UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයේ යථාර්ථය

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයා වූ බුදුපියාණන් වහන්සේගේ හදවතේ පැවැති පිවිතුරු බව උන්වහන්සේ ක්‍රියාවට නංවනු ලැබූ ප්‍රතිපත්ති තුළින් කදිමට පෙන්නුම් කැරේ.

රූපශ්‍රීයෙන් අගතැන් වුවත් යහපත් ගති පැවතුම් නැති පුද්ගලයාගේ ජීවිතය නිස්සාරය. පුද්ගලයා වචනයෙන් ඇතිකරගනු ලබන සංවරභාවය පුද්ගලයාගේ චරිතවත් භාවය කියාපාන කැඩපතක් බඳුය. පෙර කුසල විපාකයක් හේතුකොට ගෙන ලැබූ රූපශෝභව මිනිස්කම අවලස්සන වීමට නපුරු වදනක් භාවිතය හේතුවක් වනු ඇත. පුද්ගලයා පටු ආකල්පයෙන් සිදුකරන වැරැදි වචන හැසිරවීම ඔහුගේ දිවියම අවලස්සන කරන්නක් වේ. මිනිසා බාහිර වශයෙන් පමණක් නොව අභ්‍යන්තරික වශයෙන්ද චරිත සංවර්ධනයෙන් ලස්සන විය යුතුය.

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයා වූ බුදුපියාණන් වහන්සේගේ හදවතේ පැවැති පිවිතුරු බව උන්වහන්සේ ක්‍රියාවට නංවනු ලැබූ ප්‍රතිපත්ති තුළින් කදිමට පෙන්නුම් කැරේ. බුදුරදුන් දෙසු දහම් කරුණු පුහුදුන් බොහෝ ජනකායක්ගේ සිත් සතන් සුවපත් කරමින් ලොවම බැබළීමට පත්වූ බව නොරහසකි. එකී දහම් කරුණු ලෝවැසි ජනතාවට සදා සහනය ගෙනදෙයි. එම සදහම් මග එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට ගෙනදෙන්නේ මහත් අස්වැසිල්ලකි. පුද්ගලයා ද්වේශය මූලික කොටගෙන මුවින් පිටකරන දැඩි ආවේගශීලි වචන නිසා වෙහෙසට, අපහසුතාවයට පත් වන්නේ තමන්ම බව බෞද්ධ දර්ශනය තුළ පැහැදිලි ලෙස විග්‍රහ කර ඇත. පුද්ගලයා ප්‍රසන්නතාවයට පත්වීමට තම තමන්ගේ සිත්සතන් තුළ උපදින සිතිවිලි ඍජුවම බලපෑම් කරයි. මෙත්තානිසංස සූත්‍රයේදි මෛත්‍රි සහගතව ක්‍රියාකරන පුද්ගලයා සතු ලක්ෂණයක් ලෙස මුහුණ ප්‍රසන්න වීම දක්වනු ලැබේ. වෛරී සිතිවිල්ලෙන් පසුවන පුද්ගලයා පි‍්‍රයමනාප බව කෙමෙන් ගිලිහී යනු නිසැකය. මෙත් සිතින් පසුවන තැනැත්තා මානව හිතවාදී තැනැත්තකුද වේ.

