Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය
 

ආදී බෞද්ධයන් විශ්වාස කෙළේ දර්ශක ඇසුරෙන් අවස්තුක බුදුන්වහන්සේ සිටින බව යි. ඒ බුදුන් වහන්සේ වැඩ සිටින ස්ථාන ලෙස දර්ශක භාවිතා කොට තිබේ. එකල බෞද්ධයන් වැන්දේ දර්ශකවලට නො ව, ඒවා ආශ්‍රය කරගෙන අවස්තුක ව වැඩ සිටින බුදුන් වහන්සේට ය. පසු ව බුදුන් වහන්සේ අමතක වි දර්ශකවලට වැඳීමේ සම්ප්‍රදායයක් ඇති වී එය දැනටත් භාවිත වෙයි.

බුදුන් වහන්සේ සවස්තුක (Subjective)  නො ව අවස්තුක ( Objective) බව කාලිංග බෝධි ජාතකයේ සඳහන් වෙයි. බෞද්ධ ත්‍රිපිටකයට අනුව ද එය එ සේ ය. පරමාර්ථ වශයෙන් බුද්ධ යනු ධර්මය හෙවත් ධර්මකාය යි. විශේෂ වශයෙන් එයින් අදහස් වන්නේ පටිච්චසමුප්පාදය යි. එය හැමකල්හි පවතින්නකි (ඨිතාව සා ධාතු ධම්මට්ඨිතාව ධම්ම නියාමතා) එය නිෂ්පුද්ගල වනවා පමණක් නො ව ජාති, ජරා ව්‍යාධි හා මරණවලින් ද තොර ය. එය ඇස, ඤාණය , ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය ලෙස ද හැඳින්වේ. තථාගත යනුවෙන් ද එය හැඳින්වේ. නිර්වාණ ධාතු, අපේ ඇස්වලට නොපෙනෙන එහෙත් ප්‍රඥාවට හසුවන ඒ බුද්ධ නියම බුදුහාමුදුරුවෝ ය. උන්වහන්සේ දකිනු ලැබිය හැක්කේ ප්‍රඥාවන්තයන් විසින් පමණි. (පඤ්ඤාවන්තස්සායං ධම්මො) රූපයක් නැති (අප්පටිම) පුද්ගලයකු ද නොවන, ධර්මභූති වූ බුදුන් වහන්සේ කෙනකු ගේ අනාශ්‍රව ධර්ම සන්තානය යි. එහෙයින් මනෝ මාත්‍රයක් (මනමත්තකමෙව) ලෙස පිළිගෙන තිබේ.

ගැටලුව

සුද්දෝධන රජු ගේ හා මහාමායා දේවිය ගේ පුත් සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලැබීමෙන් පසු බුද්ධ යනුවෙන් හඳුන්වනු ලැබී ය. ඒ අනුව ඒ බුදුවරයා පුද්ගලයෙක් නො වේ ද? බුදුන්වහන්සේ අවස්තුක ද? ඒ බුදුන්වහන්සේ ගේ ශරීරය (රූපකාය) බුද්ධ නොවන බව සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ වක්කලී හිමියන්ට හා දෝණ බමුණාට කළ ප්‍රකාශවලින් පැහැදිලි විය. ඒ ශරීරය තුළ වූ ධර්මය (ධර්මකාය) පමණක් බුද්ධ වන නිසා ධර්මය දකින්නා බුදුන් දකින බව (යො ධම්මං පස්සති සෝ මං පස්සති) ප්‍රකාශ කර තිබේ. මේ අනුව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පරමාර්ථ වශයෙන් බුද්ධ නො වෙති.

ඒ පුද්ගලයා ගේ අනාශ්‍රව ධර්ම සන්තානය හෙවත් ධර්මකාය බුද්ධ වෙයි. එසේනම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධ ලෙස හැඳින්වීම වරදක් ද? නැත. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මුති වශයෙන් බුද්ධ වෙති.

