Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බක බ්‍රහ්ම දමනය

භාග්‍යවතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාට වදාළා අහෝ, පින්වත් බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසුවෙලා. ඔබ අවිද්‍යාව තුළ ඉඳගෙන අනිත්‍ය වූ දෙයක්මයි නිත්‍යයි කියා කියන්නේ. අස්ථිර වූ දෙයක් ඔබ ස්ථිරයි කියා කියන්නේ. අසාසෘත දෙයක්මයි ඔබ ශාස්තෘතයි කියන්නේ. චුත වන ස්වභාවයෙන් යුතු දෙයක් නේ චුත නොවන ස්වභාවයෙන් යුතුයි කියා කියන්නේ.

අපගේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වූයේ මිනිසුන්ට පමණක් නොවේ. උන්වහන්සේ මිනිසුන්ගේත් දෙවියන්ගේත් ශාස්තෘන් වහන්සේ. ඒ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා අප උන්වහන්සේට නමස්කාර කරනවා. ඒ පිළිබඳව සඳහන් වන දේශනාවක් මජ්ජිම නිකායට අයත්ව තිබෙනවා. ඒ බ්‍රහ්මනිමන්තික සූත්‍රයයි.

තථාගයන් වහන්සේ එක් කාලයක “උක්කට්ටා” කියන නගරයේ විශාල සල්රුක් සෙවණක වැඩ වසය කළා. එක් දිනක් අද මා කාටනම් පිහිට විය යුතුදැයි මහා කරුණාවෙන් ලොව දෙස බලද්දී එක් බක නම් මහබ්‍රහ්මයෙක්ව දුටුවා. ඔහු සිටියේ “බ්‍රහ්මපාරිසජ්ජ” කියන ලෝකයේ. ඒ මහබ්‍රහ්මයා සිතුවේ මේ බ්‍රහ්ම ජීවිතය නිත්‍යයි, ස්ථිරයි, සදාකාලිකයි. මේ ජීවිතය තමයි පරිපූර්ණ. මේ ජීවිතය චුත නොවන ස්වභාවයෙන් යුක්ත එකක්. උපදින්නේත්, දිරන්නේත්, චුත වන්නේත් නැති ස්ථිර ජීවිතයක් යැයි දැඩි මාන්නයකින් හා බැසගත් දෘෂ්ටියක් ඔහුට තිබුණා.

භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් අතක් දිගහැර හකුළන වෙලාවක් තුළ සල්රුක් සෙවණින් නොපෙනී මහ බ්‍රහ්මයා ඉදිරියේ පහළ වුණා. උන්වහන්සේ දුටු බ්‍රහ්මයා කියනවා නිදුකාණෙනි, ඔබට ස්වාගතයක් වේවා! බොහෝ කාලයකට පසුවයි ඔබ මේ ලෝකයට වැඩියේ. නිදුකාණෙනි, මේ ලෝකය තමයි නිත්‍ය වූ ස්ථිර වූ තැන. මෙහි ඉපදීමක්, දිරිමක් හෝ චුතවීමක් නැත යනුවෙන්.

එවිට භාග්‍යවතුන් වහන්සේ මේ බක බ්‍රහ්මයාට වදාළා අහෝ, පින්වත් බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසුවෙලා. ඔබ අවිද්‍යාව තුළ ඉඳගෙන අනිත්‍ය වූ දෙයක්මයි නිත්‍යයි කියා කියන්නේ. අස්ථිර වූ දෙයක් ඔබ ස්ථිරයි කියා කියන්නේ. අසාසෘත දෙයක්මයි ඔබ ශාස්තෘතයි කියන්නේ. චුත වන ස්වභාවයෙන් යුතු දෙයක් නේ චුත නොවන ස්වභාවයෙන් යුතුයි කියා කියන්නේ. යම් තැනක ඉපදීමක් දිරීමක් ඇද්ද, චුත වීමක් ඇද්ද, යළි ඉපදීමක් ඇද්ද එතැනටමයි ඔබ කියන්නේ උපදින්නේ නැත, දිරන්නේත් නැත, චුත වන්නේත් නැත කියා. යම් තැනක මීට වඩා ශ්‍රේෂ්ඨ වූ ශාන්ත වූ උත්තරිතර නිදහසක් තිබෙනවා. එසේ තිබියදීත් ඔබ කියනවා එහෙම දෙයක් ලෝකයේ වෙන නැහැයි කියා.

