Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
“මජ්ඣිමා පටිපදා” නමින් හඳුන්වන මධ්‍යම ප්‍රතිපදාව එය මධ්‍යම මාර්ගයක් වන්නේ අන්ත දෙකක් බැහැරලා අන්තයන් ඉක්මවා සිටින බැවිනි. පැහැදිලි කරන්න.

පිළිතුර
අධික කාමභෝගී ජීවිතයක් සඳහා පියමං තබන “කාමසුඛල්ලිකානුයෝගය” එක් අන්තයකි. එය බැහැරලිය යුත්තේ ග්‍රාම්‍ය වූ හීන පිළිවෙතක් නිසාත් අනාර්ය මෙන්ම එයින් අනර්ථයක්ම (අනත්ථසංහිතා) සිදුවන නිසාත්ය. අනික් අන්තය අත්තකිලමථානු යෝග නම් වූ දුක් අනුභවයයි. සිරුර තැවීමයි. එය දුක් සහිත මෙන්ම අනාර්යද අනර්ථකාරී ද වෙයි. මෙසේ අන්ත දුරලීම ආර්ය මාර්ගයෙහි සෑම අංගයක් කෙරෙහිම දක්නා පොදු ලක්‍ෂණයකි.


ප්‍රශ්නය
ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මතාවයට (ගැටලුවත් ඊට හේතුවත්, විසඳුම් මගත්) යටත් වූ මිනිසාට විවරණය කළ හැකි වන්නේ එම ධර්මතාවයට හසුවන දේ පමණි. එම ධර්මතාව තුළ ව්‍යාප්තව ඇති මූලික ලක්ෂණය. “ දුක” නම් (සංඛිත්තෙන පංචුප්පාදානා දුක්ඛා) (දුඞඛෙ ලොකෙ පතිට්ඨිතො ) මිනිසාට අවශ්‍ය වන්නේ එම දුක නැතිකිරීම හා නැතිකිරීමේ මගයි. මෙම සංකල්පනාව පැහැදිලි කරන්න.

පිළිතුර
ම:නි: අරියපරියෙසන සූත්‍රාගත තොරතුරු අනුව මිනිසාගේ වර්තමානය (ජාති ජරා මරණ) නොසතුටු දායක බව පවත්නා නිසා සතුටුදායක තත්වයක් ලබාගත යුතුයි’ එහෙයින් පරම සැපය අරමුණ වෙයි. (පරමං සුඛං) උපත දුක් දෙන්නක් නිසා නො ඉපදීම ප්‍රාර්ථනය වෙයි. (අජාතං) දිරායාම අසතුටට කරුණක් නිසා දිරා නොයාම බලාපොරොත්තු වෙයි. (අජරං) අව්‍යාධිය එකම බලාපොරොත්තුව වෙයි. අව්‍යාධිය මරණය අකැමැති නිසා නොමැරීම කැමැති වෙයි. (අමතං) ශෝකයෙහි ආදීනව දැනෙන නිසා ශෝකය නැති බව සෙවීම වෙයි. (අසොකං) කෙලෙස් සහිතව සිටීම නුසුදුසු නිසා නිකෙලෙස් වීම විය යුතු සුදුසුකමයි. (අසංකිලිට්ඨං) බැඳී සිටීම නොමනා නිසා නොබැඳී සිටීම ඉලක්කයි. (යොගක්ඛෙමං) මේ සියල්ල එක් වචනයකින් (නිබ්බාණං) නිවන ලෙස සඳහන්ය. මේ සඳහා කෙරෙන උත්තම සෙවීම, “අරියපරියේසනයයි “ එයම දුක්ඛ නිරෝධය වේ.


ප්‍රශ්නය
බුද්ධ දේශනාවට අනුව ගිහි සාමිචි පටිපදා යනුවෙන් සඳහන් වන්නේ. කුමක්ද? එය දේශනා කොට වදාළ අවස්ථාව පැහැදිලි කරන්න.

