අසූමහා
ශ්‍රාවක
චරිත 2
බුදුරදුන් ගොඩ නැගූ
ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු
ප්‍රඥාවෙන් අග්‍ර අග්‍රශ්‍රාවක
සැරියුත් හාමුදුරුවෝ
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
අප ගෞතම බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවක සැරියුත් මුගලත් දෙනම මේ ශාසනයේ ඉතා
විශිෂ්ට භාවයකින් ක්‍රියාකළ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙයි. ඒ දෙනමගේ
අතීත ආත්මභාව පිළිබඳ විමසන විට පේනවා දෙදෙනා එක්ව මිත්‍රත්වයෙන්
ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අසීමිත පින්කම් කොට ඒ අග්‍ර ශ්‍රාවක
තනතුරු ලැබූ බව. අනෝමදස්සි බුදුරදුන්ගේ කාලයේ මේ දෙනමගෙන් සැරියුත්
හිමියන් උසස් බ්‍රාහ්මණ කුලයක ‘සරද’ මානව නමින් උපත ලැබුවා. මුගලන්
හිමියන් උසස් ගෘහපති කුලයක ‘සිරිවර්ධන’ නමින් උපත ලැබූ අතර දෙදෙනාම
වැලි කෙළියේ පටන් යහළු බවින් කල් ගත කළා.
පියාගේ මරණින් පසු ‘සරද’ තරුණයාට විශාල ධනයක් හිමි වුණා. දුකට ප්‍රධාන
හේතූව මේ වස්තුවට ඇළුම් කිරීම බව සිතා සියලු දේපොළ දුගී මගී සැමට
පරිත්‍යාග කොට හිමාල පර්වතය ආසන්නයට ගොස් තවුස් පැවිද්ද ගෙන භාවනා
කරන්න පටන් ගත්තා. මේ බව දැන ගත් බොහෝ දෙනා ඔවුන් සතු දේපොළ පරිත්‍යාග
කොට හිමවතට පැමිණ තවුස් දම් වඩා අවසානයේ සැම දෙන පඤ්ච අභිඥා සහ අෂ්ට
සමාපත්ති උපදවා ගැනීමට සමත් වූවා. මේ සමයේ ලොව පහළ වී සිටිය අනෝමදස්සී
බුදුරදුන් එක් දිනක් අලුයම ලොව බැලූ විට සරද තවුසන් යොමු වුණා. ඔහුට
පිහිට වීම සඳහා හිමවතට වැඩම වූ බුදුරදුන් සාකච්ඡාවෙහි නිරතව සිටිය දී
පලාඵල නෙලා ගැනීමට වනයට වැඩමවා සිටි තවුසන් පැමිණ උතුම් වූ බුදුරදුන්
කෙරෙහි මහත් ප්‍රසාදයට පත්ව උන්වහන්සේට නමස්කාර කළා. ඵලාඵලයෙන් ද පූජා
කළා. සරද බුදුරදුන්ට සහ වැඩමවා සිටි රහතන් වහන්සේට වැඩ හිඳීම සඳහා ඉතා
අගනා මල්වලින් කළ ආසන පිළයෙල කොට පූජා කළා. මේ අවස්ථාවේ දී සරද තවුසා
මලින් කළ කූඩයක් බුදුරදුන් සඳහා ඔසවා ගෙන සත් දිනක් මුළුල්ලේ නිරෝධ ඵල
සමාපත්තියෙන් වැඩ සිටි බුදුරදුන්ට පූජා පැවැත්වූවා. අවසානයේ මල් ආසන
පූජා කිරීමේ ආනිශංස පෙන්වා දෙමින් ධර්ම දේශනා කිරීමට අගසවු නිසභ
