මිනිසා
පිළිබඳ බෞද්ධ විග්‍රහය
මහාචාර්ය
වාව්වේ ධම්මරක්ඛිත හිමි
බෞද්ධ අධ්‍යයන පීඨාධිපති
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
පිටිපන උතුර, හෝමාගම
පුද්ගලයාගේ ආයු කාලයේ
අල්ප බව අවබෝධ කර ගත්
බුදුරජාණන් වහන්සේ සදාචාර සම්පන්නව ප්‍රඥා සම්ප්‍රයුක්තව ජීවත්වීමේ ඇති
ශ්‍රේෂ්ඨත්වය
අවධාරණය කළහ. දුසිල්වත් සමාහිත නො වූ සිත් ඇති කිසියම් පෘථග්ජන
පුද්ගලයකු වසර
සියයක් ජීවත් වුවද ඔහුගේ එම ජීවිත කාලයට වඩා සිල්වත් වූ සමථ විදර්ශනා
භාවනාවන් හි නියැලුණූ සමාහිත සිත් ඇති
පුද්ගලයකුගේ එක් දවසක
ජීවිතය එයට වඩා ශ්‍රේෂ්ට බව පෙන්වා දී තිබේ
මිනිසා උසස් චින්තනය අතින් අනෙකුත් සියලු ම සත්ත්වයන් අබිබවා සිටින
හෙයින් විශිෂ්ටතම සත්ත්වයා වශයෙන් පිළිගැනේ. විශ්වය සහ එහි
ක්‍රියාකාරිත්වය සමඟ සංසන්දනය කරන විට මිනිසා එහි ඒකදේශයක් පමණි. එහෙත්
ඔහු සතු විශ්මිත ශක්‍යතාව සමස්ත විශ්වයේ ම යහපත අයහපත තීරණය කෙරෙන මූල
ශක්තිය වශයෙන් හැඳින්විය හැකිය.
බොහෝ ආගම් හා දර්ශන සම්ප්‍රදායයන්හි මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය අවප්‍රමාණ
කොට දේවත්වය උසස් ලෙස සැලකුව ද, මිනිසා සතු ශක්‍යතාව බුදුදහමෙන් අගය කර
ඇත. බුදුරජාණන් වහන්සේ දේවකේන්ද්‍රීයවාදය නිෂේධනය කොට මානව කේන්ද්‍රිය
චින්තනයක් ප්‍රකට කරමින් මිනිසා උත්තරීතර තත්වයට පත් කරනු ලැබූහ. ඥානය
උසස් තලයකට දියුණු කොට සදෙව් ලෝකය ම අභිභවනය කිරීමේ ශක්තිය මිනිසා
තුළින් මතු කර ගත හැකි බව බුද්ධ දේශනාව වේ. “සදෙවකස්මිං ලොකස්මිං නත්ථි
මෙ පටිපුග්ගලො “එනමුත් මේ මනුෂ්‍ය ආත්මභාවය ලැබීම සුකර නොවේ. ‘කිචෙඡා
මනුස්ස පටිලාභො’ එය කණකැස්බෑවෙක් විය සිදුරෙන් අහස දැකීමට දරන
ප්‍රයත්නය හා සමාන දුෂ්කර අවස්ථාවකි. එලෙස ලබාගන්නා වූ මනුෂ්‍ය ආත්මය
උසස් මනුෂ්‍ය ජීවිතයක් ලෙස පවත්වාගෙන යාම එයටත් වඩා දුෂ්කර වූවකි. ඒ
සඳහා අප්‍රමාණ වශයෙන් වෙසෙසිය යුතු බැවින් සහ ලැබුවා වූ මනුෂ්‍ය
ආත්මභාවය ඇතැම් සත්ත්ව විශේෂයන්ට සාපේක්‍ෂව අල්පායුෂ්ක නිසා එය දුෂ්කර
වේ. “කිච්ඡං මච්ඡාන ජීවිතං” මනුෂ්‍යයාගේ පෞද්ගලික හා සාමාජික ජීවිතය
දෙස බලන කල්හි වුවද එය බොහෝ දුෂ්කරතාවලින් සහ කාර්ය බහුලත්වයෙන්
යුක්තය. “හන්දදානි මයං භො ගොතම ගච්ඡාම, බහුකිච්ඡා මයං බහුකරණියාති”
‘මනුස්ස’ පදයට පයාය පදයක් වශයෙන් පුරිස ශබ්දය ද යෙදී ඇති බව
අභිධානප්‍රදීපිකාවෙන් තහවුරු වේ. එහි මනුෂ්‍යයා යන්නට සමානාර්ථවාචී පද
වශයෙන්, මනුස්සෝ, මානුසො මානවෝ පෝරිසො, නරො, පොසෝ, පුමා පුරිසෝ යන පද
දැක්වේ. ඇතැම් සූත්‍ර දේශනාවන් හි පුරුෂයා යනු කවරෙක් ද යන්න දාර්ශනික
අර්ථයෙන් පැහැදිලි කොට තිබේ. “ඡ ධාතුරො අයං භික්‍ඛු පුරිසොති” යන
විග්‍රහයට අනුව ධාතු සයක් පුරුෂය වෙයි. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ,
ආකාස, විඤ්ඤාණ, යන ධාතු සයකින් සංයුක්ත වූයේ පුරුෂයාය. මෙහි පුරුෂ
ශබ්දය ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව පොදුවේ මනුෂ්‍යය යන අර්ථය සඳහා යෙදී
ඇත. මේ ෂඩ් පදාර්ථ අනිත්‍ය, දුක්ඛ ,අනත්ත යන ලක්‍ෂණයන්ගෙන් යුක්ත වේ.