සම්මුති බුදු කෙනකු වශයෙන් ඓතිහාසික කෙනකු හැඳින්වීම නිසා මිනිසුන්ට වැරැදි වැටහීමක් ඇතිවීමට ඉඩ තිබේ. දත යුතු දේ දත්තා වූ ද, ප්‍රහාණය කළයුතු දෑ ප්‍රහාණය කළා වූ ද, වැඩිය යුතු දෑ වැඩුවා වූ ද, තැනැත්තාට බුද්ධ යයි කිය හැකි බව සිද්ධාර්ථ ගෞතමයෝ ම ප්‍රකාශ කරති. එහෙත් පරමාර්ථ වශයෙන් බුද්ධ යනු මනුෂ්‍ය, දේව, ගන්ධබ්බ හෝ යක්ෂයකු නොවන බව ද පෙන්වා දී තිබේ. මනුෂ්‍යයකු ව ඉපිද බුද්ධත්වය ලැබීමෙන් පසු ඒ මනුෂ්‍යයා බුදු කෙනකු ලෙස හැඳින්වීමට මේ අනුව නො හැකි ය. මෙයින් ප්‍රකාශ වන්නේ ද සිද්ධාර්ථ ගෞතමයන් ගේ මිනිස් කය බුද්ධ නොවන බව යි. එහෙත් ඒ කය තුළ බුද්ධ හෙවත් ධර්මකාය විය.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සිය විමුක්තිය සම්පූර්ණ කරගත්තේ් පරිනිර්වාණ දෙකකට පසු ව ය. පළමුවෙන් උන්වහන්සේ කෙලෙස් වලින් මිදුණ හ. දෙවනු ව ස්කන්ධයන් ගෙන්ද මිදුණ හ. ඊට පසු ධර්මකාය හැර වෙනත් දෙයක් ශේෂ ව නැත. ඒ ධර්මකාය තථාගත බුද්ධ යන නම්වලින් ද හැඳින් වේ.

මෙහි දී තවත් ගැටලුවක් පැන නඟී. ඓතිහාසික බුදුවරයා හා පරමාර්ථ බුදුවරයා වෙන් කොට හඳුනා ගැනීම පිළිබඳ ගැටලුවයි. ඒ සම්මුති බුද්ධ යන්න ව්‍යවහාර පහසු ව සලකා භාවිත වූවකි. ඒ බුද්ධ ඇත්ත වශයෙන් ම බුද්ධ නො වේ. එහෙත් සම්මුති බුද්ධ තුළ පරමාර්ථ බුද්ධ විය.

සම්මුති බුද්ධ යනු බුද්ධත්වය ලැබූ මනුෂ්‍යයකු බව මීට කලින් පෙන්වා දුනිමි. ඒ මනුෂ්‍යයා සත්‍ය වශයෙන් බුද්ධ නො වේ. එහෙත් ඒ මනුෂ්‍යයා තුළ සත්‍ය බුද්ධ විය. මේ අනුව බුදුවරුන් දෙවර්ගයක් ගැන කරුණු තිබේ. ඊට අමතර ව තවත් බුදුවරු වෙති. මහායාන බුදුදහමේ පිළිගෙන ඇති ධ්‍යානි බුදුවරයන්ය ඒ. මහායාන ත්‍රිකායෙන් සම්භෝගකායට ඒ බුදුවරු අයත් වෙති. වෛරෝචන, අක්‍ෂෝත්‍ය, රත්තසම්භව, අමිතාභ හා අමොඝසිද්ධි යනුවෙන් ප්‍රධාන ධ්‍යාන බුදුවරු පස්නමකි. ඊට අමතර ව වජ්‍රසත්ව නමැති ආදිබුද්ධ ද වෙයි. පශ්චාත් මහායානිකයෝ ආදී බුද්ධ ප්‍රතික්ෂේප කළ හ.

සංකල්පීය බුද්ධ

ඓතිහාසික ගෞතම බුදුන් වහන්සේ ගේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු අවස්තුක බවට පත් සම්මත බුදුන්වහන්සේ යළි සවස්තුක කිරීමේ උත්සාහයක් විය. ඒ අනුව රචිත සුත්‍ර තුනක් වෙයි. ඉන් මහාපදාන හා ලක්ඛන සූත්‍ර දීඝ නිකායේ ද, බ්‍රහ්මායු සූත්‍රය මජ්ඣිම නිකායේ ද වෙයි. ශාරීරික මහාපුරුෂ ලක්ෂණ 32 කින් යුත් බුදු කෙනකු ලෙස ගෞතම බුදුන් වහන්සේ මේ සූත්‍රවල දැක්වෙයි. මෙයට අමතර ව අනුව්‍යඤ්ජන අසූවක් ද, ව්‍යාමප්‍රභා, කේතුමාලා, රංසිජාල, සරීරප්පභා සහ කරුණා රංසි යන බුදුරැස් වර්ග පහ ද සිරිපතුල්වල 108 මංගල ලක්ෂණ ද සහිත මහාපුරුෂ කයක් ඓතිහාසික බුදුවරුන්ට මෙන්ම ධ්‍යානී බුදුවරුන්ටද දී තිබේ.

