Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඒකීය උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය ජූනි 24 වන දා සවස 03.30 ට කඳාන වල්පොල විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙනේ දී

සසුනේ පැවැත්මට මහත් රුකුලක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය ශ්‍රී ලංකාද්වීපය පමණක් නොව ලෝක බෞද්ධ ජනතාව අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත් වූයේ සියලු ආගමික බැතිමතුන්ගේ ආශිර්වාදයද ලබාගනිමිනි. එයින් ජාතික සමගිය මෙන්ම ආගමික සහජීවනයද දසත පැතිරීගිය බව නොරහසකි.

බෝධිසත්ව ගුණෝපේත අඹගහපිටියේ ඤාණවිමලතිස්ස මහනාහිමියන් විසින් ක්‍රි.ව. 1803 දී පමණ ආරම්භ කරන ලද අමරපුර මහා නිකාය විවිධ හේතූන් පදනම් කොට පාර්ශ්ව ගණනාවකට බෙදී ගොස් අද වන විට 22 ක් දක්වා වර්ධනය වී තිබේ. එනමුදු වසර 60 කට සමීප කාලපරාසයක් තුළ එකී සියලු පාර්ශව එකමුතු වී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නා ලදුව ගුණ වෘද්ධ තපෝ වෘද්ධ මහා යතිවරයන්ගේ මඟපෙන්වීම නිසා උදාර සසුන් මෙහෙවරක් ඉටු කරන සඟ පිරිසක් බිහි වී සිටිනු දැක්ම සතුටට කරුණක්.

මෙවර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අමරපුර නිකායික සියලු පාර්ශව ඒකරාශි වී ඒකීය උපසම්පදාවක් සිදු කිරීමට තීරණය කිරීම සසුනේ පැවැත්මට මහත් රුකුලක් වේ.

උතුම් සසුන් මෙහෙවරට අතදුන් ගිහි පැවිදි සියලු දෙනාට මා පුණ්‍යානුමෝදනා කරන අතර මෙවර උපසම්පදා භූමියට සැපත් වන සියලු ආයුෂ්මතුන් වහන්සේලාටම සසුන් වැඩ වඩන්නට නිදුක් නීරෝගී දිගාසිරි සම්පත් ලැබේවායි ආශිර්වාද කරමි.


උපසම්පදාව යනු සීලයෙන් උසස් බවට පත් කිරීමය

බුදුරජාණන් වහන්සේ සඟ සසුන ආරම්භ කිරීමෙන් ශාසන දායාදය සකල ලෝකවාසීන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගත් සේක. පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ සඟ සසුන කෙමෙන් ව්‍යාප්ත බවට පත්ව ලොව පුරා අද කෝටි සංඛ්‍යාත ජනකායකට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන භික්ෂු පිරිසක් බවට පත්ව ඇත. ඒ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රමවත් සංඝ ජීවිතය ආරම්භ වන්නේ විසි වසක් පිරීමෙන් පසු පත්වන උපසම්පදාවේ දී ය. උපසම්පදාව යනු සීලයෙන් උසස් බවට පත්කිරීම ය. වචනයෙන් ඒ සිල්වත් වීම එක්කම ගුණවත්කම ද ඇතිකර ගත යුතුය. සීලයෙන් ගුණයෙන් සහ ත්‍රිපිටක ධර්මය සහිත විශ්ව දැනුමෙන් සමන්විත ඒ යතිවරයාණන් වහන්සේට කිසිදු ගිහියකුට නො කළ හැකි තරම් අසිරිමත් මහ මෙහෙවරක් ලෝකයා වෙනුවෙන් සලසා ලිය හැකි ය. පෙරදිග ඉන්දියාව ඇතුළු ආසියාතික රට රාජ්‍යවල රාජරාජ මහාමාත්‍යාදීන් පවා බිහිවූවෝ ඉහත කී පරිදි සිල්වත් ගුණවත් දැන උගත් භික්ෂූන් වහන්සේලාගේ ඇසුරෙන් බව ඓතිහාසීය වාර්තාවන්ගෙන් පැහැදිලි වන්නේ ය.