භාග්‍යවතුන් වහන්සේ එසේ අනුශාසනා කරන විට ඒ බ්‍රහ්ම ලෝකයේ තව බ්‍රහ්මයෙකුට මාරයා වැහුණා. ඒ බ්‍රහ්මයා කියනවා ඒයි භික්ෂුව, මොහුට දොස් කියන්න එපා. නින්දා අපහස කරන්න එපා. භික්ෂුව, මේ ඔබ කථා කරන්නේ් සුළුපටු කෙනෙක් සමඟ නොවේ. මෙයා තමයි මහා බ්‍රහ්මයා. සියල්ල මැඬලන කෙනා. මොහුව මැඬලන්න කිසිවෙකුටත් බැහැ. මොහු තමන්ගේ ආනුභාවය පතුරුවමින් ලෝකය යටත්කර ගෙනයි ඉන්නේ. ලෝකයේ අධිපති, නිර්මාතෘ, මේ බ්‍රහ්මයායි. ලෝකය වසඟ කළ පුද්ගලයාත් හට ගත් හට නොගත් සත්ත්වයන්ගේ දෙවි පියාණෝත් මේ බ්‍රහ්මයායි.

භික්ෂුව ඔබ දැන ගන්න ඔබට කලිනුත් ශ්‍රමණ භික්ෂූන් මේ ලෝකයේ සිටියා. ඒ අයත් පඨවි ධාතුවට අපහාස කළා. පඨවි ධාතුව පිළිකුල් කළා. පඨවි ධාතුවට ගැරහුවා. ආපෝ ධාතුවට අපහාස කළා. ආපෝ ධාතුව පිළිකුල් කළා. ආපෝ ධාතුවට ගැරහුවා. තේජෝ ධාතුව අපහාස කළා. තේජෝ ධාතුව පිළිකුල් කළා. තේජෝ ධාතුවට ගැරහුවා. වායෝ ධාතුවට අපහාස කළා. වායෝ ධාතුව පිළිකුල් කළා. වායෝ ධාතුවට ගැරහුවා. ඉපදෙන සත්ත්වයන්ට ගැරහුම් කළා. උපදින සත්ත්වයන් පිළිකුල් කළා. දෙවියන්ට ගැරහුවා. දෙව්ලොව උපත පිළිකුල් කළා. ප්‍රජාපතිටත් ගැරහුවා. ප්‍රජාපති වීමට සිටින අයව පිළිකුල් කළා. බ්‍රහ්මයාට ගැරහුවා. බ්‍රහ්මයා පිළිකුල් කළා. ඒ සියලුම දෙනා මැරිලා අපායට ගිය බව ඔබ දන්නේ නැද්ද? මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට කියන්නේ මාරාවේෂයෙන් එක් බ්‍රහ්මයෙක්. නැවත කියනවා භික්ෂුව ඔබට කලින් සිටියා තවත් මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රහ්මයන් . ඒ අය පඨවි ධාතුවට ප්‍රශංසා කළා. පඨවි ධාතුව සතුටින් පිළිගත්තා. ආපෝ ධාතුවට ප්‍රශංසා කළා. ආපෝ ධාතුව සතුටින් පිළිගත්තා. තේජෝ ධාතුවට ප්‍රශංසා කළා. තේජෝ ධාතුව සතුටින් පිළිගත්තා. වායෝ ධාතුවට ප්‍රශංසා කළා. වායෝ ධාතුව සතුටින් පිළිගත්තා. මමය, මගේය, මගේ ආත්මය කියා පිළිගත්තා. හටගත් සත්ත්වයන් පිළිගත්තා. ඒ අය දෙවියන්ට ප්‍රශංසා කළා. ප්‍රජාපතිවත් සතුටින් පිළිගත්තා. බ්‍රහ්මයාටත් ප්‍රශංසා කළා. බ්‍රහ්මයාවත් පිළිගත්තා. ඒ සියලුම දෙනා සුගතියේ ඉපදුනා. ඒ බව ඔබ දැන ගන්න. නිදුකාණෙනි, මේ බ්‍රහ්මයා ඔබට යමක් කියනවා නම් මොහු කියන දෙය අහන්න. එය ඉක්මවා යන්න එපා. එසේ ඉක්මවා ගියොත් තමන් ළඟට එන ලක්ෂ්මීට ඔබ පොල්ලකින් ගසා පන්නා ගත්තා වෙනවා. එනිසා ලක්ෂ්මිට එන්න දෙන්න. මේ බ්‍රහ්මයාගේ අදහස පිළිගන්න.

