Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආවේග පාලනය කර ගන්න

නමෝ තස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අත්ථි භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා, අත්ථි ආසවා සංවරා පහාතබ්බා ,අත්ථි ආසවා සටිසේවනා පහාතබ්බා, අත්ථි ආසවා අධිවාසනා පහාතබ්බා, අත්ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්ථි ආසවා විනෝදනා පහාතබ්බා අත්ථි ආසවා භාවනා පතාතබ්බාති

සබ්බාසව සූත්‍රය
මජ්ඣිම නිකාය

පින්වත්නි

බුදුසරණ බෞද්ධයාගේ පෝදා සංග්‍රහයෙහි දහම් දෙසුමින් අද මා ඔබ හමුවට ගෙනෙන්නේ ඉතාම ප්‍රායෝගික බෞද්ධ සංකල්පයක්. ඕනෑම කෙනෙකුට භාවිතයට වටිනා ජීවිතාදර්ශයක්. ඒ ආවේග පාලනයට ඉතාම හොඳ මගක්.

වත්මනෙහි ඇතිවන සමාජ ගැටලු අතර තරහ යාම, කේන්ති යාම, ආවේගශීලිව ක්‍රියා කිරීම, සමාජයේ බාල මහලු උගත් නූගත් බොහෝ දෙනෙකු තුළ දැකිය හැකි දෙයක්. වාර්ෂික අපගේ අපරාධ ලැයිස්තුව , මනුෂ්‍ය ඝාතන ලැයිස්තුව ඉතා ඉහළ තැනෙක තිබෙන්නේ සිර ගෙවල්වලට ඇතුළත් වන සමාජයේ අඩුවක් ද නැහැ. ගෙවල් දොරවල්වල බොහෝ අඩදබර වැඩි වන්නේ කේන්ති යාම , තරහ යාම , පාලනය කර ගන්න පුරුදු පුහුණු වන්න බොහෝ දෙනාට නොහැකි වන නිසා.

විශේෂයෙන් අප හැසිරෙන්නේ අපේ සිත මූලික කොට බව ධම්මපදයේ මුල්ම ගාථාවෙහි දැක්වෙනවා. සිතේ ස්වභාවය අපි‍්‍රයජනක අරමුණක් ගැටුණු වහාම කෝප වීම, එවන් සිත දමනය කරන්නට පුරුදු පුහුණු කරන්න වෙනවා. සිත නිවන කථාවක් අහන්න අද බොහෝ විට බැරි වෙලා තිබෙනවා. ජනමාධ්‍ය , කලාව හා ඇතැම් සාහිත්‍යාංග පවා සිත ආවේග ශීලි කරන අයුරින් සැකසී තිබෙන්නේ, ඒවායින් හැඩ ගස්වන සිත ස්වභාවයෙන්ම කලහකාරි පැත්තට නැඹුරු වෙනවා. අද වැඩිපුර දෙනෙක් තරහෙන්ම වැඩ කරන්න පුරුදුව ඉන්නේ ඒ නිසා.

මෙම මානසික ව්‍යාධියට අපේ දහමේ ඉතා සාරවත් විසඳුම් තිබෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ අතරෙ මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් සබ්බාසව සූත්‍රය විමසා බැලීම ඉතා වැදගත්. එම සූත්‍රයෙහි ඇතුළත් කාරණා හතක් මම ඔබට ආරම්භයෙහි මාතෘකා කළා.

01. ආසවා දස්සනා පහාතබ්බා

තමන්ගේ සිතෙහි පවතින ආවේශීලි බව තමාට දැකීම ඉතාම වැදගත්. බුදුහිමියන් මෙහිදී වදාළේ ඒ ආශ්‍රවයන් දැකීමෙන් ප්‍රහීන කළ යුතු බවයි. මගේ සිතට දැන් තරහ ඇතිවෙනවා. එය පිටතට යොමු කිරීමෙන් විශාල කරදරයක් වෙන්න පුළුවන් යනාදී ලෙස තමාගේ සිත අවබෝධයෙන් තමාම දැකීම ආවේග පාලනයට තිබෙන ඉතා හොඳ මගක්. විශේෂයෙන් එහිදී ආදීනව දැකීම යහපත්. බොහෝ දෙනෙක් තරහ ගෙන කරන ක්‍රියාවල ප්‍රතිඵල විඳින විට පසුතැවිලි වෙනවා. ඒ නිසා මේ පසුතැවිල්ලට මා පත් නොවන බව අවබෝධ කොට ගන්න. එවිට ස්වයං විනයක් ඉබේම ඔබ තුළ හට ගනීවි. තරහ එන විට ඒවා පාලනය වේවි.

02. සංවරා පහාතබ්බා

සංවරයෙන් ආවේග සමනය කරගත හැකි බව ඉන් කියැවෙනවා. මෙහිදී ඉන්ද්‍රිය සංවරය ඉතා වැදගත්. “ සංවර කළ සිත සලසයි යහපත ” යන්න ඔබේ ජීවන දැක්ම බවට පත් කර ගන්න. තිදොර සංවර කර ගැනීම සීලයෙන් අප ලබන ආනිශංසයක්. ඔබ අඳින පළඳින ඇඳුම් ආයිත්තම් පවා ඔබගේ සිත සංවර කරන්නක් විය යුතු වෙනවා. ඇඳුම පවා සමහර විට සිත ආවේගයට යොමු කරනවා. එමෙන්ම ඔබේ මුවින් නිකුත් වන වචනයත් වැරදි වචනයක්. ප්‍රකාශනයක් වුවොත් එයින් බරපතළ පසුතැවිල්ලට පත් වෙන්න ඉඩ තිබෙනවා. එබැවින් වාචසික සංවරයත් ඉතා වැදගත්. සිතා බලා වචන පාවිච්චි කරන්න. තව කෙනෙක් රිද්දන අමනාපය ඇති කරවන වචනයක් කිසි විටෙකත් එළියට නොදමන්නට වචනය පාලනය කර ගැනීම අපට කළ නොහැකිදැයි බලන්න.

