Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර කතරෙන් එතෙර වන්නට....

වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයක් අපට ලැබී ඇත. ඒ වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයෙන් අපි ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. සිත කුසලයට යොමුකරන්න ඕන. නැවත සතර අපායට වැටුනොත් කල්ප ගණනාවක් යනතුරු එයින් අත්මිදෙන්න ලැබෙන්නෙ නැහැ.

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කිචෙඡා මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිචෙඡා බුද්ධානං උත්පාදොති

කාරුණික පින්වත්නි,

ඉහත ගාථා රත්නය අයත්වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ බුද්ධ වග්ගයටයි. එම ගාථාවේ සරල අදහස වන්නේ මිනිසත් බව ලැබීම අපහසුය. මිනිසුන්ගේ දිවිපැවැත්ම අපහසුය. බණ ඇසීම දුෂ්කරය, බුදුවරුන්ගේ ඉපදීම දුෂ්කරය යනුවෙනි. මෙම ගාථාරත්නය ඒරකපත්ත නම් නාගරජු අරබයා බුදුරජාණන්වහන්සේ දේශනා කළසේක.

කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනයේ උපසපන් භික්‍ෂුනමක් සිටියහ. දිනක් මෙම භික්‍ෂුව ගඟකින් එතෙරවීමට ඔරුවට නැගීම සඳහා අසල තිබූ රුක් ගසක අත්තක අල්ලා ගත්තා. හදිසියේ ඔරුව පාවී යාම නිසා අත්තත් කොළයත් භික්‍ෂූව අතින් කැඩුණා. මෙය උපසපන් භික්‍ෂුවකට ඇවතක්. ඇවැත් දෙසාගන්න අමතක වුනා. මරණාසන්න අවස්ථාවේ තමන් අතින් වූ ඇවත මතකයට ආවා. ඇවැත් දෙසා ගැනීමට උපසපන් භික්‍ෂූවක් සිටියේ නැහැ.

මෙම භික්‍ෂූව අපවත්වීමෙන් පසු ඒරකපත්ත නම් නාග රජුවී උපන්නා. ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරණ අවස්ථාවේ එම නාග රජු දුටුවා. නාගරජු තිරිසන් ආත්මයෙන් අත්මිදවීමට හැකි බව දුටු බුදුරජාණන් වහන්සේ නාග රජු සිටින ආසන්නයේ මහරීගසක් මුල වැඩ සිටියා. උත්තර නම් මානවකයාගෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව දැනගත් නාගරජු බුදුන් වහන්සේ බැහැදුටුවා. බුදුරජාණන් වහන්සේ නාගරජුට ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළා. නාග රජු මානවක ආත්මයක් ලැබ සෝවාන් ඵලයට පත්වුනා .

මාතෘකා කළ ගාථාවේ සඳහන් වන පරිදි කිච්ඡෝමනුස්ස පටිලාභෝ “ යනු මනුස්ස ආත්මයක් ලැබීම ඉතාම දුර්ලභ සිදුවීමක්. යම් කුසල කර්මයකින් මනුෂ්‍ය ආත්මයක් ලැබූ පුද්ගලයකුට නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීමේ දුර්ලභතාවය . බුදුරජාණන් වහන්සේ මෙසේ උපමාවකින් වදාළ සේක. දිනක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ හමුවේ නියට පස් ස්වල්පයක් ගෙන මෙසේ ප්‍රශ්න කළා.

මහණෙනි! මගේ මේ නියපිට තිබෙන පස් ප්‍රමාණයද වැඩි පොළොවේ තිබෙන පස් ප්‍රමාණයද? ස්වාමීනි! ඔබ වහන්සේගේ නියපිට ඇත්තේ ඉතා සුලු පස් ප්‍රමාණයක්. පොළොවේ විශාල පස් ප්‍රමාණයක් තිබෙනව යැයි භික්‍ෂූන් වහන්සේ පිළිතුරු දුන්න. මහණෙනි! මනුෂ්‍ය ආත්මයක් ලැබූ අයෙක් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ මගේ නියපිට තිබෙන පස් මෙන් ඉතා සුලු ප්‍රමාණයක්. පොළොවේ පස් ප්‍රමාණය මෙන් විශාල සත්ව කොටසක් සතර අපායේ උපදිනව. බුදුරජාණන්වහන්සේ දේශනා කළා.

ඇස, කන, නාසය, දිව, ශරීරය ආදි පසිඳුරන්ට වහල් වීමෙන් ඉඳුරන් පිනවීම සඳහා මිනිසා දිවා රෑ දෙකේම වෙහෙසෙනවා. පසිඳුරන් පිනවීමේ දැඩි තෘප්තිය නිසා අනන්ත වූ කෙළෙස් සම්භාරයක් ගොඩගසාගන්නව. මරණ මොහොත දක්වා ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන්ට නතුවී සිත, කය, වචනය යන තිදොරින්ම අකුසල් පුරවාගන්නව. මේ නිසා ඔහුට සහේතුක කාමාවචර කුසලයක් සිතට නගාගන්න බැහැ. එවැනි කුසල සිතක් උපදවා ගැනීම කණ කැස්බෑව වියසිදුරින් අහස දකින්නා වගේ දුර්ලභ කාර්යයක්.

