උතුම්ම
ධනය
සතුටයි
කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙනේ ආචාර්ය
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
රාජසිංහගම තිලකධම්ම හිමි
ආශා, බලාපොරොත්තු අඩුවූ විට,
පහසුවෙන් පෝෂණය කළ හැකි සරල අයකු බවට පත් වූ විට ජීවිතය බොහෝ
සැහැල්ලුය. එවැන්නකුගේ ජීවිතය බාහිර කිසි කෙනකුට ද බරක් නැත.
සන්තුෂ්ටියෙන් ම මනුෂ්‍ය
ජීවිතය ගතකිරීමට හැකිය.
බුදු දහමේ අවසන් ඉලක්කය වන නිවන කරා ගමන් කළ
හැකිවන්නේ ද එවැනි අයකුටමය.
ධම්මපදයේ සුඛ වග්ගයට අන්තර්ගත “සන්තුට්ඨි පරමං ධනං” යන පාඨයෙ අදහස
‘සතුට සියලු ධන සම්පත් අතර උතුම්ම ධනය’ වන බවයි. අද සමාජය තුළ ජීවත් වන
බොහෝ දෙනකුගේ ජීවිත දෙස බැලීමේදී පෙනී යනුයේ ඔවුන් භෞතික සම්පත් අතින්
තනතුරු, නම්බු නාම ආදියෙන් ආඪ්‍ය වුවද, පරිපූර්ණ වුවද සතුට නම් වූ
සංකල්පය ඔවුන්ගේ ජීවිත තුළින් බොහෝදුරට ඈත්ව ඇති බවකි. එයට හේතුව
‘සතුට’ යනු කුමක්දැයි බොහෝ දෙනා හරිහැටි හඳුනා නොගැනීමය. මේ ලිපියෙන්
කෙරෙනුයේ බුදු දහමට අනුව ‘සතුට’ යනු කුමක්දැයි පැහැදිලි කිරීමට උත්සාහ
කිරීමකි.
“සන්තුට්ඨස්සායං ධම්මො නායං ධම්මො අසන්තුට්ඨස්ස” මේ ධර්මය සතුටින්
සොම්නසින් ජීවත්වෙන්නට බලාපොරොත්තු වන අයටයි, අසතුටින්, කනගාටුවෙන්
ජීවත් වන අයට නොවේය යන ප්‍රකාශයෙන් ධර්මය හා සතුට අතර ඉතා සමීප
සබඳතාවක් පවතින බව පෙනේ. බුදු දහමට අනුව, වීර්යවන්තව, උත්සහයෙන්,
ධාර්මිකව ධන ධාන්‍ය හරි හම්බ කරගන්නට කිසිදු බාධාවක් නොමැත. ( උට්ඨාන
විරියාධිගතා, බාහා බල පරිචිතා, ධම්මිකා ධම්ම ලද්දා ) එසේ හරිහම්බ කර
ගත් යමක් තමා සන්තකව තිබීම නිසා ඇතිවන සතුට අත්ථි සුඛය බව බුදු දහමේ
පැහැදිලි කර ඇත. එසේම ඒ උපයා ගත් ධනය නිවැරැදිව පරිභෝග කිරීම නිසා
ඇතිවන සතුට භෝග සුඛ ලෙසත්, ණය නැතිකම නිසා ඇතිවන සතුට අනණ සුඛ ලෙසත්,
ධාර්මික වූ නිවැරැදි ජීවිතයක් ගත කිරීම නිසා ඇතිවන සතුට අනවජ්ජ සුඛ
ලෙසත් දහමේ පෙන්වා දෙයි.
මෙහිදී අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. යම් අයකුහට වෙහෙස
මහන්සියෙන් කටයුතු කර බොහෝ ධනය ලැබුණද මඳක් ලැබුණ ද ඒ ලැබෙන තරමින්
සෑහීමට, සතුටට පත් වන්නට හැකිනම් එය ඉතා උසස් ගුණාංගයකි. එම උතුම්
ගුණාංගය ධර්මයේ හඳුන්වනුයේ යථාලාභ සන්තෝෂය යනුවෙනි. එහෙයින් ලද දෙයින්
සතුටුවීමට ඉගෙන ගතහොත් සැමදාම සතුටින් ඉන්නට හැකියාව ලැබේ. සන්තුස්සකොච
යන කරණීය මෙත්ත සූත්‍රයේ එන දහම් පාඨයෙන් ද අවධාරණය වන්නේ එයයි. එහෙත්
ඇතැම් උදවිය කෙතරම් ලැබුණ ද සැහීමට පත් නොවෙති. ඔවුන්ගේ පුරුද්ද තිබෙන
දේ ගැන සිතා සතුටු නොවි ‘අරක නෑ, මේක නෑ යැයි සිත සිතා දුක්වීමයි.