ඉහත සඳහන් සංකල්පීය බුදුන් වහන්සේ ගේ ශරීරය ක්‍රි.පූ. 6 වන සියවස සිට ක්‍රි.ව. 12 වන සියවස දක්වා වර්ධනය වූවකි. එය ප්‍රධාන වශයෙන් ශාරීරික වර්ධනයකි. ත්‍රිපිටකයේ 3 වන ස්ථරයේ සූත්‍ර තුනක සම්මා සම්බුද්ධ හා චක්කවත්ති යන දෙදෙනට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන බව සඳහන් වෙයි. 4 වන ස්ථරයට අයත් බුද්ධවංශයේ රංසිජාල හා ව්‍යාමප්පභා සඳහන් වෙයි.

එහෙත් අසීත්‍යානු ව්‍යඤ්ජන ගැන ත්‍රිපිටකයේ නාමික ව හෝ සඳහන් නො වේ. ආපදානපාලියේ ව්‍යාඤ්ජන යන්න සඳහන් වෙත’නත් එයින් අසීත්‍යනු ව්‍යඤ්ජක අදහස් වන බව කිය නො හැකි ය. පාලිමුත්තක අට්ඨකථාවල අසීත්‍යනුව්‍යඤ්ජන යන්න හමු වෙතත්, ඊට අයත් ලැයිස්තුව දී නැත. පළමුවරට එය දක්නට ලැබෙන්නේ 12 වන සියවසට අයත් ජිනාලංකාරවණ්ණනාවේ ය.

ත්‍රිපිටකයේ 4 වන ස්ථරයට අයත් සේ සැලැකිය හැකි බුද්ධ වංසයේ බුදු සිරිපතුල්වල ධජ, වජිර පතාක අංකුශ හා වඩ්ඪමාන යන ලකුණු පහ ඇති බව සඳහන් වෙයි. 13 සියවසට අයත් සිංහල ග්‍රන්ථයක් වන පූජාවලියේ බුදු සිරිපතුල්වල මංගල ලක්ෂණ 108 ක් වූ බව කියා තිබේ. සංකල්පීය බුදුන්වහන්සේ ගේ උස පිළිබඳ ව ද විවධ නිගමන තිබේ. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් පිළිගෙන ඇති පරිදි ගෞතම බුදුන් වහන්සේ ගේ උස රියන් (භක්ෂ) 18 (= අඩි 36) යි. අනාගතයේ බුදු වන මෛත්‍රිය බුදුන් වහන්සේගේ උස රියන් 88 (= අඩි 176) යි.

වර්ගීකරණය

ඉහත සඳහන් ඓතිහාසික බුදුන් වහන්සේ එක් වර්ගයකටත්, සංකල්පීය බුදුන් වහන්සේ එහි ම උප වර්ගයකටත් අයත් ය. මහායානිකයන්ට අනුව පළමු වර්ගය නිර්මාණකායටත්, එහි උප වර්ගය සම්භෝගකායටත් අයත් ය. මේ වර්ග දෙකේ ම බුදුවරුන්ට කලින් සඳහන් කරන ලද දෙතිස්මහා පුරුෂ ලක්ෂණ, අසීත්‍යනුව්‍යඤ්ජන, ව්‍යාමප්‍රභා, කේතුමාලා, රංසිජාල, සරීරප්පහා, කරුණාරංසි මංගල ලක්ෂණ වලින් සමන්විතය. මහාපුරුෂ කයක් වෙයි. කලින් සඳහන් නියම බුද්ධ වන ධර්මකායට එවැනි ඇසට පෙනෙන ලක්ෂණ නැත.

මතෙක් සාකච්ඡා කළ කරුණු අනුව බැසගත හැකි නිගමනය වනුයේ බුද්ධ සවස්තුක ( Subjective ) හා අවස්තුක ( Objective ) වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන බව යි.