තෙරුන්ටත් අනතුරුව අග ශ්‍රාවක අනෝම තෙරුන්ටත් නියම කළා. අනතුරුව බුදුන්
දෙසූ ධර්ම දේශනාව අවසානයේ සරද තවුසාණන් හැර අන්හැම දෙනාම රහත් බවට පත්ව
ඒහිභික්ෂූ භාවයෙන් පැවිද්ද ලබා ගත්තා. සරද තවුසන් මාර්ගඵලයට පත් නොවූයේ
ඔහු කළ පින්වල මහිමයෙන් අනෝම තෙරුන් මෙන් අග්‍රශ්‍රාවක තනතුර ලබා
ගැනීමට වාසනාව ලැබේවා යි පැවැති මහත් ප්‍රාර්ථනාව නිසා ය. අනෝමදස්සි
බුදුරදුන් එදා සරද තවුසාණන්ගේ පැතුම ගෞතම බුදුරදුන් හමුවේදී ඉටුවන බවට
නියත විවරණ දී ආපසු වැඩමවා වදාළා. තමා ලබා ගත් නියත විවරණ පිළිබඳව සරද
තවුසා තම යහලු සිරිවර්ධනයන් වෙත ගොස් දැනුම් දුන් පසු ඔහු ද එවැනි
තනතුරක් ලබා ගැනීමේ අරමුණින් සත් දිනක් මහ දන් දුන් බව ධර්ම
ග්‍රන්ථයන්හි දැක්වෙනවා.
දීර්ඝ කාලයක මහත් සේ කුසල දහම් රැස්කරමින් සසර සැරිසරා අප බුදුරදුන්
ලොව පහළ වීමට පෙර රජගහ නුවර සමීපයෙහි උපතිස්ස ගම සාරි නම් බැමිණියගේ
කුසින් උපත ලබා උපතිස්ස නමින් ද කෝලිත නම් ගමෙහි මොග්ගලී නම් බැමිණියගේ
කුසෙන් උපත ලබා කෝලිත නමින් ද හැඳින්වූ මේ දෙකුමරුවන් කුඩා අවදියේ පටන්
මිත්‍රත්වයෙන් වෙලී මහත් කෙළිලොල් ජීවිතයක් ගත කළා. එක් දිනක් මේ දෙදෙන
‘ගිරග්ග සමජ්ජ’ නම් නාට්‍යයක් බැලීමට ගොස් කළකිරීමට පත්ව මෙවැනි
නැටුම්වල කිසිම හරයක් හෝ සැපතක් නැති බව තීරණය කොට සැප සොයා ගැනීම
උදෙසා සංජය නම් පිරිවැජියා වෙත ගියා. එතැනින්ද නියම සැපතක් ලබා ගත
නොහැකියයි කළකිරීමට පත්ව දෙදෙනා වෙන්ව සැප සොයා ගමන් කළා. එසේ යද්දී
උපතිස්ස තරුණයාට දිනක් පිණ්ඩපාතයේ වඩින අස්සජී තෙරුන් මුණ ගැසුණා. දානය
ගෙන නිම කිරීමට අවශ්‍ය පහසුකම් හා ඇප උපස්ථාන සිදුකොට අවසානයේ වැඳ
‘ඔබවහන්සේ ගේ ඉන්ද්‍රියන් සහ ඇවතුම් පැවතුම් ශාන්තයි. යම් උසස්
අවබෝධයක් ඇති බව පේනවා. ඒ තත්ත්වය ලබා දුන් ධර්මය මටත් කියා දෙන්න’
යැයි ඇයද සිටියා. ‘තමා එතරම් උසස් දැනුමක් ඇති කෙනෙකු නොවුවත් ඔබේ
බලවත් ඉල්ලීම අනුව සුළු ධර්මයක් ප්‍රකාශ කරන්නෙමි’යි පවසා ‘යේ ධම්මා
හේතුප්පභවා’ යනු ගාථාවෙන් ධර්මය දේශනා කළා. එහි මුල් පද දෙක ශ්‍රවණය
කිරීමත් සමඟ සෝවාන් තත්ත්වය ලබා ගන්නට උපතිස්ස තවුසාට පුළුවන් වුණා.