ලැබුණු දෙයින් ඉන්න තැන හිඳගෙන සතුටුවීමට අප වැඩි දෙනකුට පුරුද්දක්
නැත. මේ ගැන පැහැදිලි කෙරෙන කතාවක් ඉදිරිපත් කළ හැකිය.
කීර්තිමත් ව්‍යාපාරික පාසලක මහාචාර්යවරයෙක් නිවාඩුවක් ගතකිරීම සඳහා
දිනක් ධීවර ගම්මානයකට ගියේය. එහිදී මසුන් අල්ලන ධීවරයකු දුටු
මහාචාර්යවරයාට සිතුණේ ධීවරයාට නොමිලයේ උපදේශයක් දීම සුදුසුය කියාය. ඔහු
ධීවරයාගෙන් මෙසේ ඇසීය.
“මොකද ඔබ උදෙන්ම වැඩ අවසන් කළේ?”
එවිට ධීවරයා මෙසේ පිළිතුරු දුනි.
“අනේ මහත්තයා මේ අල්ලපු මාළු ටික මට හොඳටම ප්‍රමාණවත්. මේකෙන් කොටසක්
විකුණලා මුදලුත් අරගෙන අනෙක් කොටස ගෙදර අරන් ගිහින් උයලා දරුවනුත් එක්ක
භුක්ති විඳිනවා. හවස දරුවොත් එක්ක ක්‍රීඩා කරනවා රාත්‍රියේ යහළුවොත්
එක්ක ගිටාර් වාදනය කරමින් සතුටු වෙනවා. ඒ නිසා මහත්තයා මට සතුටින් ඉන්න
මේ අල්ලපු මාළු ටික හොදටම ඇති”.
මෙය අසා සිටි මහාචාර්යවරයා ධීවරයාට මෙසේ උපදෙස් දීමට පටන් ගත්තේය.
“යාළුවා, ඔබ හවස් වනතුරු මුහුදේ සිටියොත් මේ වගේ දෙගුණයක් මාළු
අල්ලගන්න පුළුවන්. ඒ අමතර මාළු විකුණ ගත්තම ඔබට මාස හයකදී බෝට්ටුවක්
මිලදී ගන්න පුළුවන්. සේවකයන් යොදවා ඉන් වසරකදී ධීවර යාත්‍රාවක් ගත
හැකියි. තවත් වසර හයකදී ඔබ යාත්‍රා හය හතක අයිතිකරුවෙකු වේවි.
කෝටිපතියෙකු වේවි”
මෙය අසා සිටි ධීවරයා මහාචාර්යවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.
“මහත්මයාණෙනි, කෝටිපතියෙක් වුණාම මම මොනවද කරන්නේ ?”
“යාලුවේ, කෝටිපතියෙක් වුණාම ඔබට පුළුවනි නිදහසේ ඉන්න. මේ වගේ වැඩකරන්න
ඕන වෙන්නෑ. පුංචි බෝට්ටුවක් අරගෙන ලස්සන ධීවර ගමකට ඇවිල්ලා, මාළු ටිකක්
අල්ලගෙන සතුටින් ගෙදර ගිහින් දරුවොත් එක්ක ආහාර ගන්න. සවස ටිකක්
නිදාගන්න, මිතුරන් එක්ක හවසට සතුටු වෙන්න. බලන්න කෝටිපතියෙක් වුණාම
සතුටින් ඉන්න ලැබෙන හැටි.”
“ ඒ වුණත් මහාචාර්යතුමනි, කෝටිපතියෙක් නොවුණට ඔය කියපු ඔක්කොම මම
දැනුත් කරනවනේ ”.
මසුන් ඇල්ලීම ධාර්මික ජීවනෝපායක් නොවේ. එහෙත් මේ කතාවෙන් ඉදිරිපත් කරන
හරය ගැන පමණක් සිතුවහොත්, සතුට සොයා ගන්නට නම් පොහොසත් වී සිටිය යුතු
යැයි සිතීම මිථ්‍යාවක් බව වැටහෙනු ඇත. එහෙත් උත්සාහ කර ධාර්මිකව ධනය
උපයා ගැනීම සිදු කරමින් ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් බව අවබෝධ
කර ගැනීම වැදගත්ය.
