UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදු දහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව බුදු රජාණන් වහන්සේ එක් දේවතාවකු වෙත දෙසූ ගාථා පාඨයක් වූ ‘කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න ඇසූ විට උන් වහන්සේ සද්ධීද චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනුවෙන් ශ්‍රද්ධාව පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම ශ්‍රද්ධාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර:
’ධම්ම පද’ ග්‍රන්ථයෙහි ප්‍රකීර්ණක වර්ගයෙහි ලෞකික හා ලොකෝත්තර වශයෙන් ශ්‍රද්ධා වෙහි ප්‍රභේද දෙකක් පෙන්නුම් කර ඇත. සද්ධො සීලෙන සම්පන්නො යසො භෝග සම්පතො යනුවෙන් දැක්වෙන පරිදි සද්ධො යන්න ලෞකික හා ලොකෝත්තර යනුවෙන් විස්තර කරයි. මෙහි ත්‍රිවිධ ගුණ මෙනෙහි කොට කුසල ධර්ම කෙරෙහි සිත පැහැදවීම ලෞකික ශ්‍රද්ධාවයි. මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කිරීමෙන් නිවන් අරමුණු කොට සිත පහදා ප්‍රසන්න තත්ත්වයකට පැමිණීම ලෝකෝත්තර සද්ධා නම් වෙයි. මෙවැනි ශ්‍රද්ධාවන් ලැබූ පුද්ගලයා සීලයෙන් යුක්ත යසස් ඇති සම්පත් ඇති නිසා ඒ තැනැත්තා සෑම තැනදීම පුදනු ලැබීමට සුදුසු බවද සඳහන් වෙයි. බෞද්ධ ශ්‍රද්ධාව ශෝභන චෛතසිකයක් වශයෙන් අභිධර්මයෙහි සඳහන් වෙයි. චෛතසික කාණ්ඩයෙහි ශෝභන චෛතසික 25 අතුරින් 19 වන ශෝභන සාධාරණ වශයෙන් දැක්වීමෙහිදී මුලින්ම සඳහන් වන්නේ ‘සද්ධා’ චෛතසිකයයි. මෙහි සද්ධා නම් සිත්හි යෙදෙන බුද්ධාදී උතුමන් අරමුණුකොට සම්ප්‍රයුක්ත ධර්මයෙන් පහදවන ස්වභාවයයි.

ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ දෙකක් මෙහිදී විස්තර කරයි. එනම් ‘සම්පසාදන ලක්ෂණ සම්පක්ඛන්ධන ලක්ෂණය’ වශයෙනි. මිළින්ද ප්‍රස්නයෙහිදී මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් ශ්‍රද්ධාවෙහි ලක්ෂණ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට මේ ලක්ෂණ දෙකම කමණීය නිදර්ශන දෙකකින් හඳුන්වා දෙයි. සම්පාදන ලක්ෂණය විස්තර කරන්නේ මෙසේය. චක්‍රවර්ති රජකුගේ ‘උදකප්‍රසාදක මාණික්‍ය කැලැත්තූ බොරදියට දැමූවිට බොර මඩ සෙවෙල් ඈ අපිරිසුදු දේ බැහැර වී ජලය ඉතා නිර්මල බවට පත්වන්නාක් මෙන් ශ්‍රද්ධාවන්ත සිත අති ප්‍රසන්න වෙයි. එසේ ශ්‍රද්ධාව ඇතිවත්ම පංච නීවරණාදී ක්ලේශ ධර්මයන් යටපත්වී සිත මනාව ප්‍රසන්න වන්නේ ය. සම්පඛන්ධන ලක්ෂණය විස්තර කරන මිළින්ද ප්‍රශ්නය මෙසේ විස්තර කරයි. මහා මේඝයක් පර්වත මුදුනින් ඇද හැලී කඳු ගල් පස් ඈ යටකරමින් යන සැඩ ගැඹුරු ගඟ දිය දැක දෙපසින් ආ ජනයා ජල ඕඝයට බියෙන් තෙර රැස්වී සිටිති. එතැනට එන නිර්භීත බලැති පුරුෂයෙක් කැසපට ගන්වා දියට බැස කඩුවෙන් දැතිමෝරුන් කපමින් තමාද එතෙර වෙන අතර අන්‍යයන් ද එගොඩ කරවීට උපකාර කරන්නේ ය. මේ අනුව සමහරු ධෛය¸ සිත උපදවා එතෙරට යාමට උත්සාහ කරයි. එමෙන්ම යෝගී පුද්ගලයා ද අනුන්ගේ සිත් බලා සතර ඵලයට පැමිණීමට වීර්ය කරනුයේ මේ සම්පක්ඛන්ධන ලක්ෂණය යි.

