Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කලහ සන්සිඳීමට උපකාරවන මරණානුස්සතිය

මේ සමාජයෙහි මිනිසුන් අතර අඬදබර, බැණ අඬ ගසා ගැනීම්, අනුන් හෙළා දැකීම් සහ තමන් හුවා දක්වා ගැනීම් නිතර සිදු වේ. මෙය සමාජයේ සාමාන්‍ය ස්වරූපයයි. ඇතැම් විට සංවාද ආකාරයෙන් ඇරැඹෙන කතා බහ, විවාද හා කලහ කිරීම් දක්වා දුර දිග යන අවස්ථා ද තිබේ. සංවාද ද විවාද ද සමාජ ප්‍රගමනය සඳහා නව මතවාද එකතු කරන්නේ වුවද අන්‍යයා කෙරෙහි පූර්වයෙන් ඇතිකර ගත් නොමනා සිත පෙරදැරිව කරනු ලබන සංවාද, විවාද සියල්ල අයහපත පිණිසම හේතු වෙයි. අයහපත් චේතනාවෙන් අරඹන කටයුතු නිමාවට පත්වන්නේ ද අයහපත් ප්‍රතිඵල උදා කරමිනි.

කලහකාරී මානසිකත්වය ඇතැමුන්ට පාරම්පරිකව උරුමයක් ලෙසද හිමිවන අවස්ථා දක්නට තිබේ. එය බෝවන රෝගයක් ලෙසද දැක්විය හැකි වන්නේ බොහෝවිට කලහකාරී පවුල්වල සාමාජිකයන් ද එබඳු පිරිස් සමඟ නිතර ඇසුරෙහි යෙදෙන්නන් ද කලහකාරි තැනැත්තන් බවට පත්විය හැකි ස්වභාවය වැඩි නිසාය.

අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අන්‍යයන් හෙළා දකිමින් තමා හුවාදැක්වීමට තැත් කරන අවුල් මානසිකත්වයේ හිඳ පුද්ගලයන් ඇතිකර ගන්නා ගැටුම් පිළිබඳයි. එබඳු සිද්ධි නිසා පුද්ගලයා මානසිකත්වයෙන් පරිහානියට පත්වෙයි. කොපමණ උගතකු වුවද මෙබඳු අවස්ථාවලදී සමාජයේ තමනට ඇති පිළිගැනීම අහිමි කරගනී. ඇතැම් අය කලහය සාධාරණීකරණය කරමින් ඊට හේතු සාධක මතුකර පෙන්වතත් පොදුවේ අගතිගාමි පරමාර්ථ පෙරදැරි කරගෙන ඇතිකර ගන්නා ගැටුම තුළ කිසිදු සාධාරණත්වයක් දක්නට නැත. එනිසා ගිහි, පැවිදි හෝ උගත්, නූගත් හෝ භේදයකින් තොරව, ගැටුමෙහි යෙදෙන්නා සමාජයෙහි අපකීර්තියට, අවනම්බුවට, හෑල්ලුවට ලක්වෙයි. කලහ කරන්නා නිතර එයට හේතු ගොඩනඟාගෙන ඒ හේතු සාධාරණ ඒවා ලෙස අන්‍යයන්ට පෙන්වා ඔවුන්ගේ සහාය පැතීමට පුරුදු වෙයි. විවිධ ක්‍රම මගින් ස්වකීය සාධාරණත්වය පෙන්වා අනෙක් පාර්ශවය හෝ පාර්ශව වැරැදියයි කීමට උනන්දු වේ.