එබැවින් මේ දේශනාවෙහි මූලික අරමුණ නිත්‍ය ස්ථීර සදාකාලික ආත්මයක්
මිනිසා තුළ ප්‍රකට නො වන බව සනාථ කිරීමය.
මෙම මූල පදාර්ථයන්ගෙන් සංයුක්ත වූ මිනිසා වනාහි ශුද්ධ සංස්කර පුඤ්ඡයකි.
එබඳු මනුෂ්‍යයන් තුළ පිළිබඳ වූ අස්මිමානය අධම, පහත්, නීච, සිතිවිල්ලක්
සේ සලකනු ලබයි. “ජාති නරානං අධමා” මෙම විශද කිරීමට අනුව ජාති භේදය හා
කුලභේදය පහත් ක්‍රියාවකි. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශය එකල
භාරතීය සමාජ සන්දර්භය තුළ ප්‍රතිෂ්ඨාපනය වී තිබූ වර්ණ භේදය
ප්‍රතික්‍ෂේප කිරීමකි. පුද්ගලයාගේ ජාතිය හෝ ගෝත්‍රය විචාරීම බුදුදහමට
අනභිමත වූවකි. එම ස්වභාවයෙන් මිදී උසස් චරණධර්ම ප්‍රගුණකොට දියුණු
තලයකට පත් කිරීමෙන් මුනිවරයෙකුගේ තත්වයට පත්වීමේ කුසලතාවය ඇතිවන බව
සංයුත්ත නිකායේ සුන්දරික සූත්‍රයෙහි දැක්වේ.
මා ජාතිං පුච්ඡ චරණඤ්ච පුච්ඡ
කට්ඨා හවෙ ජායති ජාතවේදො
නීචා කුලීනොපි මුනී ධිතීමා
අජානයෝ හොති හිරිනිසෙධො
මෙබඳු අසීමිත ශක්‍යතාවක් පුද්ගලයා තුළින් ප්‍රකට වුවද එය ගැඹුරින්
අවබෝධ කොට ගෙන සාංසාරික දුක්ඛ ස්වභාවය අවසන් කිරීමට උත්සුක වන්නෝ අල්ප
වෙති. “අප්පකා තෙ මනුසෙස් සු යෙ ජනා පාරගාමිනෝ “බහුතරයක් වූ ජනයාගේ
අපේක්‍ෂාව නම් ගංතෙර අනුව දිවයෑම මිස සාංසාරික ගමන් මගෙහි අවසානයක්
දැකීම නොවේ. ඉන් හැඟවෙන්නේ මේ මානව සමාජය තුළ නිර්වාණය අවබෝධ කරන පිරිස
ඉතා අල්ප බවයි. ප්‍රඥා සම්පන්න පුද්ගලයා, මැනවින් දේශනා කරන ලද මේ
පරියාප්ති ධර්මයෙහි ධර්මානුවර්තීව යෙදෙන්නේ නම් එබඳු පුද්ගලයා තරණය
කිරීමට දුෂ්කර වූ ක්ලේශ මාරයාට වාස භූමිය වූ සංසාරය නමැති සාගරය තරණය
කොට පරතෙරට පැමිණෙන බව බුදුදහමෙහි පැවසෙයි.