පසුව තමා අවබෝධ කරගත් ධර්මය කෝලිත යහලුවා හමුව ප්‍රකාශ කිරීමේදී ඔහු ද
ඒ ගාථාව අවසානයේ සෝවාන් වුණා’.
උපතිස්ස හා කෝලිත දෙදෙන සංජය පිරිවැජියා ද කැඳවාගෙන යාමට උත්සාහ කළත්
ඔහු එයට කැමති වූයේ නැහැ. එහෙත් ඔහුගේ පිරිසෙන් දෙසිය පණහක් වූ හරි
අඩක් ශ්‍රාවකයන් සමග රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටි බුදුරදුන්
හමුවීමට ගියා.’ මෙහිදී කෝලිත උපතිස්ස දෙදෙනා දුරදීම එන බව දුටු
බුදුරදුන් ඔය එන දෙන්නා මාගේ අග්‍ර ශ්‍රාවකයන් වන බවට අනාවැකියක්
ප්‍රකාශ කළා. බණ ඇසූ බොහෝ දෙනා රහත් භාවයට පත් වූ නමුත් උපතිස්ස හා
කෝලිත යන දෙදෙනා සේ නොවූයේ අග්‍රශ්‍රාවකයන් උසස් තත්ත්වය ලැබීමට
පාරමිතා පුරමින් පැමිණි නිසාය. එයින් අඩ මසක් ඇවෑමෙන් රජගහනුවර
‘සූකරකත’ ලෙනේදී දීඝනඛ පිරිවැඩියාට දෙසූ දහම් අසා සිටි සැරියුත්
හිමියන් රහත් භාවයට පත්වුණා. රහත් බව පමණක් නොව මහා පින් කරමින් සසර
පැතු පරිදි දෙවුරම් වෙහෙරෙදී එක් දිනක් ‘එකදග්ගං භික්ඛවෙ මම සාවකානං
භික්ඛූනං පඤ්ඤවන්තානං යදිදං සාරිපුත්තො’ යනුවෙන් සැරියුත් හිමියන්ට
ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග තනතුර පිරිනමා වදාළා.
ශ්‍රාවක සංඝයා අතර අග තනතුර ලැබූ සැරියුත් හිමි උදාර සේවයක් සිදුකළා.
විශේෂයෙන් මිථ්‍යාදෘෂ්ටික අසූ දසහකට අධික පවුල් දහම් මගට යොමු කිරීම
සඳහා කටයුතු කළා. නිහතමානි ගුණය ද ඉහලින්ම උන්වහන්සේ ළඟ තිබුණා. සත්
හැවිරිදි සාමණේර නමක් උන්වහන්සේගේ සිවුරෙහි කොනක් බිම ඇතිල්ලෙමින් යන
බව පෙන්වාදුන් විට උන්වහන්සේ එයට බොහොම ස්තුති කළා. තවුතිසා දෙව්ලොවදී
දෙසු අභිධර්මය මනුලොවට වැඩමවා විස්තර වශයෙන් දෙසීම සැරියුත් හිමියන්
සිදුකළ උසස් සේවයක්. බුදුරදුන් බේලුව ගම වස්වසා සිටියදී පිරිණිවන් පෑම
සඳහා උන්වහන්සේගෙන් අවසර ගෙන තම සොයුරු චුන්ද රහතන් වහන්සේ ප්‍රධාන
පන්සියයක් සංඝරත්නය පිරිවරාගෙන ගොස් මිථ්‍යාදෘෂ්ටික රූපසාරි නම් තම මවට
ධර්ම දේශනා කොට සෝවාන් තත්ත්වය ලබා ගැනීමට මං සලසා තමා උපන් නිවසේදී ම
පිරිණිවන් පා වදාළා. ආදාහනයෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතු අතට ගත්
බුදුරදුන් සැරියුත් හිමියන්ගේ ගුණ ගාථා පන්සියයකින් දේශනා කොට වදාළා. |