Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර සංග්‍රහ වස්තු

ඕනෑම ජන සමාජයක දියුණුවට හා පැවැත්මට අවශ්‍ය කරුණු හතරක් බුදුරජාණන්වහන්සේ සිව් සඟරාවතින් පෙන්වා දී ඇත. බෝසතාණන් වහන්සේ නොයෙක් ආත්ම භාව වල සතර සංග්‍රහ වස්තු වලින් අනුනට සංග්‍රහ කළ බව බණ පොතේ සඳහන් වේ. එය බුද්ධත්වය සඳහා ද පහසු වූ බවත් උපනුපන් ආත්ම වල අප්‍රමාණ පහසුකම් ලැබූ බවත් වැඩි දුරටත් සඳහන් වේ.

සතර සංග්‍රහ වස්තු මෙලොවට පමණක් නොව පරලොවට ද හේතු වේ. එය එතනින් අවසන් නොවී ලෝකෝත්තර වශයෙන් ඇති නිවන දක්වාම ගමන් කරනු ඇත. පුද්ගල රාශියක එකතුව සමාජය වේ. එම සමාජයේ යහ පැවැත්ම උදෙසා පුද්ගලයා සඳහා සතර සංග්‍රහ වස්තු ප්‍රායෝගිකව බලපාන අයුරු සලකා බැලීම මෙහි අරමුණයි. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සංග්‍රහ වස්තු සූත්‍රය තුළින් කරුණු පෙන්වා දී ඇත. එහි සඳහන් වන්නේ

“චත්තාරිමානි භික්ඛ වේ සංගහ වත්ථූනි
කතමානි චත්තාරි, දානං පෙය්‍යවජ්ජං
අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො

භික්ඛ වේ චත්තාරි සංගහ වත්ථූනී ති” ආදී වශයෙනි.

අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු කරුණු 4 කි කුමක්ද ?

ඒ කරුණු හතර

1. දානය
2. ප්‍රිය වචනය
3. අත්ර්‍ථචර්යාව
4. සමානාත්මතාව නම් වේ.

දානය

අවශ්‍ය අයට මූල ධනය වශයෙන් මුදල් හදල්, බීජ ආදිය දීම දානයයි. මෙහිදී ආගමික මුහුණුවරක් ගම්‍යමාන නොවුන ද තමන් සතු ධනය අනුන් සමඟ බෙදා හදාගෙන ජීවත් වීමේ පිළිවෙත නිරූපණය වේ. කිසියම් සැලැස්මකට අනුව නිෂ්පාදන ක්‍රියාවලියට සමස්ත ජනතාවම හවුල් කොටගෙන ඔවුන් අතර ධනය බෙදීයාමේ අභිප්‍රායෙන් දෙන දානයක් විය යුතුය. දී නි කූ®ටදන්ත සූත්‍රයෙහි එන මහා විජිත රජුගේ පුරෝහිතයා යාගයට පෙර රට සුභික්ෂ කරනු සඳහා දෙන උවදෙස් තුළින් රටක සමුර්ධිය ළඟාකර ගන්නා අයුරු පැහැදිලි වේ. ලෞකික වශයෙන් දන් දීමෙන් ආයුෂ, වර්ණය, සැපය, බලය යන සැප තමන්ටත් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා රාජකුමාරිකාවකට කළ දේශනයකින් පැහැදිලි වේ. “ ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගිනී හොති දිබ්බස්ස වා මානුසස්ස වා” කෙනෙකුට ආයුෂ දුන්නම තමන්ටත් දිව්‍යමය ආයු සම්පත් ලැබෙන බව එම පාඨයෙන් පැහැදිලි වේ. මනුෂ්‍ය ආත්මය තුළ බලාපොරොත්තු වන අනෙක් සැප සම්පත් වන ශාරීරික ලක්ෂණ, ශාරීරික සැපය හා ශාරීරික බලයද ඒ අයුරින්ම ලැබෙන බව සිතා ගත යුතුය. පාර ලෞකික වශයෙන් දන් දීමේ වටිනාකම ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට ඇත. ආත්මාර්ථකාමීත්වය නැති වී පරාර්ථකාමීත්වය වැඩි දියුණු වී සංසාරික බන්ධනය නැතිකර ගත හැකි මාර්ගය දානය තුළ තිබේ. “ තිණ්ණං සම්මුඛී භාවා සද්ධො කුලපුත්තො බහු පුඤ්ඤං පසවති” පිරිසුදු සිතින් ධාර්මිකව සපයා ගන්නා දාන වස්තුවක් සිල්වත් පිරිසකට පරිත්‍යාග කිරීමෙන් උසස් පිනක් ලැබෙන බව ඉන් පැහැදිලි වේ. එය සංසාරික දුක් නැතිකර ගැනීමට ද මඟ වේ. බුදුරජාණන් වහන්සේ සංඝගත දක්ෂිණාවේ ආනිසංස දේශනා කිරීමේ දී “කප්පානි සත සහස්සානි - සංඝෙ දින්නං න නස්සති යනුවෙන් කල්ප සිය දහස් ගණනක් ගියත් සාංඝික වශයෙන් දුන් දානයේ අනුසස් නැති නොවන බව පැහැදිලි කොට ඇත. බාල සංගහවත්ථු සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එත දග්ගං භික්ඛවේ දානානං යදිදං ධම්මදානං” යනුවෙන් ධර්ම දානය අග්‍ර වන බවයි. “ සබ්බ දානං ධම්ම දානං ජිනාති” යන පාඨයෙන් ද ඒ බව පැහැදිලි වේ. එයට හේතුව ආමිස දානයෙන් ලැබෙන ප්‍රථිඵල තාවකාලික වන අතර ධර්ම දානයෙන් ලැබෙන ප්‍රථිඵල නිවන් සුව දක්වාම පවතින බැවිනි.

