Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ. බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රථම කොට භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩහිඳිමින්, සත් දවසක් විමුක්ති සුවය ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත නැවත වින්දනය කරමින් ගතකොට එදවස් හත ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට රාත්‍රියේ ප්‍රථම යාමය තුළ ‘පට්ටිච්ච සමුප්පාදය’ අනුලෝම වශයෙන් මනාව මෙනෙහි කළ සේක. පැහැදිලි කරන්න.

පිළිතුර - එය මෙසේ අනුලෝම වශයෙන් මෙනෙහි කළසේක.

මෙය පවත්නා කල්හි මෙයද පවත්නේය. මෙය හට ගැනීමෙන් මෙයද හට ගනී. මේ නම් කිමෙක්ද යත්,

අවිද්‍යාව ප්‍රත්‍යකොට සංස්කාරයෝ පවත්නාහ
සංස්කාර ප්‍රත්‍යකොට විඤ්ඤාණය පවත්නේය
විඤ්ඤාය ප්‍රත්‍යකොට නාම-රූප පවත්නේය
නාමරූප ප්‍රත්‍යකොට සළායතන පවත්නේය
සළායතන ප්‍රත්‍යකොට - ඵස්ස පවත්නේය
ඵස්ස ප්‍රත්‍යකොට වේදනා පවත්නේය,
වේදනා ප්‍රත්‍යකොට තණ්හා පවත්නේය
තණ්හා ප්‍රත්‍යකොට උපාදාන පවත්නේය
උපාදාන ප්‍රත්‍යකොට භව පවත්නේය
භව ප්‍රත්‍යකොට ජාති පවත්නේය

ජාති ප්‍රත්‍යකොට ශෝකය, වැළපීම, දුක, දොම්නස, අසහනය යනාදී මේ මුළු දුක්ඛස්කන්ධයෝම හටගැනීම සිද්ධ වන්නේය.

ඛු. නි. උදානපාලි බෝධිසූත්‍ර

ප්‍රශ්නය - කායික වාචසික, මානසික සියලු යහපත් ක්‍රියා කුසල කර්ම නමින් පෙල දහමෙහි සඳහන් වෙයි. ‘සියලු යහපත් ක්‍රියා’ යන්න ධර්මානුකූ®ලව පැහැදිලි කරන්න.

පිළිතුර - මිනිසා නමින් හඳුන්වනු ලබන සංකීර්ණ සංසිද්ධියෙහි ඉතාමත් වැදගත් අංගය සිතය. යම්කිසිවෙකු පිරිසුදු වන්නේත් අපිරිසුදු වන්නේත් සිත මූලික වීමෙනි. තමාගේ හොඳම මිතුරා සහ දරුණුම සතුරා (දිසො දිසං යං තං කයිරා වෙරිවාපන වෙරිනං මිච්ඡා පණීහිතං චිත්තං) වන්නේත් සිතමය. ඒ නිසාම දේශනාවෙහි සඳහන් වන (චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා) මහණෙනි! මම චේතනාව කර්මය යැයි පවසමි. සිතින් කයින් හා වචනයෙන් කර්ම කරන්නේ චේතනාවක් ඇති කරගත් පසුවය. යමකු ප්‍රසන්න සිතින් (අලෝභ, අදෝස, අමෝහ) කථා කළහොත් ක්‍රියාකළහොත් තමා අත්නොහැර එන සෙවනැල්ල මෙන් සැප ඔහු පසුපස එයි. (මනසා චෙ පසන් නේන භාසති වා කරොතිවා තතොනං සුඛ මන්වෙති ඡායාව අන පායිනී) තතෝනං දුඣකමංවේති චක්කංච වහතෝ පදං එසේම යමකු නපුරු සිතින් කතා කළහොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසුපස එන රියසක මෙන් දුක ඔහු පසුපස එන රියසක මෙන් දුක ඔහු පසුපසම එයි. (මනසා චෙ පදුට්ඨෙන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වෙති. චක්කංව වහතෝ පදං) මේ අනුව යහපත් ක්‍රියා (පසන්න චෙතසා) ලෝභ, දෝෂ, මෝහ යන අකුසල චෛතසිකයන්ගෙන් මිදුණු සිත මුල්කොට ගත් ක්‍රියා වශයෙන් සැලකිය හැකිය.

ප්‍රශ්නය - සත්ත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වර වස්තුවකි. එනිසා තථාගතයන් වහන්සේ ‘පහස්සරමිදං භික්ඛවෙ චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨාං’ යනුවෙන් වදාළහ.

මහණෙනි! සත්ත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වරය. (පැහැපත්ය) සිත කෙලෙසන්නේ බාහිර ක්ලේශයන් නිසාය. එම ආගන්තුක උපක්ලේශ මොනවාද?

පිළිතුර - ප්‍රභාස්වර සිත කිළිටි වන්නා වූ උපක්ලේශනම් ක්‍රෝධය, උපනාහය, මක්ඛ, පලාස, ඉස්සා මච්ජරිය, මායා, සාඨෙය්‍ය ආදි කෙලෙස් මල ‘කම්මාරො රජතස්සෙව, නිද්ධමෙ මලමත්තනො’ රන්කරුවා ගිනියම් කරමින් රන් රිදී ලෝහයෙහි මල හරින්නාක් මෙන් සිත් බැඳි කෙලෙස් මල ඉවත්කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

ප්‍රශ්නය - දස සංයෝජන වලින් ‘සක්කාය දිට්ඨි’ යද එකකි. පැහැදිලි කරන්න.

පිළිතුර - පුද්ගල, සත්ව යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤා යන ස්කන්ධ පංචකයයි. එම ස්කන්ධයන් නිතර වෙනස්වන සුළු යන අර්ථයෙන් අනිත්‍යය, අනිත්‍ය වූ යමක සුවදායක පැවැත්මක් නැත. එය දුකකි. දුක් විඳවන යමක් මමායනයෙන් (මගේ හැඟීමෙන්) ගැනීම සසරට බැසීමකි. සක්කාය දිට්ඨිය සංයෝජනයක් වන්නේ ඒ නිසාය.

ප්‍රශ්නය - ආත්මාර්ථය හා පරාර්ථය හැඳින ගැනීමට ද දෙලොව අභිවෘද්ධිය සඳහා ද අවකාශ නොදී ආවරණය කරන නිසාම ක්ලේශ ධර්ම පසක් නීවරණ වශයෙන් පෙල දහමෙහි හැඳින්වෙයි. එම නීවරණ ධර්ම නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර -
1. කාමච්ඡන්දය නීවරණය - පස්කම් සැප කෙරෙහි ඇතිකර ගන්නා රාගය ලොල්බව

2. ව්‍යාපාද නීවරණය - (කුද්ධො අත්ථං නජානාති) ව්‍යාපාදයෙන් පීඩිත මනසක් ඇත්තා යහපත නොදනී (කුද්ධො ධම්මං නපස්සති)

3. ථීනමිද්ධ නීවරණය - සිත්හි උදාසීන බව හා පසුබැසීම

4. උද්ධච්ච කුක්කුච්ච නීවරණය -සිතෙහි හටගන්නා නොසන්සුන් බව විසුරුණු ස්වභාවය උද්ධච්චයයි.

5. විචිකිච්ඡා නීවරණය - බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකයයි. මෙම නීවරණය ප්‍රඥාව දුබල කරයි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.