Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුසිරිතෙන් වැළකී සුචරිතයෙහි හැසිරීම

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ධම්මං චරේ සුචරිතං
නනං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේති
අස්මිං ලෝකේ පරම්හිච

සුචරිතයෙහි හැසිරිය යුතුය. දුසිරිතෙන් වැළකිය යුතුයි. සුචරිතයෙහි හැසිරෙන්නා මෙලොවත් පරලොවත් සුවසේ වසයි.

කාරුණික පින්වතුනි

අද මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි. භික්ෂු සමාජයේත් බුද්ධ ශාසනයේත් සුවිශේෂ සංදිස්ථාන කිහිපයක්ම සිදුවුන උතුම් දවසක් හැටියට අද දවස දක්වන්නට පුළුවන්.

රජගහනුවර වේළුනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීමට ගමනාරම්භය සිදුවූයේත්, කාලුදායි රහතන් වහන්සේගේ ආරාධනාවෙන් මේ ගමනාරම්භය කිඹුල්වත් නුවරට වැඩම කරවීම සිදුවූයේ අදවන් දිනකය ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරකරනු ලැබුයේත්, වෙස්සන්තර ජාතකය දේශනා කරනු ලැබුවේත්, යශෝධරාවට සඳකිඳුරු ජාතකය දේශනා කරනු ලැබුවේත්, නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කරවනු ලැබුවේත්, සුද්ධෝදන රජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනා කරනු ලැබුවේත් අද වැනි දිනක් පසුබිම්කරගෙනය.

අදවැනි දවසක දෙසූ ඉහත සඳහන් ධර්ම පාඨය අසා සුද්ධෝදන රජතුමා සකෘදාගාමි බවට පත්වුණා. සමාජයේ ජීවත්වනවිට එය කළයුතු වන්නේ කෙසේද? යනවග තමයි එම ගාථා ධර්මයෙන් පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මිනිසාට සිය හොඳ හා නරක අදහස් සමාජගත කරන්නට දොරටු තුනක් තිබෙනවා. ඒ තමයි සිත, කය, වචනය කියන අංශ. ඒවා තමාගේද සමාජයේද අර්ථය පිණිස යොදවන පුද්ගලයා සුචරිත ධර්ම පූරණය කරන කෙනා හැටියටත් තුන්දොර තමාගේ ද සමාජයේද අනර්ථය පිණිස යොදවන කෙනා දුසිරිත් ධර්ම පුරන කෙනා හැටියටත් දක්වලා තිබෙනවා.

සමාජයේ ජීවත්වන විට සුචරිත වඩන නිවැරදි දෙය කරන පුද්ගලයන් ලෙස පෙන්වමින් අයහපත් දෙය සමාජයට කරන පිරිසද සමාජය තුළ සිටිනවා. මෙහි දුර්ගුණයක් ගිහි පැවිදි ආදී වෙනසක් නැතිව මෙම තත්ත්වයේ සිටින අය දකින්න පුළුවන්. සමාජයට අර්ථවත් වැඩකරන කෙනෙක් ලෙස පෙන්වමින් බොහෝ නරක පුරුදු වැඩ කරනවා. එබඳු අය නිවැරදිව හඳුනා ගන්න අමාරුයි. තරමක් විමසිලිවන්ත ලෙස හොයා බැලුවාත් තමයි එය පැහැදිලි වන්නේ. ඒ වගේ අය මැනවින් හඳුනාගත හැකි වෙන්නෙ කාලයක් ඇසුරු කිරීමෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාලයක් ආශ්‍රය කරන්නේ නැතිව පුද්ගලයන් කෙරෙහි පහදින්න එපාය කියලා. එසේ කීමට හේතුව තමයි සාමාන්‍ය සමාජය තුළ බොහෝ වැරදි සමාජයට කරන ඇතැම් අය ඉතා හොඳ සිල්වත් අය වගේ කටයුතු කරන එක. ජාතක පොතේ සඳහන් වන කුහක ජාතකය ඔබට මතක ඇති. එම කතාවෙන් පැහැදිලි කරල දෙන්නේ හැබෑ චරිතය වසාගෙන බොරු චරිතයක් මවා ගෙන පූජකවරයෙක් හැටියට ජීවත්වූ මිනිසෙක් ගැන.

