Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රටට ගෞරවයක් ගෙන දෙන සංස්කෘතික උළෙලක් කොළඹ නවම් මහා පෙරහර

කොළඹ හුණුපිටියේ ගංගාරාමය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පෞරාණික විහාරස්ථානයකි.

මේ රටේ යුග පුරුෂයකු ලෙස වැඩ සිටි ශාස්ත්‍රීය හා ආගමික පුනරුදයක් ඇති කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව, ශිෂ්‍ය උරුමය පවතින එකම විහාරස්ථානය කොළඹ හුණුපිටියේ ගංගාරාමය යි.


ගලබඩ ඤාණිස්සර නා හිමි

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය ලෙස දෙවුන්දර ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගංගාරාමය කුඩා ආවාසයක් ලෙස එදා එහි පදිංචියට වැඩම කළා.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගංගාරාමය ආරම්භ කර ඉන් අනතුරුව උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු කරගෙන යන අතරතුර විද්‍යෝදය පිරිවෙනද ආරම්භ කරන්නට යෙදිණ.

ලංකාවේ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙහිලා හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ හා හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා ඇතුළු පිරිසගෙන් ලද දායකත්වයද අපි නිරන්තරයෙන් සිහිපත් කරමු.

බෞද්ධ කොඩිය පළමුවෙන් ඔසවන ලද ස්ථාන ලෙස කොටහේනේ දිපදුත්තමාරාමයත්, කැලණි රජමහා විහාරයත්, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනත්, හුණුපිටියේ ගංගාරාමයත් සලකනු ලැබේ.

එදා අතීතයේ දී ගංගාරාමයේ දී පෙරහරක් වීථි සංචාරය කළ බව සඳහන් වේ. ඒ පෙරහර හඳුන්වා ඇත්තේ ඇසළ පෙරහර ලෙසය. එදා එම පෙරහර විවිධ දුෂ්කරතා මධ්‍යයේ කාලයාගේ ඇවෑමෙන් නතර වී ගියේය.

1979 දී එවකට අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් නැවත වතාවක් ගංගාරාමයේ පෙරහර ආරම්භ විය. එහිදී එම පෙරහරේ අනුශාසකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් එම භාරදූර කර්තව්‍යය වෙනත් මගකින් නව මුහුණුවරකින් සිදු කිරීමට ඉදිරිපත් වූයේ ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මේ රටේ හැම දෙනාම ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමින් හඳුන්වනු ලබන්නේ උන්වහන්සේ ය.

ප්‍රථම සංඝ සන්නිපාතය, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අගසව් තනතුරු පිරිනැමීම ආදී ඓතිහාසික ශාසනික සිදුවීම් සිදු වූයේ නවම් පෝදා ය.

එබැවින් එකී කරුණු පාදක කර ගනිමින් ත්‍රිවිධරත්නය වෙත සිදු කැරෙන පූජෝපහාරයක් ලෙස කොළඹ ගංගාරාමයේ නවම් පෙරහර ආරම්භ විය.

නවම් පෙරහරෙහි තථාගත බුදුපියාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරමින් සධාතුක කරඬුව වැඩම කරවන ගමන්, ධර්ම රත්නය සිහි කරමින් ධර්ම පුස්තක සහ පරිත්‍රාණ දේශනා ඇතුළත් රථ ද පන්සිය නමක් පමණ වූ මහා සංඝරත්නය ද වැඩම වීම විශේෂත්වයකි.

කොළඹ නවම් පෙරහරරෙහි සුවිශේෂත්වයද පූජනීය මහ සඟරුවන වැඩම කිරීමයි. දේවාභරණ වැඩම වීම හෝ දියකැපීමක් සිදු නොවන හෙයින් තෙරුවන් කෙරෙහි පවත්වන මහා පූජෝපහාරයෙන් අනතුරුව සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් සිදු කැරේ. කොළඹ නගරයට අලංකාරයක් මෙන්ම රටට ගෞරවයක් ගෙන දෙන අයුරින් වීථි සංචාරය කෙරෙන කොළඹ නවම් පෙරහර සංවිධානාත්මක තත්ත්වයකට මේ වන විට පත්ව තිබේ. කොළඹ අගනගරයේ රමණීය ප්‍රදේශය බේරේ වැව අවට කොළඹ නවම් මහ පෙරහර වෙනුවෙන් පෙරහර මාවතක්, නවම් මාවතක් ඉදිකර පෙරහර සංචාරය කරන්නට වීම පුදුම සහගත දෙයකි.

