Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුසිල්වත් භික්‍ෂු දිවිය විස්තර කරන අරියවංශ සූත්‍රය

තථාගත සම්මා සම්බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසද්දී මෙම අරියවංශ සූත්‍ර දේශනාව භික්‍ෂූන් අමතා වදාළ සේක.

අරියවංශ සූත්‍රයේ උගන්වන්නේ, පැහැදිලි කරන්නේ සුපේශල, ශික්‍ෂාකාමී භික්‍ෂුවකගේ පැවිදි චරියාවයි. පැවිදි වීමෙන් පසුව හැසිරිය යුතු ආකාරයයි. ඒ සඳහා මූලික කරුණු සතරක් මේ සූත්‍රය මගින් ඉදිරිපත් කරනු ලබයි. ඒ කරුණු සතරෙන් තුනක් භික්‍ෂුවක් අනුනට කරදරයක් නැතිව, හිරිහැරයක් නැතිව, ජීවත් වන ආකාරය පැහැදිලි කිරීම සඳහා උගන්වයි. ඒ කරුණු තුන දසධම්ම සූත්‍රයේ එන අඤ්ඤෝ මෙ ආකප්පො - මම ගිහි ආකල්ප නොගන්නෙමි, වෙනත් ආකල්ප හැඩරුව නොගන්නෙමි, යන මූලික උගැන්වීම වේ.

මෙම කරුණු සතර මෙසේ ය.

* ඉතරීතර චීවර ලාභයෙන් සන්තෝෂ වීම.
* ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තෝෂ වීම.
* ඉතරීතර සෙනසුනෙන් සතුටට පත්වීම.
* සතිපට්ඨානා දීභාවනාවක් නිතර මෙනෙහි කරමින් භාවනානුයෝගීව විසීම.

භික්‍ෂුවකට සිවුපසය අවශ්‍යය. සිවුපසය යනු චීවර, පිණ්ඩපාත, සේනාසන සහ බෙහෙත්, ගිලන්පස යන සතරයි. අරියවංශ සූත්‍රයේ දී ගිලන්පස ද පිණ්ඩපාත ආහාරයටම ඇතුළත් කර තිබේ. ඉතරීතර යන වචනයේ අදහස ලද දෙයින් සතුටු වීමයි. හොඳ හොඳ ලස්සන වටිනා සිවුරු සොයා ඇවිදීම භික්‍ෂු ස්වරූපය නොවේ. තමන් ලද සිවුරකින් තෘප්තියට පත්විය යුතුය. භික්‍ෂුවකගේ චීවරය වූ කලි ලස්සන වන්න හඳින විලාසිතාවක් නොවේ. එය ශීත උෂ්ණ දෙකින් ආරක්‍ෂා වීම සඳහා, මැසි මදුරු සර්ප ආදී සතුන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා, ලජ්ජා ස්ථාන ආවරණය කිරීම සඳහා භාවිත කරන්නකි.

සිවුර, මැසි මදුරු ආදීන්ගෙන් පමණක් නොව ඇතුන්ගෙන් පවා ආරක්‍ෂාව සැපයූ වස්ත්‍රයක් බව ඡද්දන්ත, ජාතකයෙන් පෙනේ. ඡද්දන්ත ඇතාගේ දළ කැපීම සඳහා ඇතාට හී විද්ද සෝණුත්තර වැද්දා ඒ කාර්යය කළේ චීවරයක පැහැති රෙදි කඩක් පොරවාගෙනය. එම නිසා ඔහුට ඇතාගෙන් අභය දානය, ලැබිණි. ඒ අනුව සිවුර අලි ඇතුන් ආදී වන මෘගයන්ගෙන් පවා ආරක්‍ෂාව සලසන්නකි. අද පවා චීවරධාරීව සිට නොයෙක් අකටයුතුකම් කරන දුරාචාරකම් කරන භික්‍ෂු වේශධාරීන්ට මිනිසුන් දඬුවම් නොදෙන්නේ චීවරයට පවතින ගරුත්වය නිසා ය. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබූ පුද්ගලයාත් ඒ කටයුත්තට ගියේ සිවුරක් පොරවාගෙනය. ඒ අනුව චීවරයේ ගරුකටයුතු බව එයින් ලැබෙන ආරක්‍ෂාව ඇතැමුන් වැරැදි ලෙස භාවිත කරන බව පෙනේ. එහෙත් සිවුර යනු අකටයුතුකම් දුරාචාරකම්වලින් රැකවරණය ලබන්නට, බොරු කියමින් මිනිසුන් රවටන්නට, රවටමින් සම්පත් ලබන්නට යොදා ගන්නා පොරෝණයක් නොවේ. සිත එකඟ කර ගැනීම සඳහා, සිත එකඟ කර ගනිමින් නිවන් ලැබීම සඳහා පරිහරණය කළ යුතු ශුද්ධ වස්තුවකි. එය පුද්ගලයාගේ හැදිච්ච බව, තැන්පත් බව, සංවර බව, ගුණවත් බව, අල්පේච්ඡ බව විදහා දක්වන සංකේතයකි. අරියවංශ සූත්‍රයේ මේ බව මැනැවින් පෙන්වා දී තිබේ.