පුද්ගලයාට වචන සංවරකරගැනීමේ වැදගත්කම පැහැදිලි කරන බෞද්ධ දර්ශනය ස්වකීය සැනසීම තමා විසින්ම උදාකරගත හැකි ක්‍රමය පෙන්වා දී ඇත. පුද්ගලයා එදිනෙදා කරන කියන කටයුතු යහපත් නම් සෞභාග්‍යමත් සමාජයක් උරුම කරගැනීමට අපහසු නොවේ. පුද්ගලයාගේ බාහිර පැවැත්ම සුන්දර විය යුත්තේ ඔහුගේ අභ්‍යන්තර ක්‍රියාකලාපයද සමගිනි. තම රූපශෝභාව ගැනම සිතමින් ඇතැම්විට අනුන් හෙළා දකින්නා මොහොතක් හෝ තමා ජරාවට පත්වන බව නොසිතීම කනගාටුදායකය. බුද්ධ කාලයේ රූපයෙන් මානයට පත්ව සිටි රූපනන්දා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්තේ වෙනස්වන ශරීරයේ අස්ථිරත්වය මෙනෙහි කිරීම තුළිනි. ලෝකයේ හටගත් සියලු දේ වෙනස්වීම ලෝක ධර්මතාවයයි. “සංචිත්තෙන පඤ්චුපාදා නක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන්නේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම දුක ගෙනෙන බවයි.ජනපදකල්‍යාණියගේ රූපයට මත්ව සිටි නන්ද කුමරුන් හේනේ දැවුනු වැඳීරි රුවත්, ජනපදකල්‍යාණියගේ රුවත් සමාන ලෙස දකිමින් ජීවිතාවබෝධය ලැබුවේ බුදුරජාණන් වහන්සේ යථාර්ථය පසක් කරදීමෙන් අනතුරුවය. පුද්ගලයා බාල අවධිය ගෙවමින් තුරුණුවියටත් මැදිවියටත්, මහලුවියටත්, පත්වන්නේ අනිත්‍යතාව නිසාමය. එකී ධර්මතාවය මොහොතක් හෝ නොසිතීම මුලාවකි. ලොව පවතින අනිත්‍ය වු ධර්මතාවය නිරතුරුව මෙනෙහි කළ යුත්තකි.

කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ

යනුවෙන් පුද්ගලයාට පසක් කැර සිටින්නේ පංචඋපාදානස්කනධයේ අනිත්‍යතාවයම නොවෙද? දුක්ඛිත භවගමන පුද්ගලයා ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ අවිඳු අඳුර දුරු නොකල නිසාවෙනි. එබැවින් කෙලවරක් දැකිය නොහැකි සසර ගමන කෙටිකර ගැනීම උදෙසා ධර්ම මාවත කරා එළඹීමට කටයුතු කිරීම පුද්ගලයාට සැනසිල්ල උදාකරයි. රූප මදයෙන් මත් නොවී අනිත්‍යතාවය මෙනෙහි කරමින් සිතිවිලි පවිත්‍ර කර ගැනීමට පුද්ගලයා උත්සාහ කළ බව මින් මනාව වැටහේ. අසහනකාරීත්වයෙන් මිදී සැනසිලිදායක ජීවිතයක් පුද්ගලයාට උදාකර ගත හැක්කේ යහපත් සිතිවිලි වල පිහිටා කටයුතු කරන විට පමණකි.

සසර තුළ අනෙක සැප පුහුදුන් පුද්ගලයාට ලැබෙන විට පුද්ගලයා තුළ කෙළෙස් වර්ධනය වෙයි. ධන ධාන්‍ය ආඩ්‍ය වූ පමණින් ජීවිතය තුළ තෘප්තියක් ලද නොහැකිය.

බෞද්ධ දර්ශනය පුද්ගලයාගේ දුකට පිළියම් යෙදූ සත්‍යය දර්ශනයකි. ඒ අනුව යහපත්ව ජීවිකාව පවත්වාගෙන යමින් ජීවිතය අර්ථාන්විත කරගැනීමේ හැකියාව පුද්ගලයාට ඇත. පුද්ගල සිත් සතන් දහමින් පෝෂණය වන විට ක්ලේශ ධර්ම යටපත් වීම සිදුවේ. එතුළින් පුද්ගලයා පවිත්‍රත්වයට පත් වෙයි. පාපයෙන් දුරස්තව කටයුතු කරන පුද්ගලයාගේ ජීවිත අභ්‍යන්තරය සේම මතුපිටද සුන්දරය.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]