Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දැහැමි ධනය සදයි සුවය

බුදු දහමෙහි අවධාරණය කරනුයේ වැරැදි මාර්ගවලින් උපයන ධනයෙන් සිය ජීවිකාව ගෙන යෑම මිච්ඡා ආජීවය බවත් ඉන් මිදී ධර්මානුකූල ධනයෙන් දිවිගෙන යාම සම්මා ආජීවය බවත්ය. මිනිස් ශ්‍රමය හෙවත් ශක්තිය යොදවමින් දිවි පැවැත්මට ප්‍රධාන ආර්ථික අංශ හතරක් පිළිබඳව සඳහන් වෙයි

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“න අන්නහේතු න පරස්ස හේතු
න පුත්තමිචෙඡ න ධනං නරට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකොසියා”

පින්වත්නි!

අද ධර්ම දේශනාව සඳහා මම තෝරා ගත්තේ ධම්මපදයෙහි පණ්ඩිත වර්ගයට අයත් 84 වන ගාථාවයි. එදා ධම්මික නමැති තෙරුන් වහන්සේ නමක් අරභයා මේ ගාථා ධර්මය දේශනා කළහ.

මෙහිදී අපේ අවධානය යොමු විය යුතු අංශ කීපයක් ඇත. ධනය යනු මොනවාද? එම ධනය දැහැමි අදැහැමි වන්නේ කෙසේද? දැහැමි ධනෝපාර්ජන ක්‍රම මොනවාද? ආදී අංශ ගැන සොයා බැලිය යුතු ය.

මිනිසාගේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන භෞතික සියලු වස්තූන් ධනය ලෙස නම් කළ හැක. ගේ දොර ඉඩ කඩම් මිල මුදල් ආදිය මේ යටතේ නම් කරයි. ඒ සියල්ල දිවි පැවැත්මට අත්‍යවශ්‍ය වෙයි. මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් ලෙස ද වර්තමානයෙහි මේවා හඳුන්වා දී ඇත. සැපවත් දිවියට ධනය අත්‍යවශ්‍යම බව “ධනාත් ධර්මං, තතඞ සුඛම්” යනුවෙන් පෙන්වා දී ඇත. මේ ධනය නොමැති තැන දුප්පත්කම උදාවෙයි. මේ දරිද්‍රතාවය සමග සමාජ ආචාර ධර්ම පිරිහීම සිදුවන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී මනාව පෙන්වා දී ඇත. එසේම මේ සමාජ දුශ්චරිත බිහි වීමත් සමගම බාහිර පරිසර හානිය ස්වාභාවික සම්පත් පවා විනාශ වන බව දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී තවදුරටත් සඳහන් වෙයි. මේ අනුව පුද්ගලයාගේ සහ සමාජයේ පරිහානියට හෝ ප්‍රගතියට මේ ධනය මුල් වන බව මනාව පැහැදිලි වෙයි.

අද ඇතැම්විට මිනිසාගේ ප්‍රධාන කාර්යය වන්නේ ධනය ඉපයීමේ ක්‍රියා මාර්ගවල නිරත වීමයි. මේ නිසාම මිනිසා යන්ත්‍ර සූත්‍ර බවට පත් වී ඇත. උදේ සිට රෑ වෙනතුරු කුමන හෝ ක්‍රම විධි යොදවමින් මේ ධනය පසුපස හඹායයි. ධනය ඉපයීමේ දී සමහරු වැරැදි නිවැරැදි සාධාරණ අසාධාරණ ක්‍රම පිළිබඳව නොසොයති. කෙලෙස හෝ තම අත මිට සරුවේ නම් ඒ සඳහා යොමු වන මිනිස්සු වැඩි පුර දක්නට ලැබෙති.

එහෙත් බුදු දහමෙහි අවධාරණය කරනුයේ වැරැදි මාර්ගවලින් උපයන ධනයෙන් සිය ජීවිකාව ගෙන යෑම මිච්ඡා ආජීවය බවත් ඉන් මිදී ධර්මානුකූල ධනයෙන් දිවිගෙන යාම සම්මා ආජීවය බවත්ය. මිනිස් ශ්‍රමය හෙවත් ශක්තිය යොදවමින් දිවි පැවැත්මට ප්‍රධාන ආර්ථික අංශ හතරක් පිළිබඳව සඳහන් වෙයි. කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, වෙළඳාම, රාජ්‍ය සේවය යනු එම අංශ හතරයි. මෙම ජීවන වෘත්තීන් දැහැමි ලෙස සිදු කරමින් යම් ධනයක් උපයයිද එය නිවැරැදි ධනය ලෙසත් තමා කරන වෘත්තිය වැරැදි සහගත ලෙස වංචා සහගතව සිදු කරයි නම් එම ධනය වැරැදි අදැහැමි ධනය ලෙසත් නම් කළ හැක. එම ධනය යොදවා යමෙක් සැප ලබමින් ජීවත් වේ නම් එය මිච්ඡාජීව ලෙස නම් කළ හැක.