මේ භික්ෂු භාවයට අවශ්‍ය මූලික අංගය උපසම්පදා සීලයයි. ඒ උපසම්පදා සීලය ලද භික්ෂූන් වහන්සේ තම ජීවිතය හා සමාන කොට මේ උතුම් උපසම්පදාව රැකගත යුතුය. උපසම්පදා ශීලය නැතිකර ගතහොත් සිවුරෙන් සැරසී සිටියද හෙතෙමේ පැවිදි බවින් තොර පුද්ගලයෙක් වන්නේ ය. ජනතාවගෙන් ලබන සිව්පසටද ණයකාරයෙක් වන්නේ ය. අංගුත්තර නිකායේ එන අග්ගික්ඛන්ධෝපම සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ මේ බව පැහැදිලි කොට තිබේ. එබැවින්, තමන් ලබාගන්නා උපසම්පදා සීලය සතරපාරාජිකා ශික්ෂාපද යටතේ රැකවරණය ලබා සිටී. ඉන් අනතුරුව සංඝාදිසේස යයි තවත් ශික්ෂාපද දහතුනකි. සතර පාරාජිකා ඇතුළු සංඝාදිසේස ශික්ෂා පද දහතුන රැක ගැනීමෙන් කෝටියක් සංවර සීලය ගොනු කරගත හැකිය. එනිසා පමණට වඩා වෙහෙස මහන්සි විය යුතු නැත. සතර පාරාජිකා ධර්ම මුදුන්හි තබාගෙන ආරක්ෂා කරන විට සංඝාදිසේස ඇතුළු අනෙකුත් ශික්ෂා පදයන්ද සුරැකෙන ස්වභාවක් පෙන්වා ඇත.

අපේ ගරු සාමණේරයාණන් වහන්සේලා දැන උගත් තරුණ පිරිසක් බැවින්, ශරීර ශක්තිය ඇති විසි වයසේ පසුවන බැවින් තව තවත් අධ්‍යාපනය දියුණු කොට ගෙන සුපේශල ශික්ෂාකාමී සඟ පිරිසක් බවට පත්ව බහුජන හිත පිණිස කටයුතු කිරීමෙන් නිවන් මාර්ගය ද සලසා ගත යුතුය. උපසම්පදා සීලය ලබන අද දවස තම ජීවිතයෙහි අනුස්මරණිය දිනයක් වශයෙන් නිතර සිහියේ තබාගත යුතුය. උපන් දිනයත් පැවිද්දට පත් වූ දිනයත් උපසම්පදාව ලබාගත් දිනයත් ජීවිතාන්තය දක්වා සැම විටම සිහියේ තබාගත යුතු අනුස්මරණීය කරුණු තුනක් බව ධර්මයෙහි දක්වා ඇත. ඒ අනුව අද ලබන මේ උසස් උපසම්පදා සීලයෙන් බැබැළීමට පත්ව දෙවියන් සහිත ලෝකයාට අපිරිමිත සේවාවක් ඉටු කිරීමට අපේ නවක උපසම්පදා භික්ෂූන් වහන්සේලා අධිෂ්ඨාන කර ගනිත්වා! එවිට නිවන ද අත ළඟය.