පිළිතුර
අනේපිඬු ගහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ගැහැවියෙනි! මෙලොව ආර්ය ශ්‍රාවකයන් (ගහපත් අරියසාවකො) පිණ්ඩපාත සේනාසන – ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකර – භික්ෂු සංඝයා වෙත පුදනට එළඹ සිටියේ වෙයි. ගෘහපතිය මෙම සතර කරුණින් පිරිපුන් ආර්ය ශ්‍රාවක යශස් ගෙනදෙන (යසොපටිලාභිනිං) සුගති සම්පත් ලැබීමට සුදුසු වෙයි. ඔවුනට දිවා රෑ දෙක්හි පින් වැඩෙයි. අං:නි: චතුක්ක නිපාත ගිහි පටි පදා සූත්‍ර)


ප්‍රශ්නය
(අංනි: සබ්‍රහ්ම සූත්‍ර)

මහණෙනි! මවුපියනට පුබ්බාචරිය (පූර්වචාර්ය) පුබ්බදේව (පූව¢රාව) ආහුන්‍යෙයති (පූජනීය) යන විශේෂතා ලෙස හඳුන්වන නාමයන් වෙයි . “ බුදුසමයට අනුව දෙමවුපියන් සුවිශේෂ නාමයන්ගෙන් විවරණය කොට ඇති නාමයන් අර්ථවත් වන අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර
බ්‍රහ්මාති භික්ඛවෙ මාතා පිතුන්නං “ මවුපියනට බ්‍රහ්ම යන නමෙකි. බ්‍රහ්ම යන්න බුද්ධ කාලීන යුගයේ ශ්‍රේෂ්ට උතුම් යන අර්ථයෙන් යෙදී ඇත. “ මහණෙනි, යම් දරු කෙනෙකුන් විසින් දෙමවුපියන් ගෘහයෙහිදී “පුදනු ලබන්නේද? ඒ පවුල බ්‍රහ්ම සහිතයහ. (සබ්‍රහ්මතානි භික්ඛවෙ තානි කුලානි)

යම් දරුවකු විසින් මවුපියෝ ගෙහිදී පුදනු ලබන්නේද ඒ පවුල “පුබ්බාචරිය” (පූර්වාචර්ය) සහාතියහ. යම් ගෘහයක පූජිත මවුපියන් වෙසේද එතැන පුබ්බදේවතා (පූර්දෙවතා) සහිතයහ. යම් දරු කෙනෙක් දෙමව්පියන් ගෘහයෙහිද පුදනු ලැබේද එතැන ආහුනෙය්‍ය සහිතයහ.

මහණෙනි! මව්පියෝ දරුවනට බොහෝ උපකාර ඇතියහ. හදනුවහ. වඩනුවහ. මෙලොව දක්වනුවහ. (බහුකාරා භික්ඛවෙ මාතා පිතරෝ පුත්තානං ආපාදකා - පොසතා – ඉමස්ස ලොකස්ස දස්සෙතාණෙති”)


ප්‍රශ්නය
අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරෙන් බහුශ්‍රැත ශ්‍රාවකයන් අතරෙන් ප්‍රධානස්ථානය සේම මනා සිහි කල්පනා ඇත්තවුන් අතරින්ද වහා අවබෝධ කර ගැනීමේ ශක්තියෙන්ද දිරිමත් ශ්‍රාවකයන් අතරෙන් ද ප්‍රධානස්ථානය ගත් ශ්‍රාවකයන් වහන්සේ කවුද?

පිළිතුර
අග්‍ර උපස්ථායක ආනන්ද ස්ථවිරයන් වහන්සේ


ප්‍රශ්නය
“මෙකුමරු පළමු හිස කෙස්වැටිය බාන කෙනෙහිම සෝවාන් විය. දෙවන කෙස් වැටිය. බාන කෙණෙහි සකෘදාගාමී විය. අනතුරුව අනාගාමී විය . හිස කෙස් බා අවසන් වත්ම රහත් විය. උන්වහන්සේ පැවිදි වූ දින පටන් මහසඟනට කැමැති තාක් සිවුපසය ලැබුණි. මෙකුමරු පැවිදි වූ පසු නම කුමක්ද? ශ්‍රාවකයාණන් වහන්සේලා අතරෙන් මුන්වහන්සේ ලැබූ අගතනතුර කුමක්ද?