කලහකාරී මානසිකත්වය මිනිස් මනැසෙහි ස්වභාව ලෙස දැක්විය නො හැකිය. එය එක්තරා අඩු මානසික තත්ත්වයකි. පොදුවේ සියලුම පුද්ගලයන්ගේ මානසිකත්වය ඒ බඳු නොවේ. බුදුරජාණන් වහන්සේ, කලහය සහිත පුද්ගලයාට එය අඩුකර ගැනීමට උපකාරවන කාරණයක් පෙන්වා දී තිබේ. එනම්, තමාද දිනෙක මරණයට පත්වන කෙනෙකු බව කල්පනා කිරීමයි. සත්වයකු මරණයට පත් කිරීම, මරණයට අනුබල දීම සහ මරණය වැදගත්යැයි කියා පෑම බරපතළ අකුසලයක් ලෙස දක්වන බුදු දහම තමන් ද මරණයට පත්වනවා නොවේදැයි යනුවෙන් කල්පනා කිරීම සහ ඒ පිළිබඳ වඩාත් සිහි කිරීම නුවණ වැඩෙන කුසලයක් ලෙසද භාවනාවක් ලෙසද දක්වා තිබේ. මරණානුස්සති භාවනාව ලෙස දක්වා තිබෙන්නේ එයයි. මිනිසකු යමක් කියන විට, සිතන විට සහ කරන විට එම ක්‍රියාව කිරීමට පළමුව තමන් ද මරණයට පත්වන කෙනෙකු නොවේදැයි සිතා විමසා බැලීම යහපත්ය.

භික්‍ෂුන් වහන්සේට විනය නීති පැනැවීමේදී මරණයෙහි ගුණ වැනීමද බරපතළ අකුසලයක් බව පෙන්වා දී තිබේ. නමුත් බුදුන් වහන්සේ, විසින් මරණානුස්සති භාවනාව ඉතා උසස් කොට දේශනා කර වදාරනු ලැබ ඇත. කලහකාරී මානසිකත්වය විසින් මිනිසාගේ සිතෙන් මරණය පිළිබඳ යථාර්ථය අමතක කරවනු ලබයි. ගිහි පැවිදි භේදයකින් තොරව මරණය පිළිබඳ නැවත නැවත ස්මරණය කිරීම යථාර්ථය තුළ ජීවත්වීමක් ලෙස දැක්විය හැකිය. තමාට, සමාජයට වැඩ කරන්නට තිබෙන කාලය පිළිබඳ මනා සැලසුමක් ඒ මගින් ඇතිකර ගතහැකි වෙයි. අපේ සමාජයේ මරණයට ඔන්න මෙන්න කියා තිබියදී බොහෝ මිනිසුන් සමාජ වැඩ කරන්නට පටන් ගන්නේ මේ පිළිබඳ අවබෝධයක් නැති නිසාය. බුදු දහමෙහි උගන්වන්නේ,

මරණධම්මොන්හි
මරණං අනතීතෝතී
අභින්හං පච්චවෙක්ඛිතබ්බං
ඉත්ථියා වා පුරිසේන වා
ගහට්ඨෙන වා පබ්බජිතේන වා

යනුවෙනි. එනම්, ගිහියකු හෝ පැවිද්දකු හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නිතර කල්පනා කළයුතු කරුණක් වන්නේ, මම මරණයට යටත් වූ කෙනෙක් වූයේ වෙමි, මම මරණය ඉක්මවිය හැකි කෙනෙක් නොවෙමි යන්නයි. මිනිස් සිතෙහි යහපත් සිතුවිලි දළුලා වැඩෙන්නට මෙයින් ඇතිවන මානසික බලපෑම ඉහළය. එහෙත් කලහකාරී මානසිකත්වය එයට වඩා වෙනස්ය. එම මානසිකත්වයේ වෙසෙන්නා කල්පනා කරන්නේ අනෙක් කෙනා මැරෙනවාය, නැතිනම් මැරි මැරී ජීවත් වෙනවාය, මම සතුටෙන් ජීවත් වෙනවාය, අනෙක් අය මැරුණත් මම මැරෙන්නේ නැත කියාය. කොයි කවුරුත් මරණයට පත්වන බව දැන දැනත් මිනිසා මෙසේ සිතන්නේ කලහකාරී මානසිකත්වය නිසාය.