03. පටිසේවනා පහාතබ්බා

සේවනා යනු ආශ්‍රයයි. ආශ්‍රයෙන් හෙවත් සේවනය කිරීමෙන්ද සමහර ආවේග දුරු කර ගන්න හැකි වෙනවා. මෙහිදී යහපත් උතුමන්ගේ සේවනය වැදගත්. ආවේගශීලි මිනිසුන් ඇසුරු කිරීමෙන් තමා ද ඒ තැනට ඇද වැටෙන බව කල්පනා කර බලන්න. එබැවින් උත්තම මිනිසුන්ගේ ඇසුරට ළං වෙන්න. ඒ අය සමඟ කරන ගනුදෙනු ඔබට අයහපත් සිතිවිලි ඇති කරන්නේ නැහැ. ඒ අය නරක දුෂ්ට වචන ද කථා කරන්නේ නැහැ. එබැවින් සතෙකු සිව්පාවෙකු පවා ආශ්‍රය කිරීම වැදගත්. එමෙන්ම සෞන්දර්යය සේවනය ද වැදගත්. ඒ කිසි විටෙක තමන්ගේ නපුරු හැගීම් මතු වන්නේ නැහැ.

04. අධිවාසනා පහාතබ්බා

ඉවසීමෙන් හෙවත් දරා ගැනීමෙන් තමන්ගේ සිතේ ආවේග පාලනය කර ගන්න හැකි වෙනවා. විශේෂයෙන් මෙහිදී අෂ්ටලෝක ධර්ම පිළිබඳ අවබෝධය වැදගත්. ප්‍රශංසාවේදී උද්දාමයට පත්වන සිත නින්දාවේදී ආවේගයට ඉඩ තබන්න එපා. ඒ සියල්ල සමබරව ඉවසා ගන්න. බෝසත්වරුන් ඉවසීම පුරුදු කළ අයුරු විමසා බැලීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. ඔබේ ජීවිතයට ගැටලුවක් පැමිණි විට එය සාවධානව විමසා බැලීමෙන් බොහෝ විට පහසුවෙන් විසඳා ගන්න හැකි වෙනවා. සාවධානවීම යනු ඉවසීමයි.

05. පරිවජ්ජනා පහාතබ්බා

මගහැරීම පරිවජ්ජනා නම් වෙනවා. සමහර ආවේගයන් දුරු කිරීමට සමහර දේවල් මග හැර සිටීමත් වැදගත්. තමා නුරුස්සන දේවල් මග හැර ඉන්න. අපට බැරිද? සමහර විට ඔබට නිතර නිතර රිදවන කෙනෙකු ඔබ ඇසුරෙහි සිටි නම් ඔහු සමග ගැටි ගැටී සිත රත් කර ගන්නවාට වඩා ඔහු මග හැර සිටීම ඉතාම වැදගත් වෙනවා. එයින් ඔබට හානියක් වෙන්නේ නැහැ. සමහර විට ඔබ රිදවන වෙනත් කවර බලවේගයක් හෝ ඔබ ඇසුරේ පවතී නම් වහාම එයින් ඈත් වන්න. එය ජීවිතයෙන් පලායාමක් නොව සන්සුන් මනසක් සඳහා කරන පරිත්‍යාගයක් වේවි.

06. විනෝදනා පහාතබ්බා

හඳුනා ගැනීමෙන් ද ආවේගයන් සමනය කර ගත හැකි බව බුදුහිමියන් වදාළා, මෙහිදී හඳුනා ගැනීම යනු ආවේගයන් ඇති කරන බලවේග හඳුනා ගැනීමයි. යමක ගැටෙන්නට පෙර සිතා බැලීම මෙහිදී වැදගත්. එසේ සිතා නොබලා විමසා නොබලා සමහර ගැටලු ඇති කර ගැනීමෙන් තමාට ඇතැම් විට ජීවිතයම කඳුළින් ගත කරන්න වෙනවා. හොඳ මිතුරන් පවා ජීවිතයට අහිමි වෙනවා. දෙමාපියන් අහිමි වෙනවා. එබැවින් තමන්ට හානිකර බලවේග හඳුනා ගැනීමෙන් ඉබේම වාගේ ආවේග පාලනය වෙනවා.

07. භාවනා පහාතබ්බා

ආවේග පාලනයට පුරුදු කළ යුතු හොඳම ක්‍රමවේදය භාවනාවයි. නිරෝගී මනසක් සඳහා භාවනාව ඉතා වැදගත්. මෙහිදී එය ජීවන චර්යාවක් බවට පත් කර ගන්නට හැකි නම් ඉබේම සිතට ආවේග පැමිණීම නවතිනවා.

සැම දිනෙකම රාත්‍රියේ හෝ උදෑසන හෝ විනාඩි කිහිපයක් ඔබ කවර හෝ භාවනාවක් හුරු කරන්නේ නම් එය සිත යහපත් තැනක් බවට පත් කර ගන්නට හේතු වෙනවා. එවන් සිතක ආවේග තැන්පත් වන්නේ නැහැ.

එබැවින් ලොකු කුඩා කවර කෙනෙකුට වුව ජීවිතයේ මේ සබ්බාසව සූත්‍රයෙහි භාවිතාව ඉතා වැදගත්. මේ කරුණු හත ඔබ සන්සුන් මිනිසෙකු කරනවා නිසැකයි. ඔබට තෙරුවන් සරණයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.