අමරපුර උදාව

විශාල යුද සංග්‍රාමයකින් පසු මුළු මහත් ඉන්දියාවම එක්සේසත් කරන ලද්දේ ධර්මාශෝක අධිරාජ්‍යයාණන් විසිනි. ඒකච්ඡත්‍ර කළ ඉන්දියාව මනා පාලනයක පිහිටා ආදර්ශවත් අධිරාජ්‍යයක් බවට පත් කරන ලදී. ඉන්පසු අධ්‍යාත්මික සංග්‍රාමයකටද හැරුණු අශෝක අධිරාජ්‍යයා බුදුසමය වැළඳගෙන මෙම අනගි පණිවිඩය ලෝකයාට බෙදාදීම සඳහා භේද භින්න වූ භික්ෂූන් ද සමගි කොට මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන්වෙනි සංගායනාව පවත්වා ශාසනයද චිරස්ථායි කරන ලදී. එසේ කොට බුදුමය ලෝකයාට බෙදා දීම සඳහා ප්‍රබල නායකත්වයකින් යුත් පිරිසක් ඉරාකය, ඉරානය , ගී‍්‍රසිය යන ප්‍රදේශවලටත් ලංකාව, බුරුමය වැනි තදාසන්න ප්‍රදේශවලටත් ධර්ම දූතයන් වහන්සේලා මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිටත් කරන ලදී. මේ ධර්ම දූතයන් වහන්සේලා කණ්ඩායම් අතරින් සුවිශේෂි වූ කණ්ඩායමක් වූයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහ රහතන්වහන්සේ ලංකාවට පිටත්කර එවීමයි. ඒ පිරිස රාජ්‍ය ගෞරව සහිත ව ලක්දිව පාලකයා වූ දේවානම් පියතිස්ස රජතුමා පිළිගෙන බුදුදහමත් සංඝ ශාසනයත් ලක්දිව ව්‍යාප්ත කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියාකළ අතර තමන්ද එම දහම වැළඳගෙන සියලු පහසුකම් සැලසී ය. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩිදින සිට තමන් වහන්සේ වැඩම කළ කාරණය මැනවින් තේරුම් ගෙන අපවත්වන තුරු මෙහිම විසූහ. උන්වහන්සේ ගේ ඤාණයේ මහිමය දේවානම් පියතිස්ස රජතුමා ඇසූ ප්‍රශ්නයට දුන් මේ පිළිතුරෙන් මනාව ප්‍රකට වේ.

රජතුමා -
ස්වාමිනි දැන් ලක්දිව බුදු දහම පිහිටියේ ද?

මිහිඳු මහරහතන් වහනසේ -
නැත මහරජතුමෙනි

රජතුමා -
එසේනම් ස්වාමීනි කුමක් කළ යුත්තේ ද?

මිහිඳු මහරහතන් වහන්සේ -
මේ රටේ උපන් කෙනෙක් පැවිදිව බුදුදහම ඉගෙන ගෙන මේ රටේ භාෂාවෙන් ධර්මය දේශනා කළ දවසට බුදුදහම මෙරට පිහිටන්නේ ය.

ඒ සඳහා අරිට්ඨ කුමරු පැවිදි කොට හෙළ බසින් බුදුදහම දේශනා කළහ. මේ සංවාදයෙන් උන්වහන්සේගේ් දුර දක්නා නුවණ මනාව පැහැදිලි වේ. ලක්දිව කුල පුත්‍රයින් මහණ වී අස්සක් මුල්ලක් නෑර ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කෙරිණි.

ක්‍රි.පූ. 3 වෙනි සියවසේදී මේ ඓතිහාසික ඓශ්චර්ය සිද්ධිය අනුරපුර, පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ යුගවලදී මුල් නොසිදෙන පරිදි පැලවී දසත සුවඳ විහිදී ගිය හ. මේ ශාසනික ව්‍යාපාරය සඳහා ලක්දිව දී කිසිදු භේදයක් බලපෑවේ නැත.

මහනුවර යුගය වනවිට දේශීය බලපෑම්, දේශීය වියවුල්, භික්ෂූන් අතර ඇති වූ අසංවර වාදභේද නිසා දකුණු ඉන්දියානු බලපෑම් කෙතෙක් වී දැයි කියතොත් නායක්කර් වංශික දෙමළ සම්භවයක් ඇති රජවරු මහනුවර රාජ්‍යත්වයට පත් විය. ඒ බව මනාවට ඔප්පු වන කරුණක්නම් ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ දී ඉංගී‍්‍රසින් සමඟ අත්සන් කළ උඩරට ගිවිසුමේ දී කන්ද උඩරට සිංහල නිලමේවරු වැඩි දෙනෙක් අත්සන් තබා ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙන් වීම යි. මෙහි ප්‍රතිඵලය වූයේ භික්ෂූ ශාසනයේ පිරිහීම යි. මේ පිරිහීම නතර කර ගැනීම සඳහා වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සිල්වත් සමාගම ප්‍රබල විය. ඒ සඳහා කිසිදු උස් පහත් හෝ කුලමල භේදයක් මෙයට බලපෑවේ නැත. කන්ද උඩරට නායක්කාර රජතුමාගේ අනුග්‍රහයද ඇතිව සියම් දේශයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා වැඩමවා විසුන්ගාම සීමාවේදී උපසම්පදා විනය කර්මයක් සිද්ධකොට අසරණ සරණ සරණංකර නාහිමි, සිටිනාමළුවේ ධම්මජෝති නාහිමි, ප්‍රධාන පිරිස උපසම්පදා කළහ. දැන් ලක්දිව භික්ෂූ ශාසනයට ආලෝකයක් පහළ විය. ලක්දිවදීම වාසනාවන්ත පැවිදි උපසම්පදා වීමට කැමති හැමදෙනාටම ශාසනික දායාදය ලැබිණි.