මුහුදේ එහාට මෙහාට පාවෙන වියදඬුසිදුරින් කනකැස්බෑව සමහරවිට අහස දකින්න පුලුවන්. නමුත් අකුසල මූල සිත් පොදි බැඳගන මියයන මිනිසාට නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීම ඊටත් වඩා දුර්ලභ කාර්යයක්. බුද්ධෝත්පාද කාලයක ඉපදීම ඉතාම දුර්ලභ කරුණක්. ඊට වඩා දුර්ලභ කරුණක් වන්නේ ඇස්, කන්, නාසාදියේ අංගවිකල බවක් නොමැතිව ගොලුවෙක්, බිහිරෙක්, කොරෙක් නොවී ඉපදීමය. දෙව්ලොව හෝ බඹලොව ඉපදීමටත් වඩා මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුර්ලභයි.

වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයක් අපට ලැබී ඇත. ඒ වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයෙන් අපි ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. සිත කුසලයට යොමුකරන්න ඕන. නැවත සතර අපායට වැටුනොත් කල්ප ගණනාවක් යනතුරු එයින් අත්මිදෙන්න ලැබෙන්නෙ නැහැ. “කිච්ඡං සද්ධම්ම සවණං” අනෙක් දුර්ලභ කාරණය තමයි ධර්මශ්‍රවණය කිරීම, මේ කාලයේ බණ අහන්න ඕන තරම් තියනවා. පහසුවෙන් බණ අහන්න ලැබිල තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනය තිබෙන නිසා. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව නොසිටියත්, උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නොනැසී පවතිනව.

සාරිපුත්ත, මොග්ගල්ලාන, ආදි ශ්‍රාවකයින් වහන්සේලා ඇතිකළ සංඝ ශාසනය නොනැසී පවතිනව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ත්‍රිපිටක වශයෙන් පර්යාප්ති ධර්මය අප රටේ සුරක්‍ෂිතව තිබෙනව. මේ නිසා මේ කාලයේ පහසුවෙන් අපට බණ අහන්න පුළුවන්. ඒ වාසනාව ලැබී තිබෙන්නේ අප සසර කළ කුසල් බලයට බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලැබීමයි.

දහම් රසයට ලොල් වූ අයට කෙතරම් දහම් ඇසූවත් ඇතිවන්නේ නැහැ. කාළ බුද්ධරක්ඛිත නම් තෙරුන්වහන්සේ කලු දිය පොකුණ ළඟ ධර්ම දේශනා කරනව. සද්ධාතිස්ස රජතුම බණ අහන්න ආව. රජතුමා පැමිණීමට ටිකක් ප්‍රමාද වුනා.රජතුමා පැමිණෙන විට බණ අහන පිරිස එක්තැන්වෙලා ඉඩකඩ ඇහිරිලා. “තමන්ව දුටුවොත් පිරිස නොසන්සුන් වෙතැ”යි රජතුමා සිතුව. රජතුමා නිසොල්මන්ව පැත්තකට වෙලා බණ ඇසුව. දේශකයාණන් වහන්සේ රජතුමාව දුටුවේ බණ අවසන්වූවාට පසුවයි. තෙරුන්වහන්සේ රජතුමාගෙන් අහනව “රජතුමනි, ඔබ දැන්ද පැමිණියේ ? ස්වාමින් වහන්ස, මා පැමිණියේ ඔබ වහන්සේ බණ පටන් ගන්නා අවස්ථාවේ “ රජතුමා කියනව. “ඔබතුමා එලිවනතුරු හිටගෙනද සිටියේ? “යැයි තෙරුන්වහන්සේ අහනව රජතුමා කියනව “ ස්වාමින් වහන්ස, එළිවනතුරු හිටගන උන්නද කියල . මට තේරුනේ නැහැ. ඒ තරම් මට බුදුබණ රසවත්, ස්වාමින් වහන්ස, තවත් බුදුගුණ තිබෙනවද?” බුදු බණ රසය ලැබූ අය එය සොය සොයා යනව. දහම්සොඬ රජතුමා තම ජීවිතයට වඩා එක බණ පදයක් අගය කළා. තම ජීවිතය පූජාකර එක බණ පදයක් අහන්න දහම් සොඬ රජතුමා රකුසාගේ කටට පැන්න.

බුද්ධෝත්පාද කාලයක නිර්මල බුදුදහම තිබෙන ශ්‍රී ලංකාව වැනි රටක, අපට ඉපදීමට ලැබී තිබෙන්නෙ අපේ වාසනාවට. බුදුදහම නැති රටවල අයට බණ අහන්න ලැබෙන්නේ නැහැ. අඳ ගොලු, බිහිරි අයටත් බණ ඇසීමෙන් ප්‍රයෝජන ගන්න අපහසුයි. අපට කලාතුරකින් ලැබුනු මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන නොගතහොත් නැවත කල්ප ගණනාවක් සතර අපායෙ දුක් විඳින්න වෙනව.

අනෙක් කරුණ ‘කිචෙඡා බුද්ධානං උත්පාදෝ” බුදුවරයින් වහන්සේ නමක් ලොව පහළවීම ඉතාම දුර්ලභයි. බුද්ධරාජ්‍යයට පත්වීමට කල්ප කෝටි ගණනක් පාරමිතා පුරන්න ඕන. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සතු සියලු වස්තුව දන්දීල වනගතව තවුස්දම් රැක්ක. තමන් වහන්සේගේ ශරීරයේ කොටස් දන් දුන්න. මුලු ශරීරයම දන් දුන්න.

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන්නේ සසරේ අනන්ත දුක්විඳිමින් පුරන ලද පාරමිතා නිසයි. එබැවින් ඔබට ලැබුණු මේ මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.