ කළහ.

1. ජීව විද්‍යාත්මක තර්කය

මිනිසුන් අතර ජීව විද්‍යාත්මක වශයෙන් එකම මිනිස් වර්ගයකට මිස ජාති රැසකට අයත් බව හඟවන ලක්ෂණ නැත. සෑම මිනිහෙකුගේම කායික ලක්‍ෂණ එක හා සමානය.

2. සමාජ විද්‍යාත්මක තර්කය

වර්ණ (ජාති) භේදය බ්‍රාහ්ම නිර්මිතයක් සේ සැලකුවත් එය හුදු සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවකි. විවිධ වෘත්තීන්හි නිරතවන අය සමාජය තුළ බහුලවන විට ජාති සංඥාව ව්‍යාහාරයට පැමිණීම නොවැළැක්විය හැකිය.

3. ආචාර විද්‍යාත්මක තර්කය

ගින්න කවුරුන් දැල්වුවද වෙනසක් නොවන්නා සේ වර්ණ හතරේ ඕනෑම අයකු පැවිදි වී ධර්මයෙන් බැහැරට ගොස් බැහැරක සත්‍ය සෙවීම කළ හැකිය. මේ සෑම දෙනාටම උරුම වන්නේ එකම ශික්ෂණයකි.

4. ඓතිහාසික තර්කය

බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් මුලදී අතීත ජාති හත්ත පාරිශුද්ධිය ගැන සඳහන් කළත් බුද්ධ කාලය වන විට “උභයකුල පාරිසුද්ධිය” (මාතිකොච පිතිකොච) පිළිබඳව පමණක් සඳහන් කරති. ජාති පිළිබඳව අමිශ්‍ර ජාතියක් ගැන සිතන්නට කරුණු නැත. ඒ ඒ ජාති තවත් ජාති හා සම්මිශ්‍රණය වී විවිධ උප ජාති බිහි විය. කුලවාදය හුදු මිථ්‍යාවක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ.

ප්‍රශ්නය - සමාජය දේව නිර්මිත බව පිළිගැනීමෙන් ස්වභාව නියතිය පිළිගැනීමෙන් කිසිදිනෙක වෙනස් නොවන “ ස්ථිතික” සමාජයක් ගැන සිතීමට ආධාර වෙයි. බුදු දහම ඒ අදහස බැහැර ලමින් “ ගතික” ( චලනය වන ) සමාජයක් පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් සමාජ පරිණාම වාදය පැහැදිලි කළේය. බුද්ධ දේශනා ඇසුරෙන් සනාථ කරන්න.

පිළිතුර - සමාජයේ ( ජංගම ) ගතික බව මූලික ස්වභාවයක් බව පිළිගැනුණු විට හැම අයුරින්ම සදාකල්හිම පවත්නා ඒකාකාරී යහපත් සමාජයක් හෝ හැම අයුරින් අයහපත් හෝ ලෝක පරිණාමයේ කවර අවස්ථාවකදීවත් දැක ගැන්මට බලාපොරොත්තු විය නොහැකියි. මිනිසුන් අතර සමන්තභද්‍ර අතීතයක් ගැන මෙන්ම පරමාදර්ශි අනාගතයක් ගැන අදහස් මෙන්ම පවත්නා වර්තමානයට වඩා හොඳින් සමන්තභද්‍ර අතීතයක් ගැන අද සිටින මිනිසා පමණක් නොව ඉතිහාසයෙහි කවර අවස්ථාවක දී සිටි මිනිසා වුවද විශ්වාසයක් පවතින බව ආචාර්ය වල්පොල රාහුල හිමියෝ පැහැදිලි කළහ. බුදුදහමෙහි එන අනිත්‍යතාව හා පරිණාමය පිළිබඳ සලකනවිට “ දේව රාජ්‍යයක්” පිළිබඳව මතය නිරර්ථක මිත්‍යාවක් බව ප්‍රකට වෙයි. සමාජය පිළිබඳව ධර්මානුකූලව “ යෝනිසො මනසිකාරයෙන්” ( යථාර්ථය නම් ) අද මෙන් එදත් එදා මෙන් අදත් හොඳ නරක දෙපක්‍ෂයම ඇති බවයි. දේව රාජ්‍යයකින් මිහිමත සුරපුරක් බිහිවන දිනයන් ගැන ඇතැම් ආගම් සිහින දකිතත් නව මිනිසෙකු බිහිකළ සකලාංග සම්පූර්ණ සමාජයක් ගැන සිතීම ප්‍රාර්ථනයක් පමණකි. සමස්ත මානව වර්ගයාගේ එක්වර සිදුවන ගළවාගැනීමක් විමුක්තියක් බුදුරජාණන් වහන්සේ නොවදාළහ. මෙසේ පරමාදර්ශී සමාජ ගැන විශ්වාස නොතබා හැකි උපරිම යහපත සැලසීමට මිනිස් බුද්ධිය යෙදවීම බෞද්ධ සමාජ දර්ශනයේ විශිෂ්ට ලක්‍ෂණයයි.