සංඝරාජ පදවිය වැලිවිට අසරණ සරණ සරණංකර නාහිමියන් වහන්සේට පැවරීමෙන් ලක්දිව අමුතුම ජන ප්‍රබෝධයක් හා පිබිදීමක් ඇතිවිය. මාතර බෝවල ධම්මානන්ද නාහිමියන් වහන්සේ විසින් අඹගහපිටි විහාරයේ අකුරු කරමින් සිටි වාසනාවන්ත ළමයෙකු දැක ඒ ළමයා ගුරුවරයාගෙන් හා දෙමාපියන්ගෙන් අවසර ලබාගෙන මහනුවරට ගෙනැවිත් සංඝරාජ නාහිමියන් වහන්සේ ලවා වැලිතර ක්‍දාණවිමල නමින් මල්වතු විහාරයේදී පැවිදි කරන ලදී. ක්‍දාණවිමල සාමණේරයන් වහන්සේ පැවිදිව ඉතා ගුණ ගරුකව බණ දහම් ඉගෙන ගෙන මල්වතු විහාරයේම වැඩ සිටියහ.

මේ ශාසනික ප්‍රබෝධය හා සිංහල ජනතාව අතර ඇතිවූ සමඟිය නායක්කාර් වංශික රජතුමා දැක්කේ කවදා හෝ මේ බලවේගයම විදේශීය අපට එරෙහිව නැගී සිටිනු ඇත යනුවෙනි. රාජතාන්ත්‍රික උපක්‍රම වශයෙන් බෙදා පාලනය කිරීමේ න්‍යාය අනුගමනය කරමින් පළමුකොට ශක්තිමත් සංස්ථාවක් වූ භික්ෂූ සංස්ථාව බෙදිය යුතු යැයි යටි හිතේ ධාරණය කර ගනිමින් මහනුවර කතිකාවත රජතුමාගේ බලපෑමෙන් සවිමත් කර ගත්හ.

වැලිතර ඤාණවිමල සාමණේරයන් වහන්සේ විසිවස් සම්පූර්ණ වීමෙන් පසු තම බලාපොරොත්තු හරි නොයන බව දැක අඹගහපිටි මහවිහාරයට වැඩ එම ප්‍රදේශයේ ශාසනික කටයුතු මනාව සිදු කිරීම නිසා ප්‍රදේශවාසීන් බලවත් පැහැදීමකට හා බැඳීමකට පත්විය. මේ අවස්ථාවේදී අප අමතක නොකළයුතු කාරණයක් තමයි පෘතුගී‍්‍රසි, ලංදේසි, ඉංගී‍්‍රසි තරගයට ලක්දිව ආක්‍රමණය කිරීම.