එහෙත් මිනිසා නෛසර්ගිකව ම ලෝභ, ද්වේෂ, මෝහ ආදි අකුසල මූලයන්ගෙන් පොහොසත්
සත්වයෙකි. එම නිසා ඔහු තණ්හාවේ වසඟයට පත්ව කටයුතු කරයි. එහිදී මුළු
ජීවිතය ම පංචකාම සම්පත්තියෙන් සන්තර්පනය කිරීමට පෙළඹේ. බොහෝ මනුෂ්‍යයෝ
මේ කාම ධර්මයන් ඒ ඒ තැන තැබූ විෂ බඳුන් ස්වාභාවයක් බව ප්‍රඥාවෙන්
දැකීමට තරම් අපොහොසත් වෙති. “ඒව මේව මනුස්සෙසු විසං කාමා සාමාහිතා “එම
නිසා කාමයෙහි ආදිනව නො දකින මිනිසා විනාශයට පත් වේ.කාමයෙහි වසඟයට පත්
වූ පුද්ගලයා වස්තු කාමයන් විෂයෙහි ක්ලේශ කාමයෙන් ඇලේ. එසේම රාගාදි ධර්ම
විෂයෙහි ද ඇලේ. සංයෝජන ධර්මයන්හි දොස් නො දකින්නා වූ ඔහු ඒවායෙ හි ද
ඇලේ. එලෙස කාමය ජීවිතය කොට ගත් පුද්ගලයා කාමය නමැති ඕඝය නිසි කල් තරණය
කරගත නො හැකිව සසර දුකට පත්වේ. එම සංසාර දුක පුද්ගලයා විසින් ම
නිර්මාණය කර ගන්නා තත්ත්වයකි. එයට වගකිව යුත්තා වන්නේ ඔහුමය. සම්පත්
විෂයෙහි ඇලි ජීවත් වීම එයට ප්‍රධාන සාධකය වේ. “කාන්තා සිරි භොගරාතා
මනුස්සා” සියලු භව භෝග සම්පත් විෂයෙහි අධික තෘෂ්ණාවෙන් ඇලී ගැලී වාසය
කිරීම මුළු පෘථජ්ජන මනුෂ්‍ය වර්ගයා තුළ පවතින්නා වූ ස්වභාවයකි. සංයුක්ත
නිකායේ මහද්ධන සූත්‍රයෙහි අවධාරණය කර ඇති ආකාරයට මහා ධනයකට මෙන්ම
භෝගයන්ට හිමිකම් ඇති පුද්ගලයකු වුවද කාම සම්පත් පරිභෝග කිරීමේ දී
සෑහීමකට පත් නො වේ. ඔහු තව තවත් කම් සැප සොයමින් වෙහෙසෙයි. කොතරම් සැප
සම්පත් විෂයෙහි ඇලුණද තෘෂ්ණාවේ වසඟයට පත්ව කටයුතු කළ ද මිනිසාගේ ආයුෂ
අල්පය “අප්පමිදං භික්‍ඛවේ මනුස්සානං ආයු” මෙය පුද්ගලයා දැන සිටිය ද කාම
සම්පත් විෂයෙහි අධික ගිජු බව නිසාම මේ කෙරෙහි යථාභූත ඥානදර්ශනයක් ඇති
කර ගැනීමට ආපොහොසත් වේ. ජීවිතය හා බැඳුණූ අනන්‍ය සාධාරණ ලක්‍ෂණයක් වන
අනිත්‍යතා ධර්මය පිළිබඳ යථාර්ථවාදි ගැඹුරු අවබෝධයක්, ඥානයක් පුද්ගලයා
සතුව නොමැති නිසා ජීවත්වන අල්ප ආයුෂ කාලය වුවද උපරිම කම් සැප විදීමට
පෙළඹේ. ඇතැම් විට පුද්ගලයා හැසිරෙන්නේ හිස ගිනිගත්තකුගේ විලාශයෙනි. ජාතක
පාළියෙහි චිත්තසම්භූත ජාතකයට අනුව සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුගේ මෙලොව
ජීවිතයේ ආයුකාලය වර්ෂ දශක දහයක් වේ. ඒ අනුව වසර සීයක ආයුකාලය යනු අතැම්
සත්ත්ව විශේෂයන්ට සාපේක්‍ෂව ඉතා අල්ප ආයුෂ ප්‍රමාණයකි. භාරතීය චින්තනයේ
මේ ශත සංඛ්‍යාව ඉතාමත් ප්‍රකට බව ශතපථ බ්‍රාහ්මණය ආදි වෛදික, උපනිෂද්
ග්‍රන්ථ පරීක්‍ෂා කර බැලීමෙන් සනාථ වේ. ඍග්වේද ගත රුද්‍ර ගීතිකාවට අයත්
ධ්ධ් 33,2 මන්ත්‍රයෙහි “ශතං හිමාං ආශිය භේෂජේ භිඞ” යන පාඨයෙන් අදහස්
වන්නේ ඖෂධ වර්ගවලින් වසර සියයක් පමණ ජීවත්වීමට පුද්ගලයාට හැකියාව ඇතැයි
විශ්වාස කළ බවයි. ඉන් අවධාරණය වන වැදගත් අදහස් වන්නේ විවිධ ඖෂධ භාවිතා
කිරීමෙන් වුවද පුද්ගලයාගේ ආයු කාලය වසර සියය ඉක්මවා යාම කළ නොහැකි
බවයි.