කොළඹ නගරයට අලියකු රැගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අවසර පත් ලබා ගත යුතු වේ. එමෙන් ම අලියකු කොළඹ නගරයේ ස්ථානයක බැඳ තබා ගැනීමත්, අලියකුට දිනගණනක් කෑම බීම දෙමින් නඩත්තු කිරීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

එමෙන්ම නැටුම් කණ්ඩායම් සිය ගණනක් සම්බන්ධ කර ගනිමින්, නර්තන ශිල්පීන් හත් දහසක් පමණක් නොව, කොඩි, සේසත් රැගෙන යාමට දෙතුන් දහසක් සම්බන්ධ කර ගැනීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොව අසීරු කටයුත්තකි.

නවම් පෙරහර සඳහා අලි ඇතුන් කොළඹට රැගෙන විත් විහාර මහා දේවී උද්‍යානයේ නතර කර ගනිමින් දින ගණනක් කෑම බීම දෙමින් අලි ඇතුන් පෙරහරේ රැගෙන යමින් පෙරහර ඉතිහාසය තුළ වැඩිම අලි සංඛ්‍යාවක් සහභාගි වූ පෙරහරක්. එක් වසරක අලි 169 දෙනෙක් සම්බන්ධ වූහ. එම වාර්තාව අනාගතයේ දී හෝ සම කළ හැකි නොවිය හැකිය. එසේ කියන්නේ අනාගතයේ හීලෑ කරන ලද අලි ඇතුන් එන්න එන්නම අඩු වී යන හෙයිනි. අලින්, ඇතුන් වෙත ඇඳුම් ආයිත්තම් අන්දවා අලි බලන්නන්ද සුරාවෙන් ඈත් කර මෙම පෙරහරෙහි ගමන් කරවීමෙන් සමාජයට මහත් ආදර්ශයක් ද සපයනු ලැබේ.

“පෙරහර සංස්කෘතිය” ජීවමාන බුදුරදුන් දවසට පෙර සිට පැවතිණි. එහෙත් පෙරහරට ගුණාත්මක බව සහ කලාත්මක බව ලැබුණේ බුදුහාමුදුරුවන්ගේ පහළවීමත් සමඟය.

කොළඹ නවම් මහා පෙරහර ජාති ආගම් භේදයකින් තොරව සිදු කැරෙන මහා සංස්කෘතික උළෙලකි. ලොව බොහෝ රටවලින් මේ මාසයේ අපේ රටට ඇදී එනවා නම් ඒ මේ කොළඹ නවම් මහා පෙරහරත් මූලික කරගෙනය. විදේශිකයන් වෙත අපේ රටේ සංස්කෘතිය එක තැනකට තබා පෙන්විය හැකි නම් ඒ පෙරහරය. පෙරහර තුළ සියලු සංස්කෘතිය තිබේ. උඩරට, පහතරට, සබරගමු නැටුම් සම්ප්‍රදායන් එහි තිබේ.

ඇතැම් කාලවලදී කොළඹ නගරය අරාජික වී තිබිණි. 88 – 89 කාලය, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කලබල නිසා පෙරහරක් කිරීම නොව කොළඹට පැමිණ රැකියාව කර නැවත ගෙදරට පැමිණෙන තුරු ගෙදර සිටි අය උයා පිහාගත් දේ නොකා නොබී සිටි කාලයක් තිබිණි. එවැනි පරිසරයක් තිබිණි. නමුත් මහා ජන ගංගාවක් කොළඹට ඒකරාශී කර කිසිම මනුෂ්‍යයකුට ඇල්පෙනෙත්තක තරම්වත් බාධාවක්, හානියක් නොවන අයුරින් පෙරහර සිදු කළා. පෙරහර, නැටුම් ශිල්පීන්, අලි ඇතුන් පෙරහර නරඹන්නන් ආදී සියලුම දෙනා මිලියන ගණනකට රක්‍ෂණය කළේ නවම් පෙරහරය. අදටත් ඒ කටයුතු සිදු කැරේ.