මේ කාලය වන විට ලක්දිව මුහුදු බඩ පළාත් සම්පූර්ණයෙන් පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. මේ නිසා මුහුදුබඩ පළාත්වල තරගකාරී වෙළෙඳ ව්‍යාපාරය නිසාත් යුරෝපීයන්ට අවශ්‍ය වූ කුරුඳු නිසාත් විශාල දේශීය ශක්තිමත් මුදලි මුහන්දිරම් පිරිසක් බිහිවිය. එහි ප්‍රධානත්වය දැරුවේ වැලිතර මහකප්පින්න වලව්වේ මහා මුදලිදු රාජපක්ෂ මැතිදු ය. අඹගහපිටිය මහවිහාරය ආසන්නයේ වූ මේ වලව්වේ මුදලිතුමා වැලිතර ක්‍දාණවිමල ස්වාමින්වහන්සේගේ කැපකරු දායක මහතෙකි. සාකච්ඡාවේ යෙදුනු මහ මුදලිතුමා ස්වාමිනි, මගෙන් ඔබ වහන්සේට ඉටුවිය යුත්තේ කුමක්දැයි විමසීය. සාමණේරයන් වහන්සේ මුදලිතුමනි, උපසම්පදාව නොලැබීමෙන් මහණකම අසම්පූර්ණ වෙයි. ඒ සඳහා උපකාර කරන්න. රාජපක්ෂ මහ මුදලිතුමා හම්බන්තොට සිට පුත්තලම දක්වා වූ මුදලිවරු කැඳවා සාකච්ඡා කොට ක්‍දාණවිමල ස්වාමින් වහන්සේට විදේශීය ථෙරවාදි රටකට ගොස් උපසම්පදා වී නැවත පැමිණීමට අවශ්‍ය කරන සියලුම මුල්‍යමය පහසුකම් සපයා උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සාමණේරවරු පස්නමක් බෝවල ධම්මානන්ද නාහිමියන්ගේද සංදේශයක් ඇතිව බුරුම රටට (මියන්මාර්) රුවල් නැවකින් පිටත්කර යවන ලදී. මේ දූත පිරිස බුරුම රජතුමා ගෞරවෙයන් පිළිගෙන ඤාණසේනාධිපති බුරුම සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා කරවා වසර තුනක් බණ දහම් පුහුණු කර ක්‍රි.ව. 1802 දී ලක්දිව කොළඹ වරායට ගොඩ බැස්සහ.

කොළඹ සිට වැලිතර දක්වා මෝදර ගල්කිස්ස, රත්මලාන, කළුතර, අළුත්ගම ආදී ප්‍රදේශවලදී විශාල ජන ගංගාවක් සමඟ පිළිගැනීම සිදුකරන ලදී. මේ නිසා ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයාත් මහනුවර නායක්කාර් වංශික රජතුමාත් මහත් කලබලයට පත්විය. මහනුවර නායක්කර් වංශික රජතුමාගේ ඉල්ලීම පරිදි ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා විසින් උන්වහන්සේගේ ශාසනික ව්‍යාපාරය තහනම් කරන ලදී. එම තහනම් නියෝගයට විරුද්ධව ඉංගී‍්‍රසින්ට විරුද්ධව ලක්දිව ඇතිවූ ප්‍රථම වැඩ වර්ජනය වූයේ ඉංගී‍්‍රසින්ට විශාල ආදායමක් ගෙන දුන් කුරුඳු දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජනයයි. ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා කලබලයට පත්විය. බ්‍රිතාන්‍ය වෙළෙඳ සංගමයද ආණ්ඩුකාර වරයාට දොස් පැවරීය. වැලිතර මහාකප්පින්න වලව්වේ රාජපක්ෂ මහා මුදලිතුමා කොළඹ ආණ්ඩුකාර නිවසට කැඳවා වැඩ වර්ජනයට හේතු විමසීය. මහ මුදලිතුමා ප්‍රකාශ කළේ ආණ්ඩුකාරතුමා පහත රට වැසියන්ගේ ආගමික නිදහස නැතිවන පරිදි ක්‍දාණවිමල තිස්ස මාහිමියන්ගේ ශාසනික සේවයට පැනවූ නියෝගය මෙයට හේතු වූ බවයි. එම නියෝගය තහනම් කොට උන්වහන්සේට කැමති පරිදි ශාසනික සේවය ගෙනයෑමට ආණ්ඩුකාරවරයා ලිඛිත ලියවිල්ලක් නිකුත් කළේ ය. (එම ලියවිල්ල අඹගහපිටිය පුස්තකාලයේ ඇත)

