Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නැණවතාගේ පැසසුමට...

ලොව තුළ ඇති අනේකවිධ ගැටලු පීඩා ප්‍රශ්නවලට නිසි වූ පිළිතුරු සපයා දුන් බුදුපියාණෝ මේ අවස්ථාවේ අප්‍රමාදය පිළිබඳව මෙහි දී දේශනා කළ සේක. පුද්ගලයාගේ ලෞකික ජීවිතයේ දී මෙලොව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධිය (දෙලොව යහපත) සලසා ගැනීම පිළිබඳව වූ පිවිතුරු වූ ද සාර්ථක වූ ද දහම් කරුණු කීපයක් ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

“නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
ආයුං ආරෝග්‍යං වණ්ණං සග්ගං
උච්ඡාකුලීනතං
රතියෝ පත්ථයන්තේන උළාරා අපරාපරේ
අප්පමාදං පසංසංතී පුඤ්ඤ කිරියාසු
පණ්ඩිතාති

කාරුණික පින්වතුනි,

පු ද්ගලයාගේ මෙලොව පරලොව උභයාර්ථ යහපත පිණිස අපගේ අමාමෑණියන් වහන්සේ අනුකම්පා සහගතව දේශනා කළ වදාළ ගාථාරත්නයක් ඉහතින් මාතෘකා කළෙමි. උන්වහන්සේ සකළවිධ කරුණු සහිතව පැහැදිලි කරන මෙම ගාථාවේ අදහස නම්,

(ආයුෂය ද, නිරෝගී බවද, ශරීර වර්ණය ද, සුගතියද, උසස් කුල ඇති බවද උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන් හි නොපමාවීම නුවණැත්තෝ පසසත්) යන්නයි.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ අප්‍රමාද සූත්‍රයට අයත් මෙම ගාථා රත්නය දේශනා කරන්නට වූයේ කෝසල රජතුමා බුදුන් වහන්සේගෙන්, විමසන ලද පැනයකට පිළිතුරු වශයෙනුයි. රජතුමා බුදුන් වහන්සේගෙන් විමසනවා “ස්වාමීනි, යම් දහමක් මෙලොව අභිවෘද්ධියටත් පරලොව අභිවෘද්ධියටත් යන දෙවැදෑරුම් අභිවෘද්ධියටම අත්පත් කොටගෙන සිටී නම්, එබඳු එක දහමක් ඇත්ද? යනුවෙන්” ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ධර්මානුකූලව දුන් පිළිතුරට අනුවයි අද මේ සදහම් කරුණු විස්තර වන්නේ. රජතුමාගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. (ඒව මේව බෝ මහාරාජ අප්පමාදෝ ඒකෝ ධම්මෝ යෝ උභෝ අත්ථෙ සමධිගයිහ තිට්ඨති දිට්ඨධම්ම කඤ්චේච අත්ථං සම්පරායක්ඤචාති) මහරජ එසේ හෙයින්ම යම් දහමක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත්කොට ගෙන සිටී නම් අප්‍රමාදය ඒ එක් දහමයි.

ලොව තුළ ඇති අනේකවිධ ගැටලු පීඩා ප්‍රශ්නවලට නිසි වූ පිළිතුරු සපයා දුන් බුදුපියාණෝ මේ අවස්ථාවේ අප්‍රමාදය පිළිබඳව මෙහි දී දේශනා කළ සේක. පුද්ගලයාගේ ලෞකික ජීවිතයේ දී මෙලොව අභිවෘද්ධිය පරලොව අභිවෘද්ධිය (දෙලොව යහපත) සලසා ගැනීම පිළිබඳව වූ පිවිතුරු වූ ද සාර්ථක වූ ද දහම් කරුණු කීපයක් ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

හැම දෙනාම කැමති වන්නාක් මෙන්ම බොහෝ විට අපේක්‍ෂා කරන බොහෝ දේ අප අතරින් ආයුෂය ද, නිරෝගී බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද, උසස් කුලවත් බව ද, උදාර වූ අන්‍යෝන්‍ය සිත් අලවන දෑ ද, ප්‍රාර්ථනා කරනවා. එහෙම කීවේ උපන් දා පටන් කවුරුත් දීර්ඝායුෂ විඳීමට කැමතියි. දැන් බලන්න සමහර ජීවිත දිහා. ඒ කීවේ ආයු ප්‍රමාණයන්, ඇතැමෙක් මව්කුසේ දී විනාශ වෙනවා. සමහරු ඉපදිලා දවසින් දෙකෙන්, ඇතැම් විට මාසය දෙක, අවුරුද්ද හා ඒ ගතවුණ ළමා කාලයේ, ඊළඟට තරුණ කාලයේ, මැදි වයසේ, මහළු වයසේ, මේ විදියට ඒ ඒ කෙනාගේ ජීවිතය ඒ ඒ පරිදි ආයුෂ අවසන් කරනවා. මෙම ගාථාවෙන් පළමුව ප්‍රකාශ වන්නේ ද ආයුෂ පිළිබඳවයි. එබැවින් ආයුෂ බොහෝ වීමෙන් ඒ බොහෝ වූ ආයු ප්‍රමාණය නිරෝගීව ගත කිරීමටත් ලැබෙනවා නම්, එය පුරාකෘත පින් මහිමයයි.