ඉතරීතර පිණ්ඩපාතය යනුවෙන් අදහස් කරන්නේ ශරීරයේ කල්පැවැත්ම සඳහා, බඩගිනි පීඩාව දුරලනු සඳහා පැරැණි වේදනා නැති කිරීමට හා අලුත් වේදනා නොඉපදවීම සඳහා, පහසු විහරණය සඳහා බ්‍රහ්මචාරි ජීවිතය ආරක්‍ෂා කරනු පිණිස උපකාරී වන්නකි. භික්‍ෂුව ජීවිතය පවත්වා ගැනීම සඳහා පිණ්ඩපාතය ලබා ගන්නවා විනා, ආහාරය සඳහා ජීවත්වන්නකු නොවේ. භික්‍ෂුව දායකයන් වෙතින් ලද ආහාරයෙන් සතුටු විය යුතු ය. රස මසවුළු නොඉල්ලිය යුතු ය. ඉතරීතර පිණ්ඩපාතය විස්තර කරන අටුවාව පිණ්ඩපාතය, පිණ්ඩපාත්‍ර ක්ෂේත්‍රය, පිණ්ඩපාත සන්තෝෂය දත යුතු බව විස්තර කරයි. පිණ්ඩාත ක්ෂේත්‍රය නම් පිඬු සිඟා යෑමෙන් ලැබෙන ආහාර හා දායකයන් විසින් දෙනු ලබන පසළොස් ආකාර දාන වර්ගයි. පිණ්ඩපාත සන්තෝෂය නම් පසළොස් ආකාර සන්තෝෂයයි. භික්‍ෂුව පිණ්ඩපාතයේ යෑමේ දී එක ගෙයක්වත් අත්නොහැර ගෙපිළිවෙළින් පිණ්ඩපාතයේ වැඩිම කළ යුතු ය. පිණ්ඩපාතය වළඳා ශ්‍රමණ ධර්මය ආරක්‍ෂා කරමි යි සිතමින් ආහාර වැළැඳිය යුතු ය. භික්‍ෂුව පමණ දැන වැළැඳිය යුතු යි. පමණ දැන පරිභෝග කළ යුතු යි. පිණ්ඩපාතය වළඳන්නේ සිහිය පිහිටුවා ගැනීමටයි. කුසගින්නේ සිටින අයකුට සිහිය පිහිටුවා ගත නොහැකි ය. යෝනිසෝ මනසිකාරය බිඳගෙන කුසගින්න ඉස්මතු වෙයි. ඒ නිසා සිහිය පිහිටුවා ගැනීමට කුසගින්න සමනය වී තිබිය යුතුයි. දෙන තරමට පිළිනොගෙන තමන්ට සෑහෙන තරමට පිළිගත යුතුයි.