ප්‍රිය වචනය

“පෙය්‍ය වජ්ජන්ති පියවචනං” යන අඟුත් සඟි අටුවාවේ සඳහන් පාඨයට අනුව ස්ත්‍රී පුරුෂ සමාජයක තිබිය යුතු උසස් ලක්ෂණයක් ලෙස ප්‍රිය වචනය හඳුන්වා ඇත. ස්වකීය නිලධාරීන් හා වැසියන් සඳහා ළගන්නා සිත් නොරිදෙන වචන භාවිතා කිරීම ප්‍රිය වචනයේ ස්වභාවයයි. දෙහදක් අතරේ නිසසල පිරිසුදු සුහද බවක් ඇති කිරීම සඳහා ප්‍රිය වචනය හේතු වෙයි.

මිනිසුන් පමණක් නොව සතා සිවුපාවන් ද ප්‍රිය වචනයට කැමති බවත් එයින් ද හොඳ වචන කතා කිරීමට පුරුදු වන බවත් සත්තිකුම්භ ජාතකය, නන්දිවිසාල ජාතකය වැනි කතා පුවත් තුළන් පැහැදිලි වේ. බොරුව, කේලම, පරුෂ වචන, හිස් ප්‍රලාප මේවා අප්‍රිය ජනකයි. අහිතකරයි. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන අහංකාරාදී කෙලෙස් වලින් හදවත දූෂණය වුණාමයි එැවනි වචන පිට වන්නෙ. බුදුරජාණන් වහන්සේ උසස්ම ප්‍රිය වචනය කුමක්ද කියා බලසංගහ වත්ථු” සූත්‍රයේදී මෙසේ දේශනා කොට ඇත.

“එතදග්ගං භික්ඛවෙ පෙය්‍ය වජ්ජානං යද්දිං අත්ථිකස්ස ඔහිත සෝතස්ස පුනප්පුනං ධම්මං දෙසේති” බණ ඇසීමට කැමති අයට නැවත නැවත ධර්මය දේශනා කිරීම උසස්ම ප්‍රිය වචනය බවයි එයින් පැහැදිලි වන්නේ. දහම් සොඬ රජතුමා යක්ෂයාගේ කටට පැන්නෙත් බණ ඇසීමට ඇති කැමැත්ත නිසයි. ධර්මය යනු ප්‍රිය වචනයයි. එය ඇසීම දැරීම හා චරණය නිවනට ද හේතු වේ.

