UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක 2011.06.01

මනස්ගාත පළ කිරීම

ම් පුද්ගලයකු, සිද්ධියක් හෝ මතයක් පිළිබඳ ව විවේචනයක් ලිවීම සඳහා අප පෙළඹෙන හේතු දෙකක් තිබේ. එකක් නම්, අප පාඨකයන්ගෙන් එය වසන්වීමට ඉඩදීම වරදක් ලෙස පෙනීයෑම ය. එ මඟින් සමාජයට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම දෙවැන්න යි. මෙයට අමතර ව, ‘බුදුසරණ’ට ඍජුව ම සම්බන්ධ කාරණයක දී විවේචනයක් හෝ පිළිතුරක් ලිවීම මෙහි කලින් සඳහන් කළ අවස්ථාවන්ට අයත් නැතැයි අමුතුවෙන් කිව යුතු නො වේ.

කෙ සේ වුව ද අද දින අප ගේ විවේචනයට හසුවන කරුණ පිළිබඳ ව කිව යුත්තේ, වරදකි වරද වරදක් ලෙස නො දැකීම යන කියමන ය. 2011.5.15 දිනැති ඉරිදා ලංකාදීපය සමඟ නිකුත් කළ ‘සඳැල්ල’ අතිරේකයේ ඇතුළත් ‘ලෝක විනාශය සහ විශ්ව ධර්ම රාජ්‍යය’ නමැති ලිපිය උපුටා දැක් වූ විට එම කියමනෙහි සැබෑ අරුත අප පාඨකයන්ට වැටහෙනු ඇත. අරණ්‍යවාසී භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ නමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක් යැයි සඳහන් එම ලිපියේ මෙ සේ දැක් වේ.

“මේ පෘථිවියේ පැවැත්ම රඳා පවතින්නේ මනුෂ්‍යයන් ගේ හිත නිසා. මේ හිතේ ශක්තියෙන් විසිරී පැවැති පරමාණු එකතුව පවතිනවා. මනුෂ්‍යයන් ගේ හිත අපිරිසිදු කාලයේ දී එකතු වූ දේ විසිරී යනවා.”

පරමාණුව මෙන් ම හිත පිළිබඳ ව ද මෙය වැරැදි විග්‍රහයකි. බෞද්ධ ඉගැන්වීම් අනුව, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත ගණයට විඤ්ඤාණ ධාතුව හා ආකාශ ධාතුව ඇතුළත් නො වන්නේ භෞතික පදාර්ථ ලෙස ඒවා නො සැලකෙන නිසා ය. මෙය තේරුම් ගැනීම සඳහා බලශක්ති විද්‍යාව පිළිබඳ අවබෝධයක් අවශ්‍ය කැරේ. එ මෙන් ම යම්කිසි ද්‍රව්‍යයකට හිමි රසායන ලක්ෂණ එ ලෙස ම පවතින කුඩා ම කොටස පරමාණුව බව ද කිව යුතු ය.

එම ලිපියෙහි සඳහන් ප්‍රධාන කරුණ දෙසට දැන් අපි අවධානය යොමු කරමු.

“ 2012 වසරේ නොවැම්බර් මස අවසානයේ දෙසැම්බර් මස උදාවත් සමඟ සූර්යයාගෙන් කැඩී එන කොටසක් සිකුරු ග්‍රහයාගේ වැදී එ සේ ඇතිවන ග්‍රාහක කැබලි දෙකක් පෘථිවිය දෙසට ඇදී එන බවත්, ලෝකයේ බලවත් රාජ්‍යයන් එය විනාශ කිරීමට මිසයිල් ප්‍රහාර එල්ල කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා කොටස් වශයෙන් බෙදුණු ග්‍රාහක කැබලි පෘථිවි තලය පුරා විසිරෙන බවත් උන්වහන්සේ පැවසූ හ. මෙම සිද්ධි දාමය අසා සිටිය දී බටහිර චිත්‍රපට අත්දැකීමක් සිතේ ජනිත කළ ද තවදුරටත් උන්වහන්සේ ගේ හඬට කන්දීමේ දී අප කිසියම් අනතුරක් අබියස නො වේ දැයි අප සන්තානය ම අපෙන් ප්‍රශ්න කරන්නට විය.”