සේනාසන නම් ඇඳ, පුටු, මෙට්ට, කොට්ට, විහාර, අච්චියෝග නම් ගෙය. මහල් පහය. ගුහාව, ලෙන, අටල්ල, උණ පඳුර, ගස්මුල්, මිනිසුන්ගෙන් හිස් වූ විවේක ස්ථාන ආදියයි මේ ආදී යම් තැනක භික්ෂුව විවේක ගනී ද එතැන සේනාසනයයි. යම් තැනක සයනය කරද්ද එය සේනය. පුටු, බංකු ආදී යමක හිඳ ගනියිද එය ආසනයකි. මේ දෙක එකතුව සේනාසන වේ.

සේනාසන අවශ්‍ය වූ විට භික්‍ෂූව තමන් විසින්ම සේනාසනය තනා ගැනීම වැරැදිය. ඉදිකිරීම් කර්මාන්තයේ දක්‍ෂ වූ ධනිය තෙරුන් තමන් විසින් තනා ගන්නා ලද සෙනසුන් බුදුරදුන්ගේ ගර්හාවට ලක් විය. පූර්ව යුගයේ භික්‍ෂූන් වැඩි දෙනකු වාසය කළේ ගස් මුල්, ජනශූන්‍ය තැන, කැලෑ ආදියේ ය. භික්‍ෂූන් හුදෙකලාව ගිරි, ගුහා, ගල්ලෙන්, උණ පඳුරු, ගලාගෙන යන ජලාශ සමීපයේ වැඩ සිටි බව ථෙරගාථාවල එන උදාන ගාථාවලින් මනාව පෙනේ. කෙතරම් ස්වාධීන, නිදහස් ජීවිත ගත කළේ ද යන්න ඒ ගාථාවලින් පැහැදිලි වෙයි. බුදු සසුන ඇති වී කලක් ගත වීමෙන් පසු දායකයන් විසින් විහාර තනවා පූජා කළ අයුරු දිස් වේ. ඒවා බොහෝ විට පිහිටියේ නගරයට වඩාම සමීපවවත් වඩාත්ම දුරින්වත් නොවේ. භික්‍ෂූන් වාසය නොකළ යුතු පළිබෝධ සහිත විහාර වර්ග දහ අටක් භාග්‍යවතුන් වහන්සේ දක්වා තිබේ. ඒ දහ අටෙන් දහසයක්ම සිත එකඟ කර ගැනිමට නුසුදුසු ස්ථානය. ඉතරීතර සේනාසනය අරියවංශ සූත්‍රයේ උගන්වයි. ඉතරීතර සේනාසනය යනුවෙන් හඳුන්වන්නේ තමන් ලත්, තමන්ට තනා දුන් සේනාසනයයි. එහි සුව පහසුව, විශාලත්වය, තට්ටු ගණන, වායු සමනය කර තිබේද නැද්ද ආදිය භික්‍ෂුව නොසෙවිය යුතු ය. බැලිය යුත්තේ නිදහස් ද, පරිසරය පළිබෝධ රහිත ද, සිත එකඟ කර ගත හැකි ද, භාවනාවට සුදුසු ද යන කරුණු ය. පන්සල හදන්නැයි, ලොකු කරන්නැයි දායකයන්ට කන්නලව් නොකළ යුතු ය.