පුද්ගලයාගේ ආයු කාලයේ අල්ප බව අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ සදාචාර
සම්පන්නව ප්‍රඥා සම්ප්‍රයුක්තව ජීවත්වීමේ ඇති ශ්‍රේෂ්ඨත්වය අවධාරණය
කළහ. දුසිල්වත් සමාහිත නො වූ සිත් ඇති කිසියම් පෘථග්ජන පුද්ගලයකු වසර
සියයක් ජීවත් වුවද ඔහුගේ එම ජීවිත කාලයට වඩා සිල්වත් වූ සමථ විදර්ශනා
භාවනාවන් හි නියැලුණූ සමාහිත සිත් ඇති පුද්ගලයකුගේ එක් දවසක ජීවිතය එයට
වඩා ශ්‍රේෂ්ට බව පෙන්වා දී තිබේ. සංයුක්ත නිකායේ සත්ත ජටිල සූත්‍රයෙහි
කොසොල් මහරජුට බුදුරජුන් අවධාරණය කරන්නේ පුද්ගලයකුගේ සිල්වත්කම හෝ
දුසිල්වත් කම මැනීම සඳහා බාහිර මිනුම් දණ්ඩක් භාවිතා කිරිම ප්‍රඥාගෝචාර
නොවන බවයි. පුද්ගලයකුගේ බාහිර වර්ණයෙන් හා රූප ස්වභාවයෙන් ඔහුගේ චරිත
ලක්‍ෂණ පිළිබඳ විනිශ්චයකට පැමිණිය නො හැකිය. එසේ විනිශ්චයන්ට එළඹීමට
උත්සාහ කරන්නේ නම් එය සැබෑ විනිශ්චයක් නො වන්නේය. මේ සූත්‍රයෙන් මතුකොට
දක්වන වටිනා අදහස නම් පුද්ගලයාගේ බාහිර පෙනුමත් ඔහුගේ චිත්ත චෛතසික
ධර්මයාගේ ක්‍රියාකාරිත්වයත් අතර අනුරූපීභාවයක් නොමැති බවයි. සතා
සිව්පාවගේ ගති ලක්‍ෂණ සහ චර්යා රටාවන් සම්බන්ධයෙන් පූර්ව විනිශ්චය වලට
පැමිණිය හැක. නමුදු මනුෂ්‍යයා සම්බන්ධයෙන් එසේ කළ නො හැකිය. එයට කදිම
නිදසුනක් ජවනහංස ජාතකයේ සඳහන් වේ. එහි අවධාරණය කර ඇත්තේ සිවලුන්ගේ
පක්‍ෂීන්ගේ හඬ පහසුවෙන් දැන ගත හැකි වුවද, මිනිසුන්ගේ හඬ දැන ගැනීම එසේ
පහසු නො වන බවයි. මේ අනුව මනුෂ්‍ය ජීවිතයත් ඒ මනුෂ්‍ය ජීවිතයෙහි
ක්‍රියාකාරිත්වයත් කෙබඳුද යන්න වටහා ගැනීම අපහසු නොවේ. සත්ත්ව සන්තතිය
තුළ හඳුනා ගැනීමට පහසුම සත්ත්වයා මනුෂ්‍යයා යැයි ප්‍රකාශ කිරීම සාවද්‍ය
නොවේ. ඔහු කොපමණ වස්තු කාමයෙහි ඇලුනෙ ද ඒවා ඔහු සිතන පතන ප්‍රමාණයට නො
ලැබේ.
(ඉතිරි කොටස 2012 -07-11
පත්‍රයේ පළවේ) |