පරෙ ච න විජානන්ති
මය මෙත්ථ යමාමසෙ
යේ ච තත්ථ විජානන්තී
තතෝ සම්මන්ති මේධගා
( ධම්මපදය – යමක වග්ගය )

තමාද මරණයට පත්වන බව නො දන්නෝ කලහ කරති. තමාද මැරෙන බව නො දන්නා මිනිසාගේ කලහය සන්සිඳෙන්නේ නැත. එහෙත් තමාද මරණයට පත්වන්නේ යැයි කල්පනා කරන මිනිසා නිසා කලහය සන්සිඳී යයි.

කලහයෙන් මිදීමේ සිතුවිල්ල නො දැමුණු සිතුවිල්ලක් නොව දැමුණු සිතුවිල්ලකි. අදූරදර්ශී වූවක් නොව දූරදර්ශී එකකි. ඇතැම්විට දළුලා වැඩෙන කලහයක දී ඒ සඳහා උඩගෙඩි නොදී කටයුතු කරන දැමුණු මිනිසා සමාජයේ නොදැමුණු මිනිසුන් අතර ගැරැහුමට ද අවතක්සේරුවට ද ලක් වන අවස්ථා ඇත. එයින් පෙනෙන්නේ දහම මිනිසාට හුරුපුරුදු කරවන පසුබිම සහ සාමාන්‍ය සමාජයේ වැඩිමනත් පවතින අභිමතාර්ථ අතර පැහැදිලිව පෙනෙන පරතරයක් පවතින බවයි. මේ තත්ත්වය තේරුම් ගෙන තමන්ගේ ගුණ නොනැසෙන ලෙස සද්පුරුෂයන් කටයුතු කළ යුතුය.

කලහකාරී බව, ඇතැම්විට භවයෙන් භවයට ගමන් කරනා බරපතළ ගැටලුවක් ද විය හැකිය. එය නතර කර ගැනීම පිණිස මෙසේ මරණය පිළිබඳ මෙනෙහි කිරීම අතිශය ප්‍රයෝජනවත් වේ.

මෙම දේශනය බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලැබූයේ භික්‍ෂූන් වහන්සේ පිරිසක් අතර හටගත් විවාදයක් කලහයක් දක්වා වර්ධනය වීම හේතුකොට ගෙනය. එය සිදුවූයේ කොසැඹෑ නුවර ඝෝෂිතාරාමයේ ය. කිසියම් සිද්ධියක් අරභයා ඇතැම් භික්ෂු පිරිසක් විනයානුකූල මතවාදවල සිටිමින් අර්ථවිග්‍රහ කරන්නට වූහ. තවත් පිරිසක් එම කාරණයම ධර්මානුකූල මතවාදවල සිටිමින් විග්‍රහ කරන්නට වූහ. පසුව මෙය ධර්මධර සහ විනයධර භික්ෂූන් වහන්සේ අතර ගැටුමක් බවට පත්විය. ඔවුනට අවවාද කිරීමෙන් ඵලක් වූයේ නැත. බුදුරජාණන් වහන්සේ එම ස්ථානය අතහැර වෙනත් ස්ථානයකට වැඩම කළහ. මහණෙනි, යම් දිශාවක භික්‍ෂූහු දබර කරන්නාවූ හටගත් කලහ ඇත්තාහු විවාදයට පෙළඹුනාහු ඔවුනොවුන් වචන නමැති ආයුධවලින් පහර දෙමින් සිටින්නාහු නම් මහණෙනි, මම එම දිශාව මෙනෙහි කරන්නට ද කැමැති නොවෙමි. එසේ නම් එහි යෑම ගැන කවර කතාද ? එබඳු පිරිස ඒකාන්තයෙන්ම කරුණු තුනක් දුරුකළාහු වෙති. එනම්, නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය සහ අවිහිංසා විතර්කය යන මේ කරුණුයි.

සටහන හේමමාලා රන්දුනු


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.