එවිට භාග්‍යවතුන් වහන්සේ අර බ්‍රහ්මයාට කියනවා එම්බා පවිටු තැනැත්ත, නුඹ සිතන්න එපා මා නුඹ හඳුනා ගත්තේ නැහැ කියා. නුඹ තමයි මාරයා. නුඹ මේ මහ බ්‍රහ්මයාත් බ්‍රහ්ම පාරිසජ්ජයේ සිටින අනෙක් බ්‍රහ්මයනුත් නුඹේ මිට ට අල්ලා ගත්තා නේද? මේ සියලු දෙනා නුඹේ දැලට හසුවුණා. වසඟයට හසුවුණා. හැබැයි මාරය, නුඹේ අතට හසු නොවු කෙනෙක්, වසඟ නොවු කෙනෙක් මෙතැන සිටිනවා. ඒ අරහත් තථාගතයන් වහන්සේ යි.

එවිට බක බ්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේට කියනවා නිදුකාණෙනි, මම නිත්‍ය දෙයක් නිත්‍ය යැයි කියුවේ. සම්පූර්ණ දෙයක්මයි සම්පූර්ණයි කියුවේ. චුත නොවන දෙයක්මයි චුත නොවන දෙයක් ලෙස කියුවේ. යම් තැනක ඉපදීමක් නැද්ද, දිරීමක් නැද්ද මිය යාමක් චුතවීමක් නැද්ද යළි උපතක් නැද්ද එයමයි මා කිවුවේ. වෙනස් දෙයක් නොවේ.

එවිට බක බ්‍රහ්මයා කියනවා, භික්ෂුව ඔබ දන්නවාද ඔබේ ආයුෂ ප්‍රමාණය. මොනතරම් මහන්සි ගත්තත් මෙයට වඩා වැඩි දෙයක් ලෝකයේ කවුරුත් දැක්කේ නැහැ. යම් කෙනෙක් මීට වඩා නිස්සරණයක්, මිදීමක් දකින්නට මහන්සි ගත්තොත් එබදු පුද්ගලයා වෙහෙසට මහන්සියට ක්ලාන්තයට පත්වෙනවා මිස කිසිවක් සොයා ගන්නට ලැබෙන්නේ් නැහැ. එනිසා භික්ෂුව ඔබ මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ බැසගෙන සිටියොත් මේ සත්ත්ව සංකල්පයේ බැසගෙන සිටියොත් ප්‍රජාපති තුළ දෙවියන් තුළ බ්‍රහ්මයා තුළ බැසගෙන සිටියොත් ඔබට පවතින්න එය හොඳ අරමුණක්. ඔබ බාහිරට විසිරෙන්නේ නැහැ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.