ක්‍රි.පූ 1 වන සියවසේ දෙවන භාගයට පෙර පොදුවේ පිළිගෙන තිබුණු ආකාරයට බුද්ධ අවස්තුක යි. කාලිංගබෝධි ජාතකයේ ත්‍රිවිධ චේතියවලින් උද්දේසික චේතිය එ සේ අවස්තුක බව කියා තිබේ. වෙනත් අටුවාවක උද්දේසික චේතිය බුදුපිළිමය බව කියා තිබේ. එහෙත් ආදි ම බෞද්ධ කලාවේ බුදුන් වහන්සේ සවස්තුක ව දක්වා නැත. ඒ බුදුන් වහන්සේ පෙනී සිටිය යුතු තැන්වල ඇත්තේ දර්ශක පමණි. දර්ශක බුද්ධ සංකේත නො වේ. බෝධිය, බෝධිය සහ ආසනය, ආසනය, සිරිපතුල් ලකුණ වැනි දර්ශක අප තුළ බුද්ධානුස්සතිය ඇතිකරවන වස්තු පමණි. ඒ වස්තු එ සේ තෝරා ගත්තේ ඓතිහාසික බුදුන් වහන්සේට ඒවායේ සම්බන්ධයක් පැවැති බැවිනි. සම්භාවනීය කෙනකු ගේ මරණයෙන් පසු ඔහු පරිහරණය කළ දේවල් කෞතුක භාණ්ඩ ලෙස සැලැකීම අදත් තිබේ. ඒ වස්තු දකින විට ඒවා පරිහරණය කළ පුද්ගලයා අපේ සිහියට නැගෙයි. ඒ අනුව ඒ වස්තු ද දර්ශකයෝ ය. නියම බුදුන් වහන්සේට ශරීරයක් නැති නිසා සංකල්පීය ශරීරයක්දී බුදු පිළිමය නිර්මාණය කර තිබේ. එය ද දර්ශකයකි. ඒ පිළිමය දැකීමෙන් අප සිත තුළ බුද්ධානුස්සතිය ඇති වෙයි.

ආදී බෞද්ධයන් විශ්වාස කෙළේ දර්ශක ඇසුරෙන් අවස්තුක බුදුන්වහන්සේ සිටින බව යි. ඒ බුදුන් වහන්සේ වැඩ සිටින ස්ථාන ලෙස දර්ශක භාවිතා කොට තිබේ. එකල බෞද්ධයන් වැන්දේ දර්ශකවලට නො ව, ඒවා ආශ්‍රය කරගෙන අවස්තුක ව වැඩ සිටින බුදුන් වහන්සේට ය. පසු ව බුදුන් වහන්සේ අමතක වි දර්ශකවලට වැඳීමේ සම්ප්‍රදායයක් ඇති වී එය දැනටත් භාවිත වෙයි.

ත්‍රිවිධ චේතිය

ශාරීරික පාරිභෝගික හා උද්දේසික යනුවෙන් චේතිය වර්ග තුනක් වෙයි. ශාරීරික යනු ඓතිහාසික ගෞතම බුදුන්වහන්සේ ගේ භෞතික ශරීරයේ කොටස් ය. සම්මුති වශයෙන් පමණි. ඒවා බුද්ධ ශරීරයේ කොටස් වනුයේ. මහායාන බෞද්ධයන් බුද්ධ ශරීරය ලෙස පිළිගත්තේ ධර්මය යි. ඒ අනුව ථෙරවාදීන් ඓතිහාසික බුදුන් වහන්සේ ගේ භෞතික ශරීරයේ කොටස් ද මහායානිකයන් නියම බුද්ධකාය වන ධර්මයේ කොටස් ද ස්තූපවල තැන්පත් කර පිදූ හ. ඓතිහාසික බුදුන්වහන්සේ පරිභෝග කළ වස්තු, විශේෂයෙන් ශ්‍රී මහා බෝධිය පාරිභෝගික චේතියකි. ඊට අමතරව උන්වහන්සේ පරිභෝග කළ සිවුරු, පාත්‍රය වැනි වස්තු ද පාරිභෝගික චේතිය ගණයට අයත් ය.

උද්දේසික චේතියට ඓතිහාසික බුදුන් වහන්සේ ගේ ආසනය මුල් කාලයේ දීත් සංකල්පීය බුදුපිළිමය පසු කාලයේදීත් අයත් විය. සංස්කෘත චෛත්‍ය යන්න වෛදික යුගයේ යාගස්ථානය හැඳින්වීමට භාවිත චයන. චිති, චිත්‍ය යන ව්‍යවහාරයන් ප්‍රභවය සපයා තිබේ.

සතපථ බ්‍රාහ්මණගේ චිත්‍යයන්න කලින් පැවැති සමාන ව්‍යවහාර වෙනුවට භාවිත වූවකි. තෛත්තිරීය බ්‍රාහ්මණයෙහි අග්නි චිත්‍යයට පූජා පැවැත්වූ බවද සඳහන් වේ. චෛත්‍ය යන්න මුල්වරට දක්නට ලැබෙන්නේ අශ්වලායන ගෘහ්‍ය සූත්‍රයේ ය. චෛත්‍යයකට පවත්වන පූජා එයින් අදහස් වෙයි. චෛත්‍යයඥ යන්නෙන් දෙවියකුට භාරයක් ඔප්පු කිරීම අදහස් වෙයි. අශ්වලායන ගෘහ්‍ය සූත්‍ර අටුවාවේ එවැනි (යඤාස්ථාන) (පූජාස්ථාන) හා ඒවාට සම්බන්ධ දෙවිවරුන් ගැන ද සඳහන් වෙයි. ශබ්ද කල්පදෘමය චෛත්‍ය යන්නෙන් යඥාස්ථාන අදහස් වන බව කියයි. අශ්වලායන ගෘහ්‍ය සූත්‍රයට අනුව එවැනි යඥාස්ථානවලට සම්බන්ධ දෙවිවරු වූහ. ශංකර, පශුපති, ආර්ය්‍යා, ජ්‍යෙෂ්ඨ ඒ දෙවිවරු ය.