සැබවින් ම මේ මනෝවිකාරය සමාජගත වූයේ ‘2012’ නමැති හොලිවුඩ් චිත්‍රපටයෙනි. රෝලන්ඩ් එමෙරිච් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද එම චිත්‍රපටයට පදනම් වී ඇත්තේ, ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් මඟින් පැවැසේ යැයි අනුමාන කැරෙන අනාවැකියකි. සූර්යයාගෙන් නික්මෙන විශාල ගිනි දැල්ලක් (සූර්ය සුනාමියක්) නිසා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස් 2012.12.21 වන දා ලෝකය විනාශ වන බව ඇතැම් අය විශ්වාස කරති. සෑම වසර විසි හය දහසකට වරක් සුර්යා හා ක්ෂීරපථයේ කේන්ද්‍රය පෘථිවිය සමග එක ම කේන්ද්‍රයක පිහිටන විරල අවස්ථාව 2012.12.21 වන දිනට යෙදී තිබීම මේ සූර්ය සුනාමි මතවාදයට යම් තාර්කික පදනමක් සපයා තිබේ. එ සේ නම් සෑම වසර විසිහය දහසකට ම වරක් ලෝකය විනාශ වන්නේ ද යන තර්කය මෙහි දී මතු කළ හැකි ය.

අරණ්‍යවාසී හිමියන් ගේ අදහස් දැක්වීමේ වැදගත් ම කොටස දෙසට දැන් හැරෙමු. “මේ ස්වාභාවික ව්‍යසන හේතුවෙන් ලංකාවේත් විනාශ ඇති වෙනවා. පෘථිවිය පුරා විසිරෙන ග්‍රාහක කොටස්වලින් නැඟෙන කම්පනය බොහෝ දේ විනාශ කරනවා. ඒ සමඟ ඇතිවන සුනාමි තත්ත්වයෙන් කිලෝමීටර් පහළොවක් පමණ දුරක් මහ සයුර රට අභ්‍යන්තරයට පැමිණීමට ඉඩ පවතිනවා.”

“ මේ කාලයේ ලොව පහළ වන සුවිශේෂී රහතන් වහන්සේ අතීතයේ කළ ප්‍රාර්ථනයක ප්‍රතිඵලයක් ලෙස ව්‍යසනයෙන් පසු යහපත් ලොවක් ගොඩනැඟීමට සම්බන්ධ වෙනවා.”

“ඒ කාලයේ එක් දිව්‍ය ලෝකයක සිටි දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ නමක ගේ පහළවීම සත්වයන්ට සැපතක් බව කල්පනා කරනවා. බුදුරදුන් ගේ පහළවීමෙන් නොයෙක් මාර්ගඵල ලාභීන්ගෙන් ලෝකය පිරීයන බැවින් තමන් ද බුද්ධත්වය ලැබිය යුතු යැයි සිතනවා. අභිඥා ඇති දෙවියන් අනාගතය බලනවා. නමුත් එය සිදුවිය නො හැකි යි. මේ නිසා තමන්ට තවත් කළ හැක්කේ කුමක්දැයි බලනවා. එහි දී පිරිහී යන බුදු සසුන නඟා සිටුවීමට හැකිවූයේ නම් හොඳයැයි දේවතාවා කල්පනා කරනවා. අභිඥාවෙන් බලන විට එය සිදුවිය හැකි බව දකිනවා. ඒ අනුව මිනිස් වෙසක් මවාගෙන දිව්‍ය ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ දීපංකර බුදුරජාණන් වහන්සේ වෙත යනවා.”

බුදුදහමේ නාමයෙන් පුවත්පතක පළකොට ඇති මේ මනස්ගාත දකින විට අන්‍යාගමිකයන් කුමක් සිතනු ඇත් ද? අහෝ! විශිෂ්ට බුද්ධි මාර්ගයකට ගිය කල?.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]