දැහැමි ධනය යනු, ඔබ කරන ඕනෑම කාර්යයක් නිවැරැදිව අවංකව සිදු කර උපයන ධනය දැහැමි වෙයි. ‘උට්ඨාන විරියාධිගතා බහාබල පරිචිතෙන, සේදාවක්ඛිත්තා, ධම්මෙන ධම්ම ලද්ධා’ යනුවෙන් දැහැමි නිවැරැදි ධනයක ඇති ලක්‍ෂණ උගන්වා ඇත. උත්සාහයෙන් මහන්සියෙන් ඉපයීම. දෑත දෙපයේ වීර්යය යොදා ඉපයීම, දහඩිය මහන්සිය යෙදවීම, තමන්ටත් අන් අයටත් හිතකර ක්‍රියාමාර්ගවලින් ඉපයීම, දෙළොව පිළිබඳ හැඟීමක් ඇතිව ධන නිෂ්පාදනය මේ ලක්‍ෂණ වලින් යුතු ධනය දැහැමි නිවැරැදි ධනය වෙයි. මෙහිදී වැදගත් ලක්‍ෂණ වන්නේ ධම්මිකෙ ධම්ම ලද්ධෙන යන අංශයයි. දැහැමි ලෙස, තමා අදහන ආගම ධර්මයට පටහැනි නොවීම, තම හෘදය සාක්‍ෂියට එකඟවීම නිෂ්පාදිත ධනය දෙස ආපස්සට හැරී බලන විට සතුටු විය හැකි වීම ආදිය මේ යටතේ විග්‍රහ කළ හැක. අන්න එවන් නිෂ්පාදිත ධනය නිවැරැදියි. ඉන් සිය ජීවිතය ගත කිරීම සම්මා ආජීවයයි. තමා කරන ගොවිතැනේ දී වෙළඳාමේ දී, රාජ්‍ය සේවයේ දී වෙනත් ජීවන වෘත්තීන්හිදී ඔබ මෙවන් දැහැමි ධනයක් උපයනවාදැයි අවංකව සොයා බලන්න. ඔබ උදේ සිට යමක් ඉටු කර සපයා ගන්නා මුදල නිවැරැදි දැයි හෘදය සාක්‍ෂියට එකඟදැයි පරීක්‍ෂා කරන්න. එවන් මොහොතක ඔබ සිතට එම ධනය තුළින් සතුටක් සුවයක් දැනේ නම් අන්න එවිට තීරණය කරන්න මගේ ධනය නිවැරැදි දැහැමි ධනයක් ලෙසත් ඉන් ජීවත්වීම සම්මා ආජීවයට අයත් බවත් සිතන්න. පංචශීලයට අනුව තිදොර සංවර කර ගනිමින් ජීවිකාව ගෙන යෑම මෙහිදී අගය කරයි. අදැහැමි ධනය යනු, ඉහත සඳහන් කළ දැහැමි බැවින් පරිබාහිර හාත් පසින්ම වැරැදි සහගත ක්‍රියාමාර්ගවලින් උපයන ධනය අදැහැමි, වැරැදි සහගත බව මෙහිදී සඳහන් කළ හැක. ඔබ කරන ජීවන වෘත්තිය ආගම් විරෝධී සමාජ දෝහී වැරැදි සහගත නම් ඉන් උපයන ධනය අධාර්මික වංචා සහගත එකක් වෙයි. ගොවිතැන් කිරීමේ දී අන් අයට හානියක් කරදරයක් වන ලෙසත් ඔබ ක්‍රියා කරයි නම් ඉන් ලබන ලාභය සාධාරණ නොවෙයි. එසේම වෙළහෙළදාම් කිරීමේ දී එය අවංකව නිවැරැදි ලෙස ඔබ දුටු නොකරයි නම් ඉන් ලබන ධනය ආගම් විරෝධි වෙයි. වෙළදාම් කිරීමේ දී වැරැදි සහගත අදහැමි වෙළදාම් 05 ක් උගන්වා ඇත. 1. සත්ත වණිජ්ජා (වහල් වෙළදාම) 2. සත්ථ වණිජ්ජා (අවි ආයුධ වෙළදාම) 3. විස විණිජ්ජා (වස විෂ වෙළඳාම) 4. මංස වණිජ්ජා (මස් වෙළදාම) 5. මජ්ජ වණිජ්ජා (මත්පැන් වෙළඳාම) මෙම පංච විධ වෙළදාම් මඟින් ඉක්මනින් ධනවතෙකු විය හැකි වුවත් එම ධනෝපායන ක්‍රමය වැරැදි සහගතයි. අධාර්මිකය. එසේම වෙළඳාම් කිරීමේ දී අනුගමනය නොකළ යුතු කූට උපක්‍රම කීපයක් ද පෙන්වා දී ඇත. සැදැහැබර දැහැමි බෞද්ධ ඔබ මේ ගැන දැඩි අවධානය යොමු කරන්න. අදැහැමි මගින් ඉවත් වී දැහැමි මඟට යොමු වන්න.

සිල්වත් ඥානවන්තයා කිසිවිටක තමන් සඳහා අන් අය සඳහා තම දූ දරුවන් සඳහා එවන් අදැහැමි ධනය අනුමත නොකරයි. ඔබත් එවන් පුද්ගලයෙකු වීමට උත්සාහ කරන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.