තමා තුළ පවතින සැබෑ ගති සිරිත් වසන් කොට නැති උතුම් මිනිස්ගති තමා තුළ තිබෙනවා සේ අන්‍යයන්ට පෙන්වමින් සමාජයෙන් සැලකුම් ලබන්න හොඳ නැහැ. එය පවක් වගේම බරපතළ බාධාවක්. බෞද්ධ භික්ෂු සමාජයේත් ඒ වගේ අය සිටි නිසා බුදුරජාණන් වහන්සේ ඒ වගේ කිරීම වරදක් බව පවසා විනය නීති පනවලා තිබෙනවා.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පනවා තිබෙන ලොකුම විනය නීතිවලට කියන්නේ පාරාජිකා කියලා. පැරදුනා කියන එකයි. පාරාජිකා හතරක් තිබෙනවා. එහි හතරවන එක මේ විදිහේ එකක්. ඒ කියන්නේ තමන් ළඟ නැති උතුම් ගති ගුණ තියෙනවාය කියා වෙනත් අයට කියන එක. වෙනත් කෙනෙකු ලවා කියවන එක. නැතිනම් අනිත් අයට අඟවන එක. මෙය ඇතැම් ව්‍යාජ මිනිස්සුන් තුළ පවතින දුර්ගුණයක්. ගිහි පැවිදි කියා භේදයක් නැහැ. සමාජයේ මේ ලක්ෂණය දකින්නට ලැබෙනවා එය බරපතළ වරදක් ලෙසයි දක්වන්නට හැකිවන්නේ.

අපේ සමාජයේ ඇතැම් අය නිතර කියන කාරණාවක් තමයි ධර්මානුකූ®ල විදිහට ජීවත්වෙන එක අමාරුයි කියන කාරණාව. මෙසේ ප්‍රකාශ කරන අය පිළිබඳව සොයා බලන විට කරුණු කිහිපයක් හෙළිවෙනවා. එනම්
1. වචනයට පමණක් එසේ කීවත් ධර්මානුකූ®ලව ජීවත් වෙන්නට උත්සාහ නොගැනීම,
2. ධර්මානුකූලව ජීවත්වෙන අයටත් අකුල් හෙලීම,
3. සමාජයේ යමක් ලැබෙන්නේනම් එය ලැබිය යුත්තේ තමාටමය කියා සිතීම,
4. වෙනත් අයගේ ජීවිතය දැක ඊර්ෂ්‍යා කිරීම සහ තමාගේ ජීවිතයේ ලැබූ දියුණුවක් ද නැතිවීම

සමාජය නමට බෞද්ධ ලෙස කියූවද, ක්‍රියාත්මක බවින් එවගේ දෙයක් දකින්නට ලැබෙන්නේ නැත්නම් එය කණගාටුවට කරුණකි.

ධර්මානුකූ®ලව සුචරිතයේ යෙදෙන්නට උගන්වනු ලැබ ඇත්තේ වඩා වැදගත්වන්නේ පුද්ගලයකු ගේ තිදොර සමාජ අර්ථය පිණිස යෙදවිය යුතු නිසාය. එසේම තමාගේ සිත, කය, වචනය අන්‍යයාගේ හිතසුව පිණිස වන්නේනම් එයින් ඵල ප්‍රයෝජන ලැබෙන්නේ එය කරන පුද්ගලයායි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය බොහෝ සෙයින් යෙදුනේ පරහිත පිණිසමය. පරහිත කැමැත්තෙනි.

ධර්මානුකූ®ලව හැසිරීම යනු අවංකභාවයයි. අවංකබව ඇතිකර ගත යුත්තේ තමා හා පොදු සමාජය අතර සාපේක්ෂතාවයෙන් යුතුවය. අවංක යනු සෘජුබවයි. වංක යනු ඇද බවය. සෘජු බව යනුවෙන් මෙහිලා අදහස් කරනු ලබන්නේ සත්‍යය හා සාපේක්ෂාව බලනවිට තමා කටයුතු කළ යුතු ආකාරය යි. හෘද සාක්කිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ ද එයයි. නමුත් තමා ඇතිකර ගනු ලබන හෘද සාක්කිය සද්භාව එකක් විය යුතු වන්නේ ය.

සුචරිත ධර්මයන්හි හැසිරීම එකකි. දුසිරිතෙන් වැලකීම අනිකකි. පුද්ගලයකු විසින් මෙය දෙකක් ලෙස හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙයි. ඇතැමුන් මෙය වරදවා වටහා ගනිති.

මෙලොව යහපත සේම පරලොව යහපත ලබා ගැනීමට උනන්දු වන්න. මෙලොව යනු වර්තමානයයි. පරලොව යනු අනාගතයයි.

ඔබට තෙරුවන් සරණයි


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.