ප්‍රශ්නය :
යමක් නැතිව යමක් පවතින්නේ නැතිනම් පළමුවැන්න එහි හේතුව වන්නේ ය. බාධකයක්ය කියන්නේ කෙසේද? කෙනෙකුගේ පුණ්‍ය කර්මයකට වෙනෙකකු බාධා කළායැයි එයට කෝපවීම සමාව දිය හැක්කක් නොවේ. ක්‍ෂාන්තිය තරම් උග්‍ර වූ වෙන තපසක් ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම මේ එයට අවස්ථාවයි. හිඟන්නන් සෙවීම ලෝකයේ ඉතා පහසුය. එහෙත් තමනට හිංසාවක් කරන්නාවූ කෙනෙකු සොයා ගැනීම අපහසුය. මක් නිසාද? මා විසින් කෙනෙකුට වරදක් කර නැත්නම් කෙනෙකු මට වරදක් නොකරන නිසාය. උත්සාහයකින් තොරව ලබාගත්තාවූ ගෙදරම තිබී සොයා ගත්තාවූ ධන නිධානයක් පරිදි වූ මාගේ සතුරා බුද්ධත්ව මාර්ගයේ යාමට උපකාරී වන්නාවූ මිතුරෙකු ලෙස සලකා අගය කළ යුතුය. මේ ආකාරයෙන් ඔහුගේ නරක චේතනාව ඇසුරු කොටගෙන (මා තුළ) ක්ෂාන්තිය ජනිත වෙයි. එසේ නම් ක්ෂාන්තියේ හේතුව වන්නේ ඔහුය. එම නිසා සද්ධර්මයට ගරු කරන්නාක් මෙන් මා ඔහුට ගරු කළ යුතුයි. මේ ක්‍රමයට අනුව සියලුම නරක දේ තමාගේ ආධ්‍යාත්මක ගුරුවරයෙකු බවට පත්වන්නේයයි ශාන්තිදෙව හිමි බෝධිචර්වතාර (පි.182) හොඳ හා නරක පිළිබඳව බෞද්ධ චින්තනය ප්‍රායෝගිකව ඉගැන්වීම සඳහා ගොනුකල සටහනකි ඉහත දක්වා ඇත්තේ විවාදයකට හේතුවක් කර නොගෙන හොඳ හා නරක පින හා පව පිළිබඳව බෞද්ධ මාර්ගය තවදුරටත් පැහැදිලි කරන්න.

පිළිතුර:
පිළිතුර සකස් කිරීමෙහි තන්ත්‍රයාන බුදු සමයෙහි එන අදහසක් ද එකතු කර ගැනීමෙන් අදාළ කරුණ වඩාත් පැහැදිලි කරගත හැකිය.

නරක හොඳ බවට පරිවර්තනය කිරීම පිළිබඳ අදහස මහායානයෙහි දී විශේෂයෙන් ම තන්ත්‍රයානයෙහිදී කේන්ද්‍රීය තැනක් උසුලයි. මෙය හඳුන්වන්නේ බෞද්ධ රස සාස්ත්‍රය හෙවත් කුණු රොඩු වලින් රත්රන් සාදාගන්නාවූ ශාස්ත්‍රය යනු වෙනි. මෙහිදී අනුගමනය කළයුතු උපක්‍රමය නම් නරක දෙය අභියෝගයක් ලෙස සලකා එයින් ඉගෙන ගතයුතු බවත් එසේ ඉගෙන ගැණීමෙහි දී ඔවුන් අවධාරනය කරන්නේ නරක දේ පවතින්නේ නැතිනම් සද්ගුණයන් ද නොපැවතිය හැකි බවයි. ශාන්ති දේවයන් තම බෝධිචය¸වතාරයෙහි ද මෙම ක්‍රියාවලිය සවිස්තර ව දක්වයි. ඔහු කියන්නේ සතුරා සැලකිය යුත්තේ අවහිරයෙක් හෝ කරදරයක් හැටියට නොව ආශිර්වාදයක් හැටියට ය. මක්නිසා ද? ඉතාම උසස් සද්ගුණයක් වන උපේක්‍ෂාව ප්‍රගුණ කිරීමට එම සතුරා විසින් මා හට ඉඩ ප්‍රස්ථාවක් සලසා දෙන නිසාය. ඔහු ඉදිරිපත් කරන ප්‍රබල තර්කය නම් උපේක්‍ෂාව නමැති සද්ගුණය සතුරෙකු ගෙන් තොර පැවතිය නොහැකි බවයි. සතුරන් නොමැතිව අපට බෝධිසත්වයන් විය නොහැකිය. බෝධිසත්ව මාර්ගය පුහුණුු කිරීමට සතුරන් අත්‍යවශ්‍යය. පාලි පෙළ දහමට අනුව යම් යම් වෙනසක් දක්නට ඇතත් පිළිවෙත පිටමං කර ආමිෂය වැළඳගන්නා සම්ප්‍රදායට වඩා සුචරිතවත් සමාජය කරා සුබවාදී ගමනක් සඳහා මෙබඳු අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

ප්‍රශ්නය :
මජ්ක්‍ධිම නිකායේ ‘කොසම්බි’ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් දෙය කෙතරම් දැහැමි වුවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා ගතයුතුය. අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා හදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩි ලෙසම අවධාරණය කොට ඇත. පෙල දහමට අනුව ‘චාග‘ සම්පත්ති සිව් සඟරාවතින් (චතුස්සං ගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. සමාජ සාධරණීකරණය සඳහා ද බුදුදහම දානය අවශ්‍යම අංගයක් වශයෙන් සලකා තමා වෙතින් අනෙකාට හෙවත් එකා සැමටත් සැම දෙනාටත් යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව පැහැදිලි කරන්න.