 අර්ථ චර්යා

අර්ථ චර්යාව නම් ලෝවැඩ පිණිස හෙවත් පරාර්ථය සඳහා කටයුතු කිරීමයි. එය රාජ්‍ය පාලක ධර්මයක් වශයෙන් ගත් කළ රට වැසියාගේ ආර්ථික දියුණුව පිණිස කටයුතු කිරීමයි. එහිදී ආහාර, ඇඳුම්, වාසස්ථාන සහ බෙහෙත් යන මූලිත මිනිස් අවශ්‍යතා ඇතුළත් වේ.

සිඟාලෝවාද සූත්‍රයට අනුව යුතුකම් පහකින් සේවකයන්ට සැලකිය යුතු අතර එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ දුක සැප විමසීම හා මංගල අවමංගල අවස්ථා වලදී වැඩිපුර උදව් පදව් කිරීමද අර්ථ චර්යාව සාර්ථක වීම සඳහා ඉවහල් වේ.

අර්ථ චර්යාව තුළින් ආර්ථික පැත්ත පමණක් නොව අධ්‍යාත්මික පැත්ත පිළිබඳව ද අවධානය යොමු කොට ඇත. එහිදී රටවැසියා තුළ චතුර්විධ සම්පත්තියක් ඇති කිරීම වැදගත් වේ. එනම්

1. සද්ධා ( තෙරුවන් ගුණ කෙරෙහි පැහැදීම )
2. සීල ( ත්‍රිවිධ ද්වාරය සංවර කර ගැනීම )
3. ත්‍යාග ( පරිත්‍යාගයෙහි පිහිටුවීම )
4. ප්‍රඥා ( ත්‍රිලක්ෂණය තුළින් ලෝකය හා සත්වයා පිළිබඳ දැනීම හා නිවන් අවබෝධය )

යන ගුණ හතර ජනතා හදවතට කැවීම තුළින් එම රාජ්‍යය නිර්භය ක්‍ෂේම භූමියක් බවට පත් වන බවද සඳහන් වේ. එපමණක් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් උපලක්ෂිත වීම තුළින් ද අර්ථචර්යාව තව තවත් අර්ථවත් වේ.

 සමානාත්මතාව

සමානත්තතා ති සමාන ‘සුඛ දුක්ඛ භාවො’ දුක සැප සමව බෙදාගෙන ජීවත් වීමට පුරුදු විය යුතුය. තවද අටලෝ දහමේ අකම්පිත ගුණයත් සමානාත්මතා ගුණයට ඉවහල් වේ. වාසෙට්ඨ සූත්‍රයේදී, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුල එකිනෙකට වෙන්ව ඇත්තේ ඔවුන්ගේ වෘත්තිය අනුව බව ප්‍රකට කරුණක් වුවද ඔවුන් සියලු දෙනාම හඳුන්වා ඇත්තේ මනුස්ස යන පොදු නාමයෙනි. බලසංගහවත්ථු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ලාභී ගිහි සමාජය තුළ කුමන තරාතිරමක පුද්ගලයෙකු සිටියත් බුදු සසුනට ඇතුළත් වූ කළ ශ්‍රමණ නමින් හඳුන්වන බවත් පැවිද්ද හා උපසම්පදාව ලබන බවත් දේශනා කර ඇත.

“ දානංච පෙය්‍යවජ්ජං ච – අත්ථචරියාච යා ඉධ
සමානත්තතා ච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං
එතෙ ඛො සංගහා එතෙ - සමවෙක්ඛන්ති පණ්ඩිතා
තස්මා මහන්තං පප්පොති – පසංසා ච භවන්ති තෙ”

සමස්තයක් ලෙස සිව් සඟරාවත පිළිබඳ සිතීමේ දී රිය ගමනට කඩ ඇණය අවශ්‍ය වන්නාක් මෙන් ලෝකයෙහි පැවැත්මට උපකාරී වන සමගාමී ලෝක ධර්ම සතරක් බවත්, මේ සතර වස්තූන් නිසා ජනතාව පාලකයන් වෙත නැමෙන බවත් මහත් වූ යසසට හා ප්‍රශංසාවට පාත්‍ර වෙන බවත් සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කොට වදාළහ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.