UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2011.05.02

පිළිවෙතින් පෙළ ගැසීම

පිළිවෙතින් පෙළ ගැසෙමු යනුවෙන් සඳහන් දැවැන්ත පුවරු හා බැනර් ආදිය මේ දිනවල බොහෝ පළාත්වල දක්නට ලැබේ. තව දින පහළොවකින් උදාවන 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට ප්‍රදර්ශනය කැරෙන මේවා ලොවට පවසන සත්‍යය නම් ශ්‍රී ලාංකික බෞද්ධයන් තවමත් බෞද්ධ පිළිවෙත් පුරා නොමැති බව ය. එහෙත් 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මඟින් යම් සමාජ උත්තේජනයක් ඇති වී නැතැයි කීමට නුපුළුවන. මෙහි දී ප්‍රශ්නයකට ඇත්තේ, එම උත්තේජනය සමාජ උන්නතිය සඳහා කුමන ආකාරයට ප්‍රයෝජන ගත හැකි ද යන්න ගැන සාකච්ඡා වී නො තිබීම ය. අවම වශයෙන් 2500 වන බුද්ධ ජයන්ති සැමරුම සමාජයට කළ බලපෑම ගැන මෙහි දී තක්සේරුවක් තිබිය යුතු නො වේ ද?

මහාචාර්ය ජී.පී. මලලසේකර, පී.ද ඇස් කුලරත්න, ඇල්.එච්.මෙත්තානන්ද, තෙන්නකෝන් විමලානන්ද වැනි ගිහි බෞද්ධ නායකයන් පිරිස 2500 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය සිහියට ගත යුතු ව තිබිණ. එම බෞද්ධ නායකයන් ගේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත අවබෝධ කැර ගැනීමට බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාව පිළිබඳ සිද්ධිය හොඳ නිදසුනකි.

බුද්ධාගම පිළිබඳ කතිකාවතක් සම්පාදනය කොට ඒ අනුව ස්වාධීන ව පාලනය කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත් ඒ සඳහා කොමිෂන් සභාවක් පත් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින යෝජනාව බෞද්ධ මහා සම්මේලනය විසින් සම්මත කොට ඇත්තේ 1950 දෙසැම්බර් මස 17 වන දින දී ය. ඊට නිසි ප්‍රතිචාරයක් නො ලැබුණු බැවින් බුද්ධාගම හා රාජ්‍යය (Buddhism and State ) යනුවෙන් කුඩා පොතක් පිළියෙළ කොට මුද්‍රණය කරවා 1951 අප්‍රේල් මස 25 වන දා අගමැති ඩී.ඇස්. සේනානායක මහතා වෙත යවා තිබේ. එයට ද ප්‍රතිචාරයක් නො ලද නිසා 1953 දෙසැම්බර් මස 27 වන දා බෞද්ධ සම්මේලනය විසින් ම බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවක් පත් කරන ලදී. ශ්‍රී ලංකාද්වීපයේ තත්ත්වය පිළිබඳ තොරතුරු පරීක්‍ෂා කොට ලක්දිව බෞද්ධයන් විසින් බෞද්ධ පරිසරයක් ඇති ව ධර්මානුකූල ව සකලාංග සම්පූර්ණ ජීවිතයක් ගත කළ හැකි වන සේ කවර දේ අවශ්‍ය ද ඒ අවශ්‍යතාවන් කෙ සේ පරිපූර්ණ කටයුතු ද යන කරුණු ගැඹුරින් සාකච්ඡා කර බැලීම එහි අරමුණ විය. මහජන අදහස් විමසීම සඳහා 1954 ජූනි මස 26 වන දා සිට 1955 මැයි මස 22 වන දා දක්වා රටපුරා රැස්වීම් 37 ක් පවත්වා එහි වාර්තාව 1956 පෙබරවාරි 4 වන දා මහා සංඝයා වහන්සේටත්, බෞද්ධ මහජනයාටත් පිළිගන්වා තිබේ. ඉන්පසු මේ වාර්තාවෙහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කොන්දේසිය ඇතුළු දස පනතක් ප්‍රධාන දේශපාලන පක්‍ෂ වෙත බෞද්ධ නායකයෝ ඉදිරිපත් කළ හ. එම දස පනත බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ විසින් පමණක් පිළිගත් බව ද 1956 අප්‍රේල් මස පැවැති මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතාට විශිෂ්ට ජයක් අත් වූ බව ද ඉතිහාසගත කරුණු ය.

2500 වන බුද්ධ ජයන්ති වැඩපිළිවෙළ සමාජ උන්නතිය සඳහා උපයෝගී වූ ආකාරය පිළිබඳ නිදසුනක් 1956 බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවේ පුනර් මුද්‍රණයට තිරුකුණාමලේ ආනන්ද අනුනාහිමි හා දේශබන්ධු ඕල්කට් ගුණසේකර මහතා ලියූ පෙරවදනෙහි සඳහන් ය. එහි මෙ සේ දැක් වේ.

“එවක බෞද්ධ නායකයන් ඒකරාශී ව 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් කරන ලද පේ වීම නිසා මහත් සමාජ ප්‍රබෝධයක් ඇති වූ බව ප්‍රකට ය. නැති වී ගිය බෞද්ධ අයිතිවාසිකම් යළි ලබා ගැනීමට ඔවුන් විසින් අහිංසක සටනක් ආරම්භ කරන ලද්දේ 2500 බුද්ධ ජයන්තියටත් බොහෝ කලකට පෙර ය. වෙසෙසින් ම 1946 සිට 1956 වසර තෙක් බෞද්ධ ජනතාව ගේ පේ වීමෙන් සමාජයට අත් වූ සුන්දර ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන සාධක වලින් දැක්ක හැකි ය. 1946 ශ්‍රී ලංකාවේ ජනගහනය හැට දෙ ලක්‍ෂයක් විය. පොලිස් වාර්තා අනුව ඒ වසරෙහි අපරාධ සංඛ්‍යාව 34,000 කි. 1956 වසරෙහි ජනගහනය අසූ පන් ලක්‍ෂයකි. ජනගහන වර්ධනයත් සමඟ අපරාධ සංඛ්‍යාව ද ඉහළ යා යුතු ය. එහෙත් ඒ වසරෙහි අපරාධ සංඛ්‍යාව 18, 000 ට බැස තිබිණ. මේ 2500 බුද්ධ ජයන්තියෙන් ජනතාව හිමි කැර ගත් එක් සුන්දර ප්‍රතිඵලයකි.”

මෙබඳු ප්‍රතිඵලයක් 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමෙන් ද අප ලබා ගත යුතු ය. එ බඳු ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ගැඹුරු සමාජ ක්‍රියාවලියක් අවශ්‍ය කැරේ. එය 2500 වන බුද්ධ ජයන්තියේ දී වසර හයක පමණ කාලයක් පුරා සිදු වූ අයුරු මෙහි ඉහත සඳහන් කළ කරුණු මඟින් අප පාඨකයන් දැනගන්නට ඇත. එහෙත් එම වැඩපිළිවෙළ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නො ලැබිණ. මේ අවස්ථාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ආරම්භක අවධියේ සිට ම ලැබී තිබිය දී හරවත් සමාජ ජයග්‍රහණයක් ලබා ගත නො හැකි වුවහොත් කෙ තරම් කනගාටුවට කරුණක් ද?

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]