තෙමසක පමණ කාලයක් බෝධි පූජා පවත්වමින්, සති පිරිත් දේශනා පවත්වමින් කළයුතු වතාවත් සිදු කරමින් තුනුරුවන්ගේ ආශීර්වාදය ඇතිව නවම් පෙරහර සිදු කැරෙන බැවින් ඒ හරහා ප්‍රතිලාභ ලබන අය විශාල වශයෙන් සිටිති.

අලි ඇතුන් බලන අය සඳහා, බයිසිකල්, නිවාස ඉදිකර ගැනීමට සෙවිලි තහඩු, සිමෙන්ති ආදී උපකරණ, ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, රන් පවුම් ආදිය වාර්ෂිකව පිරිනමා ඇති අතර මෙවර මහන මැෂිමක් පිරිනමනු ලැබේ. එය ඒ පවුලට මහා ශක්තියක් වී ඇත. අවට සුරාසැල් ඒ කාලය තුළ විවෘත නොකෙරෙන අතර, ගැට කපන්නන් ආදීන් හෝ පැමිණීම ද අවම කර ගනී.

හේවිසි, බෙර, වෙස් නැටුම් ආදිය සාමාන්‍ය උත්සවයක දී පවා දැක ගත හැකියි.එහෙත් අපේ සංස්කෘතියෙහි තිබෙන සන්නි, පාලි, වඩිග පටුන, බොරු කකුල් ආදී සංස්කෘතිකාංග ආරක්‍ෂා වන්නේ පෙරහර නිසයි. නැතිවී යන කලා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගැනීමට ද නවම් පෙරහර මහත් ශක්තියක් ලබා දෙනු ලැබේ.

නවම් පෙරහරට වාර්ෂිකව ජාති, ආගම් භේදයෙන් තොරව ආධාර උපකාර කරනු ලැබේ. ඉතාම සුළු මුදලින් ආධාර පත්‍ර මගින් එවන අයගේ සිට විශාල මුදලින් ආධාර උපකාර කරන සියලු දෙනාද මෙහිදී පින් දෙමින් අගය කරනවා.

පෙරහර එදා සිට අද පවත්වාගෙන ඒමේදී රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය නායකයා මීට සහ සම්බන්ධ වීම හා විදේශිකයන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සම්බන්ධ වේ. පක්‍ෂ විපක්‍ෂ ප්‍රතිපක්‍ෂ සියලු දෙනා එකට එකතුවන තැනක්. එබැවින් එය ද සුවිශේෂී දෙයකි. ජනාධිපතිතුමා, විපක්ෂ නායකතුමා කරඬුව තැන්පත් කරනු ලැබේ. එසේ වසර කීපයක සිදු වූ අතර සමහර විට මේ වසරේදීත් එසේ වන්නත් පුළුවන්. පොදු කටයුත්තකදී මල් වට්ටියකට අත ගැසීමට පක්‍ෂ, ජාති භේද නෑ. විය යුත්තේ ද එයයි. බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා, ප්‍රතිපිළිම සහ මහ සඟරුවන කොළඹ නවම් පෙරහරේ වැඩම කරවන නිසා බෞද්ධ ජනතාව සධාතුක කරඬුව වැඩමවන මොහොතේ ආසනයෙන් නැගී සිටිමින් ගෞරව උපහාර දක්වන ලෙසත් මතක් කිරීමට කැමැතියි. නවම් මහ පෙරහර මෙම 6 - 7 දෙදින පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.