ඒ වගේම පින්වතුනි, (ජාති ජරාචුති රෝග නිකේතං) අප මේ ලද සිරුර සකල විධ රෝගයන්ට නිකේතනයක් බඳුයි. මෙහි දෙවනි කරුණ නිරෝගීකමයි. මොනතරම් නම් රෝගයන්ට මිනිසා ගොදුරු වෙනවාද? මේ බොහොමයක් රෝග අතරින් අපගේ නොසැලකීම මත අත්විඳින රෝග අපමණයි. පාරිසරික පවිත්‍රතාවය අපට අත්‍යවශ්‍යයි. සෞඛ්‍යයේ උපරිම තත්ත්වය මැනවින් දත් බුදුන් වහන්සේ (වත්ථං න පරිපූරෙන්ති, න සීලං පරිපූරති) වත් පිළිවෙත් නොකරන්නාගේ සීලය සම්පූර්ණ නොවේ. යන්නෙන් පැහැදිළි කළා. වත්පිළිවෙත් යනුවෙන් හඳුන්වන්නේ මළු මංපෙත් ඇමදීම, අවට පිට පවිත්‍රතාවය වැනි කරුණු වලටයි. ආරාමයක, නිවසක මිනිස් වාසය සඳහා වූ කුමන ස්ථානයක හෝ වේවා පවිත්‍රතාවය තරම් නිරෝගීකමට මහෝපකාරී වන වෙනත් දෙයක් නැහැ. බාහිර පවිත්‍රතාව වගේම ශාරීරික අභ්‍යන්තරික පිවිතුරු බව ඉතාම අත්‍යවශ්‍යම වෙනවා. එහිදී ප්‍රධාන කරුණු තුනක් වන්නේ, ලෝභ, ද්වේෂ, මෝහ ඒ කීවේ අධික ලෝභකමයි. කොපමණ තිබුණත් මදි. එක් එක් අයට ලැබෙන සියලු ලැබීම් තමාටම ලැබෙනවා නම් කියලා හිතනවා. තමන්ගෙන් කිසිම දෙයක් අනුන්ගේ ප්‍රයෝජනය සඳහා දෙන්නේ නැහැ. මේ කාරණා නිසා එහෙම කෙනාගේ මනස නිතරම වික්ෂිප්තයි, අසහනකාරීයි, විප්ලවීයයි, හෑහීමක් නැහැ. ඉතිං නොයෙකුත් උවදුරු වලට පත්වෙනවා. අනෙක් කරුණ ද්වේෂය (තරහ) පාපකාරී සිතිවිලි වලින් ද්වේෂය නමැති අකුසල මූලයෙන් වැහිලා. ලෝකෙම ආලෝක වුණත් එයාට එළියක් නැහැ. මේ විදියට වන විට හිතේ පිරිසුදුකම නැති වන විට සැබැවින්ම එයා රෝගියෙක්. ඊළඟට මෝහයයි. ඊළඟට ශරීර වර්ණය, බලන්න පින්වතුනි, රූපය ලස්සන කෙනාට සමාජ පි‍්‍රයතාවය ඇති වෙනවා. සෑම දෙනාගේම සිත තමන් කෙරෙහි පැහැදීම යනාදියෙන් පෝෂිතයි. පෙර සංසාරේ පවිත්‍ර කිරීම්, ගිලන් උපස්ථාන, අන් අයට මෛත්‍රී කිරීම වැනි මහාර්ඝ පින්කම් සිදුකරගෙන රුව අලංකාරව ඉපදුණා.

ඉන් අනතුරුව වූ නිරුක්ති පාඨය වූයේ සුගති සම්පත්තියයි. (කත්තබ්බං කුසලං බහුං) යනුවෙන් වදාළ පරිදි බොහෝ සේ විවිධාකාර සාරානීය කුසල් සිදු කර ගනී. එසේ වූ පුද්ගලයා මෙම ධර්ම කරුණුවලට අවසන් වූ කරුණ හැටියට අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ පතන්නා ඉහත කී කරුණු නිසි ලෙස තෝරා බේරා ගන්නා කුසල මූලික කෙනෙක්.

සිත් අලවන දෑ ප්‍රාර්ථනය කළත් නොකළත් පෙර කී අකුසල් වලින් මිදුන කෙනාට ඒ කී සියලු සම්පත් ලැබෙනවා. ලද සම්පත් කෙරෙහි පරිශීලනය බුද්ධිය මෙහෙයවා තමන් භුක්ති විඳ ආගමික, ජාතික සමාජ පොදු යහපතට සානුකම්පිතව පරිත්‍යාග කිරීමෙන් ගුණ ධර්මවලට අනුව දිවිය සකසා ගන්නා තැනැත්තා නොපමාව මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් සලසා ගන්නා වූ අර්ථ ප්‍රතිලාභය හේතුකරගත් නැණවත් පණ්ඩිතයෙකි. ඉහත දහම් කරුණු ඔබගේ සිත් හි පහළව දෙලෝ සුව සැලසේවා.

තිසරණ සරණයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.