පිළිතුර
පෙළ දහමට අනුව ප්‍රධාන හේතු දෙකක් නිසා ‘දන්දීම’ අවධාරණය කර තිබෙන බව පැහැදිලිය. ඉන් පළමුවැන්න පුද්ගලයා සමාජ සත්වයෙකු ලෙස සැලකීමයි. අනෙක පුද්ගලයෙකුගේ පරිත්‍යාගශීලීබව සමාජ ප්‍රගතියට බෙහෙවින් හේතු සාධකයක් වන බවයි. පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදු රදුන් වදාළහ. තෘෂ්ණාව නිසා අයත් කර ගැනීම රැස් කිරීම, පැහැර ගැනීම, මගේ බවට පමුණුවා ගැනීම, මමත්වය ගොඩනැගීම එමගින් (සක්කාය දිට්ඨි) හෙවත් ආත්මීය මානයක් ගොඩනගා ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යා දෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්ෂ ධර්මයක් පුහුණු කළ යුතුය. මෙසේ ලෝභය, රාගය, තෘෂ්ණාව, ප්‍රහීණ කිරීමට, පරිත්‍යාගය අනුගමනය කළ හැකි ඵලදායී මාර්ගය වෙයි. අත්හැර දැමීමේ සංකල්පය ‘නෙක්ඛම්ම’ නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික දියුණුව සැලසීමේ අඩිතාලම එයින් දැමෙයි. සිව් සඟරාවතින් වඩාත් අවධාරණය කර ඇත්තේ දන්දීමෙහි (පරිත්‍යාගයෙහි) සමාජමය අරුතයි. සමාජයේ යහපැවැත්ම මෙන්ම සත්ගුණවත් භාවයට පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන් තැන්වල එක්රැස්වීමට පටන් ගැනේ. එවිට වෙනත් තැනක හිදැසක් (ඉඩක්) අවකාශයක් (අඩුවක්) ඇතිවෙයි. ඒ හේතුවෙන් සන්නිධිකාර (අධිකාරි) බලයක් ඇතිවෙයි. සමාජය තුළ එක් කොටසක් බලය පවරා ගනී. එමගින් සමාජය තුළ සමතුලනය (සමසේ බෙදී යාම) නැතිවේ. සම්පත් සූරා කෑමකට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණ පෑමට සිදුවේ.

ප්‍රශ්නය:
පුද්ගලයෙකු උපයාගත් ධනය ධාර්මික වන්නේ උට්ඨාන වීරියාධිගත යන බෞද්ධ සංකල්පය නිසා බව බුදු දහම අවධාරණය කරයි. “උට්ඨානවීර්ය” පිළිබඳ හඳුනා ගැනීම සඳහා ව්‍යග්ඝපජ්ජ සූත්‍ර ගත උට්ඨාන සම්පදා’යන්න පැහැදිලි කරගත යුතුය. සටහනකින් පැහැදිලි කළොත්,

පිළිතුර:
පළමුවෙන්ම සිහියේ තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඕනෑම දෙයක් සඳහා කෙරෙන ඕනෑම ආකාරයක උත්සාහයක් ‘උට්ඨාන වීර්යය’ ලෙසින් බුදු දහම පිළි නොගන්නා බවයි. ව්‍යාඝ්‍රපද්‍යය, උට්ඨාන වීර්ය කවරේ ද කුලපුත්‍රයා විසින් කෘෂිකර්මයෙන් වෙළඳාමෙන්, ගව පාලනයෙන්, දුනු ශිල්පයෙන්, රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් උගත් ශිල්පයකින් කර්මාන්ත කර ජීවිකාව කෙරේද? හෙතෙම එහි දක්‍ෂ වෙයි. අලස නොවෙයි. එහි උපාය විමසා කළමණාකරනය කරයි. අනුන් ලවා සහභාගිත්ව ක්‍රියාවලියකට ද නොපැකිල ඉදිරිපත් වෙයි. මේ සඳහා සූත්‍රාගත භාවිතයන්ම සටහන් කළොත් මෙහිදී සලකා බැලෙන කරුණු පහක් සලකා බැලේ. (1) දක්ඛො (දක්ෂවීම (2) අනලසො (අලස නොවීම) 3. තත්තෘපාය විමංසාය සමන්නාගතේ (උපාය විමසන සුළුවීම) 4. තමන් එම කාර්ය කිරීමට හැකියාවක් ඇත්තකු වීම) අලංකාතුං (5) අලංසං විධාතුං (සංවිධානයට හෙවත් අනුන් ලවා එය කරවීමට සමත්කම යනුවෙනි.

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]