ජනතාවත් මහමුදලිතුමාත් එකතුව විශාල පෙරහැරකින් හා උත්සවයකින් බලපිටියේ මාදුනදියේ උදකුක්ඛෙප සීමාව සම්මත කොට ක්‍රි.ව. 1803 දී ශාසනික විනය කර්මයක් සිදු කරන ලදී. මෙහිදී සුදුසුකම් ලත් ලාංකික සියලු වාසනාවන්ත පැවිදි පිරිස් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. මේ සිදුවීම පිළිබඳව මහාරට්ට ගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනායක මාහිපාණන් වහන්සේ සටහන් තබා ඇත්තේ දෙවෙනි වර ලක්දිව බුදු සසුන ජනසතු කිරීම වශයෙනි. (එම සටහන අඹගහපිටිය පුස්තකාලයේ ඇත) මේ ශ්‍රී‍්‍ර ලංකා අමරපුර නිකාය බිහිවීම නිසා කතෝලික මිෂනාරි ව්‍යාපාරික 50% ක් අඩු විය. බෞද්ධ උගතුන් සිල්වතුන් ග්‍රන්ථ කතුවරුන් මිෂනාරින්ගෙන් බේරා ගැනීම සඳහා වාදීභ සිංහයන් බිහිවූයේ ක්‍දාණවිමල තිස්ස නාහිමියන් වහන්සේ ආරම්භ කළ ශාසනික ව්‍යාපාරය නිසාය. එයට හොඳම නිදසුන පානදුරාවාදයයි.

අමරපුර මහනිකාය මගින් ලක්දිව විවිධ දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන පිහිටුවා කිසිවෙක් නොයන පැරණි විහාරස්ථාන ආරක්ෂා කරමින් ශාසනයට කැපවූ භික්ෂූන් වහන්සේලා දොළොස් දහසකට ආසන්න පිරිසක් දේශීය විදේශීය වශයෙන් වැඩ සිටිමින් ශාසනික සේවයේ යෙදීම ශාසනයට මොනතරම් භාග්‍යයක් ද?

වර්තමානයේදී පාර්ශ්ව 22 කින් සමන්වීත ඇත්තේ පාලන පහසුව සඳහා ය. ඒ ඒ පාර්ශ්ව පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නම් ද තබා ගෙන ඇත.

ඇසුරු කළ ග්‍රන්ථ

1. මහාචාර්ය කොටගම වාචිස්සර නාහිමියන්ගේ සංඝරාජ සමය

2. අඹගහපිටිය මූලමහා විහාර පුස්තකාලයේ ඇති ලියවිලි


උපසම්පදා මහෝත්සවය

බුරුම රට අගනුවර වූ අමරපුරයට වැඩමවා උපසම්පදාව ලබා මෙරටට වැඩමකළ අඹගහපිටියේ ඤාණවිමලතිස්ස නාහිමි ප්‍රධාන පිරිස ක්‍රි.ව. 1803 දී බලපිටියේ මාදුගඟේ උදකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදා විනය කර්මයක් පැවැත්වීමෙන් අමරපුර නිකායේ සමාරම්භය සිදුවූ බව සසුන් ඉතිහාසයෙහි සටහන්ව තිබේ. තදනන්තරව 1806 දී බෝගහපිටියේ ධම්මජෝති හිමිද, 1897 දී අත්තුඩාවේ ධම්මරක්ඛිත හිමිද, 1808 දී කපුගම ධම්මක්ඛන්ධ හිමිද, එමෙන්ම කතළුවේ ගුණරතන හිමිද බුරුම රටට වැඩමවා උපසම්පදාව ලබා මෙරටට වැඩමකොට අමරපුර නිකායේ ඉදිරි ගමනට දිරි දුන්හ.

පසු කලෙක සීමා සංකරවාදය වැනි ප්‍රශ්නත්, කුලමල භේද හා පදවිඨාතාන්තර ප්‍රශ්නත් අරබයා භික්ෂූන් අතර මතභේද පැන නැගුණි. 1841 පළමු භේදය දක්නා නමුදු 1876 අමරපුර සද්ධම්මයුක්තික මාතර නිකාය බිහිවීමෙන් පැහැදිලි බෙදීමක් දිස්විය. එනමුදු විනය පිළිබඳ ප්‍රශ්නයක් මත පළමුවරට අමරපුර නිකාය භේදභින්න වී අනුනිකායන් ඇතිවන්නේ ක්‍රි.ව. 1861 න් පසු කලකදීය.