පිළිතුර
දෙව්රම් වෛහෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයෙහිදි “ මහණෙනි! මාගේ ශාසනයෙහි ප්‍රත්‍යලාභීන් අතරෙන් සිවලී තෙරනුවෝ අග්‍රයහ යයි. අග්‍රස්ථානයෙහි තබා වදාළසේක.


ප්‍රශ්නය
ශ්‍රී ලංකාදීපයට බුදු දහම පැමිණීමෙන් පසුව මුලින්ම ගොඩනංවන ලද ස්ථූපය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර ථූපරාමය මහින්දාගමනයෙන් අනතුරුව ශ්‍රී‍්‍ර ලංකාවේ ඉදිකරන ලද ප්‍රථම චෛත්‍ය ථූපාරාමයයි. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන්කොට දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙම ස්ථූපයට කරවන ලදී.


ප්‍රශ්නය
බුදු සමය ශ්‍රී ලංකාදීපයට සැපැත් වුන මුල් අවදියෙහිදී ථෙරවාදයේ කේන්ද්‍රස්ථානය “අනුරාධපුර මහා විහාරයයි. පසුව ඇතිවු දේශපාලනික හා සාසනික මතවාද නිසා ඇතිවූ සිදුවීම් හේතුකොටගෙන රුහුණේ කේන්ද්‍රස්ථානය වූයේ කුමන ස්ථානයක්ද?

පිළිතුර
තිස්ස මහා විහාරය රුහුණේ ශාසනික ව්‍යාප්තිය තිස්සමහාවිහාරය කේන්ද්‍රකොට ගෙන සිදුවිය.


ප්‍රශ්නය
බුද්ධ කාලීන භාරතීය එක්තරා ආගමික කණ්ඩායමක නායකයෙකු මෙසේ කියයි. “රහත් ගුණ මා කෙරෙහි පිහිටියේය. නයින් දමනය කරන්නාවූ ඍද්ධි භවත් ගෞතමයන් කෙරෙහි පිහිටියේය. මෙම ප්‍රකාශය කවුරුන් විසින් කුමන අවස්ථාවකදී ප්‍රකාශ කරලද්දක්ද?

පිළිතුර
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උරුවෙල කාශ්‍යපයන්ගේ අසපුවට වැඩම කර ගිනිහල් ගෙය වූ විෂඝොර නාගරාජයා විෂ නැතිකොට පාත්‍රයෙහි දරණලා හොවා දමනය කොට උරුවෙල කාශ්‍යපට පෙන්වූහ. එදවස ඒ ප්‍රාතිහාර්යයෝ දැක ඉහත සඳහන් ප්‍රකාශය උරුවේල කාශ්‍යපයන් විසින් කරන ලදී.


ප්‍රශ්නය :- අසූ මහා ශ්‍රාවක චරිත අතර අග සව් තනතුරු හෙබ වූයේ සැරියුත් හා මුගලන් තෙරවරුන් ය. මීළඟට බුද්ධ සාසන වංශ කථාවේ උසස්ම තනතුර හෙවත් තුන්වැනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කවුද?

පිළිතුර :- ධූතාංගධාරීන් අතර අග තනතුර ලත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.


ප්‍රශ්නය :- පැරණිතම වාස්තු විද්‍යාත්මක තොරතුරු අතර ස්ථූප ආකෘතියකට හිමිවන්නේ විශිෂ්ට ස්ථානයකි. මෙම ආකෘති සංඛ්‍යාත්මක කොපමණ නම් වශයෙන් ද සදහන් කරන්න.

පිළිතුර
සයකි. ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, අම්ලාකාර


ප්‍රශ්නය :- ස්ථූප ආකෘති 06 කි. මේ ආකෘති අතරින් කැලණි ස්ථූපය හා ස්වර්ණමාලි මහාථූපය කුමන ආකෘතියකට අයත්ද?

පිළිතුර :- ධාන්‍යාකාර කැලණි ස්ථූපය වේ. බුබ්බුලාකාර ස්වර්ණමාලි මහ ස්ථූපය වේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.