ප්‍රශ්නය – බුදු දහමට අනුව වැඩිහිටියන්ට සැලකීම දසකුසල කර්මවලින් “අපචායන” පුත්‍ර ක්‍රියාවයි. මහා ආනිසංස දායක පින්කමක් වන මෙය පැහැදිලි කරන්න.

පිළිතුර – වැඩිහිටියන්ට ගරු සැලකිලි කිරීමෙන් ආනිසංස 04 ක් ලැබේ. ආයු දීර්ඝායුෂ වර්ණ ශරීර පැහැපත් බව සුඛ හෙවත් සැප, බල කායික හා මානසික ශක්තියද ලැබේ.

ප්‍රශ්නය – මිනිසා පිළිබඳ බෞද්ධ සංකල්පයට අනුව පරිණාමයේ පහළ අවස්ථාවන්හි සිටින සත්වයන්ට එරෙහිව මිනිසා ගේ තත්වය විශිෂ්ට එකක් විනා ඒකාධිකාරී එකක් නොවේ. මේ නිගමනය අනුව මිනිස් සදාචාරය අගැයීමට ලක් කළ හැකිද ?

පිළිතුර – මිනිසා සෙසු ජීවීන් අතර විශිෂ්ට ස්ථානයක් ලබන බව “ කිච්චො මනුස්ස පටිලාභො” යනුවෙන් නිකාය ග්‍රන්ථවල සඳහන් වෙයි. මහ මුහුදෙහි වැටුණු එක් සිදුරක් ඇති වියදණ්ඩක එම සිදුරෙන් සියවසකට වරක් උඩ එන කැස්බෑවෙකු විය සිදුරෙන් එළිය බැලීමට අවස්ථාවක් ලබන්නේද නුසුදුසු තැනෙක සිට මිනිසත් බව ලැබීම ඊටද වඩා අපහසු දුර්ලභ කරුණකැයි නිකාය ග්‍රන්ථවල දක්නට ලැබෙයි. පූර්ණ පෞරුෂය විකසිතවන බුද්ධත්වය හෝ සක්විති රාජත්වය වැනි විශිෂ්ඨාර්ථයන් සිද්ධ කරගෙන විමුක්තිය සලසාගත හැකි වන්නේ මිනිසාට පමණය.

මිනිසාට වඩා උතුම් බුද්ධිමත් ශක්‍යතාවයක් ඇති ජීවියකු සමස්ත ජීවලෝකය තුළ සිටින බවත් බුදු දහම නොපිළිගනී. මිනිස් බුද්ධියට විසදාගත නොහැකි ගැටලුවක් මිහිමත ඇතිවිය නොහැකිය. සත්ව ප්‍රජාව තුළ මිනිසාට විශිෂ්ට ස්ථානයක් හිමිකර දෙන බුදු දහම මිනිසාට කිසිසේත්ම පරමාධිපත්‍යයක් පවරා නොමැත.

 

අසළ අමාවක පෝය

අසළ අමාවක පෝය ජුලි 18 වනදා බදාදා පූර්ව භාග 09.07 ට ලබයි.
19 වනදා බ්‍රහස්පතින්දා පුර්වභාග 09.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 18 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුලි 26 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]