දශක හයකට ආසන්න කාලපරාසයක සිට පාර්ශ්ව 22කට බෙදී තිබූ අමරපුර නිකාය එක් මහානිකායක් වශයෙන් එකට සෑදී පැහැදී කටයුතු කරන්නට පටන් ගැනීම මහා වාසනාවන්ත සිදුවීමකි. අප සඟ සසුනේ ඉදිරි ගමනට දිරිදුන් අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි, රේරුකානේ චන්දවිමල මහනාහිමි, කොස්ගොඩ ධම්මවංශ මහනාහිමි, තලල්ලේ ධම්මානන්ද මහ නාහිමි, පින්වත්තේ දේවානන්ද නාහිමි වැනි ගුණවෘද්ධ තපෝවෘද්ධ මහ යතිවරයන්ගේ ගමන් මඟ, අප නිකායික මහ සඟරුවනේ සමගිය හා සහජීවනය වඩ වවාලු ඇයුරු මතකයෙන් ඈත් නොවේ. ‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන බුදුවදන එකම ආදර්ශ පාඨය සේ ගෙන උන්වහන්සේලා සියලු කැපවීම් කරන ලද්දේ සඟ සසුනේ සමගිය ගොඩනගා ගනු සඳහාමය. එහිලා මෑතකාලීනව වැඩසිටි පින්වත් මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි නාමය අපට දිවමතුරක් වන්නේ ය. උන්වහන්සේ අප සංඝ සභාවේ සමගිය හා ඉදිරි පැවැත්ම සඳහා කළ කැපවීම හා ආදර්ශය වචනයෙන් කියා නිමකළ නොහැකිය.

අප මුහුණ දුන් මුහුණ දිය යුතු අභියෝග අපමණය. ඒ අභියෝග ජයගෙන ඉදිරියට යා හැක්කේ අපේ සමගිය තුළින් පමණි. එහිදී මමය, මගේ පාර්ශ්වය, මගේ පිරිසය යන පටු ආකල්ප පසෙකලා අප සමූහයක් වශයෙන් එක්ව එක්සිත්ව පෙරට යා යුතුය. එක්ව කටයුතු කිරීම අපේ දියුණුවයි. කොටස්වීම අපේ පරිහාරණියයි. මෙහිදී මහා පරිතිර්වාණ සූත්‍රයෙහි එන සප්ත අපරිහානිය ධර්ම අප සාමදෙනාම සිහියට නගාගත යුතුයැයි සිතමි.

මෙවර උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන අපේ තරුණ භික්ෂූ පිරිස පිළිබඳවද අප ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ අතර දහසක් අඩුපාඩුකම් මැද සිප්සතර හදාරණ තරුණ භික්ෂූහු ද වෙති. උන්වහන්සේලාට පිහිටවීම, මඟපෙන්වීම අප සතු යුතුකමකි. ශාසනභාරධාරී මහතෙරවරු දැන්වත් මේ පිළිබඳව ගතසිත යෙදීම අවශ්‍යය. අමරපුර නිකායට මධ්‍යස්ථානයක් ගොඩනගා අගනුවරට අධ්‍යාපනය සඳහා පැමිණෙන භික්ෂූන්ට නේවාසික පහසුකම් සලසා ඔවුන් රැකබලා ගැනීම අප සතු යුතුකම නොවන්නේ ද?

මෙම උත්සවය සඳහා අපට නිරන්තරයෙන් අනුශාසනා කළ අපේ සභාපති නාහිමි ප්‍රධාන සියලුම මහා සංඝරත්නයටත්, විමලරත්නාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් විහාරාධිපති නාහිමියන්, පරිවෙණාධිපති හිමියන්, නියෝජ්‍ය පරිවෙණාධිපති හිමියන්, ප්‍රධාන මහ සංඝරත්නයටත් විහාරස්ථානයේ ප්‍රධාන දායක සභාව ඇතුළු සියලුම සංවිධානවලටත්, ප්‍රාදේශීය සභා, පළාත් සභාවලටත් පොලිස් හා හමුදා නිලධාරි පිරිසටත් බුද්ධශාසන අමාත්‍යතුමාත්, අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාත් , ගරු කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලවලටත්, අප නිකායාරක්ෂක දායක සභාවේ ගරු සභාපති මිලින්ද මොරගොඩ මැතිතුමා සහ ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඇමැතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයටත්, නන් අයුරින් අපට උපකාර කළ සියලු ස්වෙච්ඡා සංවිධානවලට හා අනෙකුත් සියලු දෙනාටමත් මෙසේ පුණ්‍යානුමෝදනා කරමි.