එහෙත් අප ලද දෙයින් සතුටු වන්නට ඉගෙන ගෙන තිබේද ? බොහෝ දෙනකු එවැන්නක්
ගැන දන්නේවත් නැත. “ඌණො ලොකො අතිත්ථො තණ්හාදාසො” ලෝකයා සැම මොහොතකම
සිටින්නේ අඩුවක් ඇතිවයි. මදියි, මදියි කීම පුරුද්දකි. (අතිත්ථො -
අතෘප්ති කරයි. සෑහීමකට පත් නොවෙයි.) තණ්හාව, නො එසේනම් ලෝභය ඉතා භයානක
කෙලෙස් මූලයකි. ගින්නට කෙතරම් දර දැමුවද ඇතිවීමක් නොවන්නා සේ
තෘෂ්ණාවෙන් භරිත කාමභෝගීන් කහවනු වැස්සක් වැස්ස ද සතුටු නොවන බව ධර්මයේ
සඳහන් වෙයි.
එහෙයින් අප ද තණ්හා දාසයන් බවට පත්වුවහොත් සැමදාම සිටින්නට සිදුවන්නේ
අසතුටිනි. අසහනයෙනි, අසහනය යනු අද නිතරම ඇසෙන වචනයකි. අසහනය යනු කුමක්ද
? ආසා, බලාපොරොත්තුවල කෙළවරක් අපට නැත. එහෙත් සිතන පතන දේ ඒ විධියටම
ලැබෙන්නේ ද නැත. බොහෝ ලබා ගන්නට සිතුවද ලැබෙනුයේ අල්පයකි. බලාපොරොත්තු
වූ දෙයත් ලැබුණු දෙයත් අතර විශාල පරතරයක් ඇතිවීම සිතෙහි අපහසුතාවට සහනය
නැති කිරීමට හේතුවකි. එයයි අප අසහනය යනුවෙන් හඳුන්වන්නේ.
එබැවින් අනවශ්‍ය විධිියට ප්‍රාර්ථනා, බලාපොරොත්තු තබා ගැනීම සුදුසු
නොවේ. පොදි බැඳගත් බලාපොරොත්තු කඩවනවිට සිත දුකට පත්වීම ස්වභාවයයි.
සතුටක්, සහනයක් නැත. ඒ නිසා නිතරම අප අපේ සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමට,
ආශාවන් පාලනය කර ගැනීමට, උත්සාහ කිරීම අවශ්‍යය. ආශා, බලාපොරොත්තු අඩුවූ
විට, පහසුවෙන් පෝෂණය කළ හැකි සරල අයකු බවට පත් වූ විට ජීවිතය බොහෝ
සැහැල්ලුය. එවැන්නකුගේ ජීවිතය බාහිර කිසි කෙනකුට ද බරක් නැත.
සන්තුෂ්ටියෙන් ම මනුෂ්‍ය ජීවිතය ගතකිරීමට හැකිය. බුදු දහමේ අවසන්
ඉලක්කය වන නිවන කරා ගමන් කළ හැකිවන්නේ ද එවැනි අයකුටමය.
සමහරුන් කල්පනා කරන්නේ යාන වාහන, ගේ දොර, මිල මුදල් වැනි භෞතික සම්පත්
වැඩිවූ තරමට සතුටත් වැඩි වනු ඇත කියාය. එය සත්‍යයක් නම් පොහොසතුන් ළඟ
දුක, කනගාටුව තිබෙන්නට ඉඩක් නැත. පැහැදිලිව සතුට යන්න බැහැරින් ලබාගත
හැකි දෙයක් නොවේ. එය අධ්‍යාත්මයට සම්බන්ධ වූවකි.
කෙනෙකුගේ සතුට නැතිවීමට බලපාන තවත් කාරණයක් වනුයේ අනුන්ගේ වස්තුව, සැපය
ඉවසීමට බැරි කමයි. අසල්වැසි දරුවකු හොඳින් ඉගෙන ගන්නාවිට කෙනකුට
රැකියාවක් ලැබෙනවිට ගෙයක් දොරක් හදාගන්නවිට සමහරු ඊර්ෂ්‍යා කරති.
එබැවින් අප අන් සැපතට ඊර්ෂ්‍යා නොකර මුදිතාව පුරුදු කර ගැනීමට මහන්සි
ගැනීම වැදගත් ය.
ඔබත් ඉන්ද්‍රිය පාලනය, යථාලාභ සන්තෝෂය, සුභරතාව, ධර්මානුකූ®ල ජීවිතය
ආදි උදාර ගුණාංග පුරුදු කොට සතුටින් සිටින්නට උත්සාහ කරන්න.
|