මේ තොරතුරුවලින් පැහැදිලි වන්නේ චෛත්‍ය යනු යඥස්ථානය මිස පූජා ලබන දෙවියා නොවන බවයි. සුජාතාව ගේ කිරිපිඬු දානයෙන් මෙය තවත් තහවුරු වෙයි. සුජාතා භාර වූයේ නුග ගසක දෙවියාට ය. ඇය කිරිපිඬු පිදුවේ ඒ ඒ දෙවියා ලෙස සලකා ගස යට හිදි බෝධි සත්ත්වයන්ට ය. මෙවැනි සාධකවලින් තහවුරු වන්නේ චෛත්‍ය යනු දේවස්ථානය හෙවත් දෙවියන් වාසය කරන ස්ථානය බවයි. බැතිමතුන් පූජා පැවැත්වූයේ ඒ ස්ථානවල දෙවියන්ට මිස ඒ ස්ථානවලට නො වේ. ඒ අනුව චෛත්‍ය ශබ්දයෙන් සේවස්ථානය මිස දෙවියා අදහස් නො වේ. ප්‍රායෝගික වශයෙන් දේවස්ථානය හෙවත් චෛත්‍යය දර්ශකයක් වශයෙන් අදාළ දෙවියන් සිහියට නංවා ගැනීමට උදව් වෙයි. ඒ අනුව පූජා පැවැත්විය යුත්තේ ඇසට පෙනෙන දේවස්ථානයට නොව, ඇසට නොපෙනෙන දෙවියන්ට ය. මෙහි මීළඟ වර්ධන අවස්ථාවේ දී සංකල්පීය වශයෙන් ඒ දෙවියන් ස්වස්තුක ව (ප්‍රතිමාවක් වශයෙන්) නිර්මාණය කර දේවස්ථානයේ තැන්පත් කරන ලදී. එතැන් සිට මිනිස්සු ඒ දේවරූපයට පූජා පැවැත්වීමට පුරුදු වූහ. මේ පුරුද්ද අදත් පවතී. එහෙත් මෙහි දේවරූපය ද දර්ශකයකි.

දෙවියන් වෙනුවට දර්ශකවලට වඳින්නට පුදන්නට මිනිසුන් ඛ්ුරුවූවාක් මෙන්, බෞද්ධයෝ ද පසු කාලයක සිට බුදුන් වහන්සේ වෙනුවට දර්ශකවලට වඳින්නට පුදන්නට පටන්ගෙන අද දක්වා එය සම්ප්‍රදායයක් ව පවතී. අරමුණක් වශයෙන් බුදුන් වහන්සේ සිහියට නඟා ගත හැකි මේ දර්ශක නිසා එසේ සිහියට නඟා ගන්නා බුදුන්ි වහන්සේ ආලම්බනයෙන් අපට සතුටක් ලැබේ. ශ්‍රී ලංකාවේ පැරැණි බෞද්ධයෝ එය බුද්ධාලම්බන පී‍්‍රතිය ලෙස හැඳින්වූහ. තවදුරටත් ඒ බුද්ධාලම්බනය අරමුණු කොට භාවනාවෙහි යෙදෙන ප්‍රඥාවන්තයකුට නියම බුදුන් දැක්ක හැකි ය. බෞද්ධයන් ගේ් කාර්යය විය යුත්තේ් එය යි. එහෙත් එසේ නොකර බුදුන් වහන්සේ සිහියට නඟා ගැනීමට උදව් වන දර්ශකවලට වැඳීමෙන් පිදීමෙන් සෑහීමට පත් වෙති. මෙය නිවනට මාර්ගය නො වේ. චේතිය වන්දනාව බියට පත් මිනිසුන් විසින් කරනු ලබන්නක් බවත් එයින් සියලු දුකින් මිදිය නො හැකි බවත් ප්‍රකාශ කළ හ. එයින් නිවන් දැකිය නොහැකි වුවත් ලෞකික වශයෙන් බිය කළමනාකරණය කරගත හැකි නිසා මනෝචිකිත්සීය ප්‍රයෝජනයක් තිබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.