සේනාසනය භාවිත කළ යුත්තේ ශීත, උෂ්ණ දෙකින් වැළකීම සඳහා ය. මැසි, මදුරු ආදීන්ගෙන්, සර්පයන්ගෙන්, අව්වෙන්, වැස්සෙන් ආරක්‍ෂා වීම සඳහා ය. අලි, කොටි, ආදී සතුන්ගේ පීඩාවන්ගෙන් රැකවරණය ලබා ගැනීම සඳහා ය. සිත එකඟ කර ගැනීම සඳහාය. පැරැණි ආරාමවල විශේෂයෙන් සක්මන් මළු තනා තිබිණ. ඒ භාවනා කිරිම සඳහාය. සක්මන් මළුව එක් කෙළවරක මිනිස් ඇට සැකිල්ලක් හෝ පින්තූරයක් ඇඳ තිබුණි. අද ආරාම විහාරවල ආවාස ගෙය, බුදු ගෙය, චෛත්‍යය, ධර්මශාලාව, ඉරිදා දහම් පාසල, බෝධිය, දාන ශාලාව, සීමාව ආදි විවිධ ගොඩනැඟිලි ඇත. එහෙත් සක්මන් මළු කිසි තැනක නැත. එසේ වුවද භාවනා වැඩසටහන් ඇත. බුදුන් දවස සිටි සෝණ තෙරුන් සිය යටිපතුල්වල දිය බුබුළු හැදී ඒවා පැලී වේදනා විඳිද්දීත් ඇවිදිමින් භාවනා කළ අයුරු ත්‍රිපිටකයේ සඳහනි. මේ අයුරින් වීවර, පිණ්ඩපාත, සේනාසන යන ප්‍රත්‍යයන් පිළිබඳ භික්‍ෂුව ඉතරීතර ලාභයෙන් සතුටු විය යුතු ය. මහණකම නම් එයයි. අරියවංශ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ මෙයයි.

අරියවංශ සූත්‍රයේ දක්වන සතරවන කාරණය නම් භාවනාවේ යෙදීමයි. භාවනා රතියයි, භාවනා වැඩීමයි. කෙලෙස් දුරු කිරීම සදහා උත්සහවන්ත වීමයි. සතිපට්ඨානාදි භාවනාවක ඇලී භාවනාරම්මාණයෙන් යුක්ත වීමයි. බුදු දහමෙහි සමථ භාවනා විපස්සනා භාවනා වශයෙන් භාවනා වර්ග දෙකක් දක්වයි.

උසස් යෝගී තත්ත්වයන්ට මුල්වන සමථ භාවනාව නම් සිතේ එකඟ බව, චිත්තේකග්‍රතාව වැඩීමයි. සමථ භාවනා ක්‍රමය බුද්ධ කාලයට පෙර ද පැවතිණ. එය බෞද්ධ භාවනාවක්ම නොවූවද, බෞද්ධ භාවනා ගණයෙන් ඉවත් නොවේ. බුද්ධත්වයට පෙර විවිධ ආචාර්යවරුන් යටතේ මෙම භාවනා ක්‍රමය සිද්ධාර්ථ තවුසා අනුගමනය කළේ ය. සම්පූර්ණ විමුක්තිය ඒ මඟින් ලබාගත නොහැකි වූ නිසා උන්වහන්සේ එය අත්හැර ගියේ ය. මෙම ධ්‍යාන මේ ජීවිතයේ සුව සේ විසීමක්, ‘දිට්ඨ ධම්ම සුඛ විහාර’ මිස ඊට වඩා උසස් ක්‍රමයක් නොවන බව උන්වහන්සේ වදාළහ. උන්වහන්සේ සොයාගත් භාවනා ක්‍රමය විපස්සනා භාවනා වශයෙන් හැඳින් වේ. විපස්සනාව නම් සිත පිළිබඳ පූර්ණ නිදහස ලැබීමටත්, නිර්වාණය අවබෝධ කර ගැනීමටත් ඉවහල් වන ක්‍රමයයි. විපස්සනා භාවනාව වූ කලී සිහියත්, අප්‍රමාදයත්, නිරීක්‍ෂණයත්, මුල් කරගත් භාවනා විධියයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වන ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීමේ භාවනා විධියයි.

භාවනාවෙහි ඇලුන ද, කෙලෙස් ප්‍රහාණය කිරීමේ ක්‍රමයන්හි හැසිරුන ද භාවනාරතියෙන් යුක්ත වූවද ඒ තත්ත්වයෙන් තමන් හුවා නොදැක්වීම ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණයයි. . හෙතෙම තමන් උසස් කොට අනුන් පහත්කොට නොදක්වයිභාවනා කරන්නේය කමටහන් වඩන්නේය යන්න අනුන්ට ප්‍රකට කිරීමෙන්, ප්‍රදර්ශනය කිරීමෙන් වැළකීම අරියවංශ ධර්මයේ පිහිටීමකි.

