UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අමාවක 2011 ජුලි 30 වනදා

බුදුරුව පළ කිරීම

ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර දිනපතා පුවත්පත් සහ වාර ප්‍රකාශනවල බුද්ධ රූපය පළ කිරීම තහනම් කරන ලෙස පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රුවන් රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර ඇත. පුවත්පත්වල සහ වාර සඟරාවල බුද්ධ රූප හා බුද්ධ ප්‍රතිමා රූප කිසිදු පාලනයකින් තොර ව අසීමිතව මුද්‍රණය කැරෙන බවත්, එම පත්‍රිකා විවිධ භාණ්ඩ දවටන හා වෙනත් අයෝග්‍ය කටයුතු සඳහා භාවිත කිරීම බුදුරජාණන් වහන්සේට සිදු කරන අගෞරවයක් බවත් එම යෝජනාවෙහි සඳහන් ය. සම්බුද්ධත්වයෙන් 2600 වන ජයන්තිය සැමරීම ද සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර පුවත්පත්, වාර සගරා සහ වෙනත් පත්‍රිකාවන්හි බුද්ධ රූප හා බුද්ධ ප්‍රතිමා රූප පළ කිරීම තහනම් කැරෙන නීති හඳුන්වා දිය යුතු යැයි එම මන්ත්‍රීවරයා අදහස් කරයි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පමණින් එය නීතියක් බවට පත් නො වන නමුදු මෙ බඳු සංවේදී ආගමික කරුණක් පිළිබඳ ව සමාජ සංවාදයක් ආරම්භ කිරීම අප ගේ යුතුකමකි. අපට අවාසියක් සිදුවිය හැකි යැයි සිතා කැරෙන දෝෂාරෝපණයක් ලෙස මෙය නො සැලැකිය යුතු ය.

පිළිම නෙළීම ආරම්භ වූයේ කුමන අරමුණකින් දැයි දැන ගැනීම මෙහි දී වැදගත් වනු ඇත. ‘අයාලේ ගිය සිතක සටහන්’ යනුවෙන් පළ කැරැ ඇති තිස්ස අබේසේකරයන් ගේ පුවත්පත් ලිපි සරණිය ඒ සඳහා මෙහි උපුටා දක්වමු.

‘ප්‍රාණය නිරුද්ධ වූ මෘත ශරීර බෙහෙත් ගල්වා කවා ගල් කොට ඒවායේ ස්වරූපයන් ඒ අයුරින් ම ක්ෂය නො වී තබා ගන්නට යටගිය දවස මිසර දේශවාසීන් ගත් උත්සාහය තුළ මූර්තිධර කලාවේ උපත අන්ද්‍රේ බැසෑන් නමැති සිනමා මූලාචාර්යවරයා දකි යි’.

‘මූර්තිධර කලාවේ මූලික අභ්‍යාසය වනාහි පිළිම නෙළීමයි. පිළිමයක් නෙළන්නේ ඉන් නිරූපිත වස්තුව කාලයාගේ ඇවෑමෙන් දිරාපත් නො වී මතු මතුවටත් පවතින්නට ය. බැසෑන් ගේ වචනයෙන් ම උපුටා දක්වන්නේ නම්,

මරණය ජය ගැනීම අරමුණු කර ගත් පුරාණ මිසරයේ ආගම් හාවිශ්වාසයන්ට අනුව පැවැත්ම යනු සර්වාංගය ක්ෂය නො වී තබා ගැනීම විය. ගෙවී යන කාලයෙන් ආරක්ෂාවීම වනාහි මිනිසාට මූලික වූ චේතනාවක් සපුරා ගැනීම යි. එනම් මරණය ජය ගැනීමයි. කායික ස්වරූපය ආරක්ෂා කොට වෙනස්වීමට ඉඩ නො දී තබා ගැනීම වනාහි ඒ කය හිමි තැනැත්තා කාලයේ ප්‍රවාහයෙන් ගොඩ ගෙන අසුරා තබා ගැනීමයි.

‘මූර්ති ශිල්පය හා චිත්‍ර ශිල්පය කළ දේ ම ඊට වඩා හොඳින් කිරීම ඡායාරූප ශිල්පයේ අරමුණ විය. මූර්තියක් හෝ චිත්‍රයක් එයට වස්තු වූ නිමිත්තේ අනුකරණයක් හෝ ප්‍රතිනිර්මාණයක් වී නම්, ඡායාරූපය ඒ නිමිත්ත ම විය.’

බුද්ධ ප්‍රතිමා නෙළීම මේ ගමන් මඟෙහි එක් අවස්ථාවකි. එය අද වන විට මෙ රට බෞද්ධයන් ගේ ප්‍රධාන වන්දනාව බවට පත් වී තිබේ. එහෙත් පිළිම දැකීමෙන් රූප තෘෂ්ණාව ඇතිවන නිසා බුදු පිළිම වන්දනාව නො කළ යුතු යැයි විනය වර්ධන සාමාජිකයන් ගේ අදහස ය. විනය වර්ධන සංගමයේ නිර්මාතෘ අඹේගොඩගේ සුමනරත්න මහතා ලියූ ‘පරප්පවාද මථනය’ නම් පොතෙහි එය, ‘උන් වහන්සේ අප්පටිම නම් වන සේක. එහි අදහස පිළිමයක් නැත යනුයි, යනුවෙන් සඳහන් කැර තිබේ.

මේ විනය වර්ධන මතය පිළිබඳව අදහස් දක්වන වාද්දුවේ සුමංගල හිමියන් පවසන්නේ, අප්පටිම යන පාලි වචනයේ තේරුම සමානයකු නැත යන්න වුව ද සුමනරත්න මහතා අප්පටිම යනු පිළිමයක් නැත යනුවෙන් වැරැදි ලෙස වටහා ගෙන ඇති බව යි. එය පාලි භාෂාව පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැතිකම නිසා සිදු වූවක් යැයි උන්වහන්සේ සඳහන් කරති.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද මේ යෝජනාව විනයවර්ධන මතධාරියකු විසින් අප වෙත ද කිහිපවරක් ඉදිරිපත් කැර ඇති බව කිව යුතු ය. බුදුරුව සහිත පත්තර පිටු මස් එතීම සඳහා ද යොදා ගන්නා නිසා පත්තරවල බුදුරුව පළ නො කළ යුතු බව ඔහු ගේ තර්කය යි.

තම රුව ඇඳීම හෝ පිළිම නෙළීම නබි නායකතුමන් විසින් ඉස්ලාම් භක්තිකයන්ට තහනම් කැර තිබේ. එහෙත් එම නියමය කඩ කළ අන්‍ය ආගමිකයකු සම්බන්ධයෙන් ගත හැකි පියවර කුමක් ද?

කෙසේ වුව ද අපට මෙහි දී සිහිපත් වන්නේ, වක්කලිය, කම් නැත, මේ කුණු කය දැකීමෙන් ඔබට කවරනම් ප්‍රයෝජනයක් වේ ද? වක්කලී යමෙක් ධර්මය දකීනම් හෙතෙම මා දකියි. යමෙක්මා දකියි නම් හෙතෙම ධර්මය දකියි’ යන බුදු වදනයි.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]