මහ සඟරුවනට මනා මඟ පෙන්වීමකි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම පුණ්‍යෙීත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ අතිශයින් සතුටට පත්වෙමි.

අපවත් වී වදාළ අතිගෞරවාර්හ අඹගහපිටියේ ඤාණවිමල තිස්ස නායක ස්වාමීන් වහන්සේ බුරුම රට අමරපුර දේශයට වැඩම කොට රැගෙන ආ උපසම්පදාව ක්‍රි. ව. 1803 දී බලපිටියේ මාදු ගංගාවේ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා විනය කර්මය සිදු කිරීමෙන් පසු මෙම නිකාය ආරම්භ වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එදා සිට මේ දක්වා අප රට පමණක් නොව විදේශයන්හි ද, ගෞරවාදරයට පත් වූ මෙම නිකාය රට, ජාතිය හා සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කරන අමිල සේවාව කෘතවේදීව සිහිපත් කරමි.

මෙවර සියලු පාර්ශ්වයන් එක්ව ඒකීය උපසම්පදාවක් සිදු කිරීම ප්‍රසාදය දනවන අතර, එය මහ සඟරුවනට මනා මඟ පෙන්වීමකි.

“විනයො නාම සාසනස්ස ආයු” විනය නම් ශාසනයේ ආයුෂය වේ.

සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටු කරන මෙම මහා පුණ්‍ය කර්මය සඳහා මඟ පෙන්වන අතිගෞරවාර්හ මහානායක මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ එම නිකායේ සියලු මහා සංඝරත්නයට මගේ කෘතඥතාවය පුද කරන අතර, මෙම උළෙල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ! යි ප්‍රාර්ථනා කරමි.


බොදු ලොවට ආශීර්වාදයක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අමරපුර මහා නිකාය මගින් පවත්වනු ලබන ඒකීය උපසම්පදා පුණ්‍යෙීත්සවයට මාගේ සුභාශිංසන පිරිනමමි.

පාර්ශව 22 කින් සමන්විත ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය මගින් ඒකීය උපසම්පදාවක් සංවිධානය කිරීම අප රටට පමණක් නොව මුළු මහත් බෞද්ධ ලෝකයටම ආශීර්වාදයකි.

12,000 ක් පමණ මහා සංඝරත්නය වැඩ සිටින අමරපුර මහා නිකාය ගෙවී ගිය දශක දෙකකට වැඩි කාල පරාසයක් තුළ රට, දැය, සමය වෙනුවෙන් ඉටු කළ ආගමික හා සාමාජීය සේවය සුවිශාලය. පූජ්‍ය පැලෑණේ වජිරඥාන මහ නා හිමි, පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නා හිමි, පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි, නාරද නා හිමි, පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි වැනි සදා වන්දනීය ආදර්ශයන් සපිරි යතිවරයාණන් වහන්සේලා නිසා පෝෂණය වූ අමරපුර සඟ පරපුර මතුවටත් දැන උගත් භික්‍ෂූන් වහන්සේලා නිසා වඩාත් බැබළෙමින් ඉදිරියට යනු දැක්ම ඉමහත් සතුටට කරුණකි.

ඉහත කී යතිවරයාණන් වහන්සේලා දායාද කළ සසුන් පිළිවෙත අභාවයට යා නොදී රැක ගැනීම උපසම්පත්ති ලාභය ලබන තරුණ භික්‍ෂු පරපුරේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.

තෙරුවන් ගුණ බලෙන් උන්වහන්සේලාට ඒ ශාන්තිය, ධෛර්යය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.