මේ අනුව, තමන් ලද චීවරයෙන් තෘප්තියට පත්වීම, තමන් ලද පිණ්ඩපාතයෙන් තෘප්තියට පත්වීම, ලද සෙනසුනින් තෘප්තියට පත්වීම සහ භාවනාභිරතියෙන් යුක්ත වීම අරියවංශ සූත්‍ර දේශනාවේ උගන්වන ආර්ය ප්‍රතිපදාවයි.

මේ සතර ආර්ය වන්නේ ඇයි ?

බුදු, පසේ බුදු, තථාගත ශ්‍රාවක යන මොවුහු ආර්ය වංශිකයෝය. ආර්යයන් වහන්සේගේ වංශය ආර්ය වංශයයි. අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් ආර්යයන් වහන්සේ විසින් පුරන ලද, හා පුරනු ලබන්නා වූ අනුගමනය කරන ලද හා අනුගමනය ලබන්නා වූ ප්‍රතිපදාව, අරියවංශ ප්‍රතිපදාවයි. අපිස් බව, සැහැල්ලු බව, ඒ ප්‍රතිපදාව තුළ අන්තර්ගතය.

මෙසේ සම්මා සම්බුදුන් විසින් දේශනා කරන ලද මෙම අරියවංශ සූත්‍ර දේශනාව ඈත කාලයේ විහාරාරාමවල මුළු රැයක් පුරා දේශනා කර ඇත. එකල අරියවංශ සූත්‍රය දේශනා කිරීම ප්‍රධාන පෙළේ බෞද්ධ උත්සවයකි. අරියවංශ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සැතැපුම් ගණන් පා ගමනින් සැදැහැවත්හු පැමිණියහ. එවැනි කථා පුවත්වලින් අට්ඨ කතා සාහිත්‍යය පිරී ඇත.

අනුරපුර රාජධානිය පැවැති යුගයේ දීඝ භාණක මහාභය තෙරුන් වහන්සේ අරියවංශ සූත්‍රයෙන් බණ කියන විට සියලු මාගම්පුර වැස්සන් රැස් වූ බව එක් තැනක සඳහන් වේ. දිඝ භාණක අභය තෙරුන් අරියවංශ සූත්‍රයෙන් බණ කියන බව අසා උල්ලකොල කාණිකා නම් ගම් වැසි ස්ත්‍රියක සැතපුම් පහක් ගෙවා බණ අසන්නට ගොස් හිඳගැනීමට ඉඩ නැතිව දරුවා බිම තබා තමන් සිටගෙනම බණ ඇසූ සැටි අංගුත්තර නිකාය අටුවාවේ සඳහනි.

රුහුණේ මාගම පිහිටා තිබුණු මහවැව විහාරයේ අවුරුද්දක් පාසා අරියවංශ සූත්‍ර දේශනාවෙන් බණ කී බව සඳහන්ව ඇත. සේරුවිල මහදිඹුලා නම් ආරාමයේ මාස හයකට වරක් අරියවංශ සූත්‍ර ධර්ම දේශනාව පැවැත් වූ බව අට්ඨකතා සාහිත්‍යයේ සඳහන්ව ඇත. මේ අන්දමට පැරැණි ලංකාවේ අරියවංශ දේශනාවට විශේෂ ස්ථානයක් හිමිවී තිබුණි. මේ සූත්‍රය දේශනා කළේ උත්සවශ්‍රීයෙනි අරියවංශ සූත්‍රයෙන් බණ කියන හාමුදුරුවන්ට රජවරු, ඇමැතිවරු, ධනවත්හු ගම්බිම් පූජා කළහ. සමහර ආරාමවල දෙසතියකට වරක් අරියවංශ සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීම සිදු විය.

ඉතා විශිෂ්ට ධර්ම දේශනාවක් වන අරියවංශ සූත්‍ර දේශනාව වර්තමාන ලංකාවේ පවත්වන්නේ නැති බව පෙනේ. ඒ අරියවංශ ප්‍රතිපදාව ගිලිහී ඇති නිසාදැයි සිතා ගැනීම අසීරු ය. අරියවංශ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ සඳහන් සූත්‍රයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.