Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැපත විපත ගෙන දෙන සිත

වීර්ය කරව්, සම්බුද්ධ ශාසනයේ ප්‍ර‍්‍රතිපත්ති වශයෙන් යෙදෙව්, බට දඬුවෙන් කරන ලද ගෙයක් ඇතෙකු පොඩිකර දමන්නා සේ මාරසේනාව පාගාදමව්, යමෙකු මෙම ධර්ම විනයෙහි අප්‍රමාදීව වාසය කරන්නේ නම් ඔහු ජාති දුක්ඛයන් දුරුකොට සසර කෙළවර කරන්නේය

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ඉධ භික්ඛවේ භික්‍ඛු අනුප්පන්නානං
පාපකානං අකුසලානං ධම්මානං
අනුප්පදාය ඡන්දං ජනේති වායමති
විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති “
(අංගුත්තර නිකායේ පධාන සූත්‍රය)

පින්වත් ආර්ය ශ්‍රාවකයිනි,

අප මේ වන කොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ පින්වත් මනුෂ්‍යයෝ වෙලා ඉපදිලා ඉන්නේ. හොඳට මතකයට ගන්න. සත්ව ලෝකයම හරිම විවිධාකාරයි. ඊට හේතුව මෙම සත්ව ලෝකය තුළ තිරිසන් සත්තු පේ‍්‍රත කොට්ඨාස ආදි වශයෙන් සත්ව කොට්ඨාස ඉපදිලා දුක් විඳිමින් වාසය කරනවා. මෙම දුර්ලභ වූ සම්බුද්ධ ශාසනය තුළම එය අපි ඇස් දෙකෙන්ම දකිනවා. එම නිසා ලබාගත් මේ දුර්ලභ වූ මිනිසත් බව නිතරම කුසලයට පිනට ශ්‍රී සද්ධර්මයටම යොමුකරන්න කැමැත්ත ඇතිකර ගන්න. වීර්ය වඩන්න. නිතරම ඔබගේ සිත ඒ සඳහා යොමු කරන්න. එමඟින් තම සිත තළ නූපන් රාග ද්වේශ මෝහ මාන ඊර්ෂ්‍යාව වෛරය ආදි කෙලෙස් සිතිවිලි නූපදවීමට මහත් වූ යහපත් වීර්යක් වන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පධාන සූත්‍රයේදි දේශනා කොට වදාළ සේක.

පින්වත්නි, තම සිතට ගලාගෙන එන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව මානය අන් සැපතට සිතේ ඇතිවන වේදනාව ආදි පාප සිතිවිලි සිත තුළ ජනිත වීම වලක්වා ගැනීමට නම් සසර බිය ඇති කර ගත යුතුය . අටමහා නරකයේ හා සතර අපායේද ඉපිද දුක්විඳීමට අප කවුරුත් කැමති නෑ. එසේ නම් සසර දුක අමතක නොකළ යුතුය. ඒ සතර අපායේ ඉපදීම වළක්වාලන මාර්ගයද වේ. බුදුරජානන් වහන්සේ දේශනා කරනවා “ අනමතග්ගෝයංභීක්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති “ මහණෙනි, මාගේ බුදු නෙතටත් පේන්නෑ මේ සත්වයා සංසාරෙ වැටුනේ කවදද කියලා. මෙලෙස කල්ප ප්‍රකෝටි ගණන් ඈතට බලන්න පුළුවන් කෙනෙක් තමයි මාගේ බුදුරජාණන් වහන්සේ, එහෙත් උන්වහන්සේ බලා දේශනා කරනවා මේ සත්වයා සංසාරයට වැටුනේ කවදාද කියලා පෙන්නේ නෑ කියලා. එසේ නම් අප කොච්චර මෙම සංසාරයේදි ඉපිද ඉපිද මැරි මැරී ගමන් කරන්න ඇත්ද? කොච්චර නම් සතර අපාය මහගෙදර කරගෙන ඉන්න ඇත්ද? එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙම සසරේ ගමන් කරන සත්වයා වැඩිපුරම ඉපදෙන්නේ සුගතියේ නොව දුගතිවල බව. බුදුරජාණන් වහන්සේ දිනක් තම නිය පිටට පස් ස්වල්පයක් තබා භික්‍ෂූන් අමතා මහණෙනි, මේ පොළවේ ඇති පස් වලින්, නිය පිට ඇති පස් වලින් වැඩි කවරක් දැයි විචාළ සේක. එවිට භික්‍ෂූන් වහන්සේලා පිළිතුර දෙන්නේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, පොළවේ ඇති පස් ප්‍රමාණය වැඩි බවත් නියෙහි ඇති පස් ස්වල්පයක් බවත්ය. එසේ නම් මහණෙනි, මාගේ නියපිට ඇති පස් මද වන්නාක් මෙන් මිනිස් ලොවින් චුත වූ මිනිස් ලොවම උපදනා සත්වයෝ මද වන්නාහ. එසේම මහ පොළවේ පස් මෙන් මිනිස්ලොවින් චුතව නැවත නරකයෙහි උපදවා සත්වයෝ බොහෝ වන්නාහයි, වදාළ සේක. පින්වතුනි, මෙයට හේතුව තමයි තමාගේ සිත තුළ ඇතිකර ගන්නා වු අධික තෘෂ්ණාව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව , සත්ව වධහිංසාව, ගුණමකු බව,අනුන්ගේ දෑ සෙවීම, වැනි පාප සිතිවිලි වලම තම සිත නිමග්නව නිකරුණේ මෙම ලබාගත් මිනිස් දිවිය ගෙවා දැමීමයි. කොටින්ම කියතොත් පිං කුසල්, කෙරෙහි සද්ධාව නැතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ නව අරහාදි බුදුගුණ අමතක කරලා චතුරාර්ය සත්‍යයට සිත යොමු නොකිරීමයි. ආර්ය ශ්‍රාවකයා තුනුරුවන් කෙරෙහි සිත අවංක ලෙස සිහියෙන් පිහිටන කෙනෙක්. එම ආර්ය ශ්‍රාවකයා නිරය, තිරිසන්, පේ‍්‍රත,අසුර යන අපායවල ඉපදීමට කොහෙත්ම කැමති නැහැ. එම පුද්ගලයා අටමහා නරකයේ ඇති බිහිසුණු බව මෙනෙහි කරනවා.

ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනේ
ධුනාථ මච්චුනෝ සේනං නළාගාරං ච කුඤ්ජරෝ
යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තෝ විහෙස්සති
පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති (බ්‍රහ්ම සංයුක්තය)

මෙයින් අර්ථවත් වන්නේ වීර්ය කරව්, සම්බුද්ධ ශාසනයේ ප්‍ර‍්‍රතිපත්ති වශයෙන් යෙදෙව්, බට දඬුවෙන් කරන ලද ගෙයක් ඇතෙකු පොඩිකර දමන්නා සේ මාරසේනාව පාගාදමව්, යමෙකු මෙම ධර්ම විනයෙහි අප්‍රමාදීව වාසය කරන්නේ නම් ඔහු ජාති දුක්ඛයන් දුරුකොට සසර කෙළවර කරන්නේය යනුවෙනි. මෙහි මාරසේනාව යනු කෙළෙස්වලට කියන යෙදුමකි. කෙළෙස් නැති කිරීමට නම් සිල් රැකීමත් , දන් දීමත්, භාවනාවෙහි යෙදීමත් කළයුතුව පතිනවා. මේ ලෝකයේ දිව්‍යලෝකවලට, බ්‍රහ්මලෝකවලට වඩා සකල ලෝක ධාතුවටම අධිපතිකමටත් වඩා සෝවාන් ඵලයට පත්වීම උතුම් දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයට හේතුව මාර සේනාව නැති කිරීම සඳහා පුරන ලද මුල් පියවරක් නිසා. ඒ කියන්නේ රහත් ඵලයේ පිවිසුම් දොරටුව සෝතාපන්න ඵලය වන නිසාමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “ චක්කංව වහතෝ පදං “ අප්‍රසාද මනසකින් යම් ක්‍රියාවක් කරනවා නම් ඔහුව ගොනා පසුපස යන කරත්ත රෝදය මෙන් දුකට පත් කරන බවත්. එසේම ප්‍රසන්න මනසකින් යම් ක්‍රියාවක් කරනවානම් ඡායාච අනපායිනී “ තමා පසුපස එන සෙවනැල්ලක් මෙන් සැප විපාක ලබන්නත් පුළුවන් කියලා. එසේ නම් සෑම දුකකටම විපතකටම සැනසීමකටම මූලබීජය වන්නේ සත්වයාගේ චිත්තයමයි.

තෙරුවන් සරණයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.