Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුටුගැමුණු රජතුමාගේ ශාසනික මෙහෙවර

රුවන්මැලි මහා සෑය කරවීම දුටුගැමුණු රජතුමාගේ අද්විතීය ශාසනික මෙහෙවරකි. මහාවංශයේ 28 – 31 පරිච්ඡේද සතරෙහි හා ථූපවංශයෙහි දාගැබ ඉදිකිරීම පිළිබඳ විස්තර කියැවෙයි.

මාගම රජ පරපුරට අයත් දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 – 137) මහාවංශයේ වීරයාය. ඔහු ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජෙකි. රජරට බලයට පත්ව සිටි එළාර රජු පරදවා මාගම ආධිපත්‍යය රජරටට පතුරුවා විශාල ආගමික සේවාවක් ඉටුකළේය. දීපවංශයේ ඔහුට ගාථා 11 ක් කැපකර ඇති අතර මහාවංශයේ ආගමික සේවාව කීමට පමණක් 28 සිට 32 දක්වා පරිච්ඡේදවල ගාථා 364 ක් යොදාගනී. මෙයටත් වඩා විස්තර කාම්බෝජ මහාවංශයේ එයි.

මහාචාර්ය මලලසේකර Extended Mahavansa ලෙස ඉංග්‍රීසියට නඟා ඇත්තේ මෙම කාම්බෝජ මහා වංශයයි. දුටුගැමුණු රජුගේ ආගමික සේවාව දැන් කෙටියෙන් බලමු.

මහියංගණ දාගැබ විශාල කිරීම ද රජු විසින් සිදු කරවන ලද විශාල ආගමික සේවයකි. සුමන සමන් දෙවිඳුට බුදුහිමි දුන් කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ මුලින් කළේ සමන් දෙවිඳු බව මහාවංශය කියයි. ඉන්පසු දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය කුමරු එය රියන් තිහක් උසට කරවීය. එළාර රජුට විරුද්ධව සටන අරඹා මාගම සිට ඉදිරියට යන ගැමුණු රජු මහියංගණ දාගැබ රියන් අසූවක් උසට කළ බව මහාවංශය හා ථූපවංශය කියයි.

මහාවංශය, මහාවංශටීකා, ථූපවංශය සහ පූජාවලියට අනුව ගැමුණු රජු මරණාසන්නව සිටියදී ඔහු කළ පින්කම් ඇතුළත් පින් පොත ඔහුට ඇසෙන්නට කියවන ලදී. ඔහු කළ ආගමික කටයුතු රැසක් මේ පින් පොත විස්තරයේ එයි. ඒ අනුව ගැමුණු රජු විහාර අනූ නවයක් කරවා ඇත. පසුකලෙක ලියැවුණු “සුළුරාජාවලිය” ට අනුව ඔහු නවානුදහසක් රජ මහා විහාර කරවූ බව කියැවෙයි. සුළුරාජාවලිය කියන මේ නවානුදහස අතිශයෝක්තියක් විය හැකිය.

මලයරට හෙවත් කඳුරට පැතිර ගිය අක්ඛකායික හෙවත් බුළුකෑසායේදී කුමරු තම කන්වල පළඳින මිණි කොඩොල් යුවළ විකුණා භික්ෂූන් වහන්සේ පන්සිය නමකට දානයක් දී ඇත. වංශ කතා මෙම ඇඹුල් රසැති තණ හාල් දානය ඉහළින් වර්ණනා කරයි. බුළුකෑසාය රටේ පැතිර ගියේ කුමරු කඳුරට කොත්මලේ සැඟවී සිටියදී ය. සාගතයේ දී කෑම ඉතා හිඟව අක්ඛ හෙවත් බුළු කෑමට ගත් බැවින් මෙය බුළු කෑ සාය ලෙස හඳුන්වයි.

මහාවංශයේ වෙසක් උත්සවය ගැන පළමුවරට සඳහන් වන්නේ ගැමුණු රජු රජ කළ සමයෙහිදීය. ඒ නිසා දුටුගැමුණු රජු ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවයේ ආරම්භකයා ලෙස වල්පොළ රාහුල හිමි තම ‘ලංකාවේ බුදු සමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ දී කියයි.

දුටුගැමුණු රජ තෙමේ ලංකාවේ සියලු සංඝයාට සිවුවරක් සිවුරු පූජා කළේය. ගිලන් භික්ෂූන් වහන්සේට වෛද්‍ය උපදෙස් අනුව, ඖෂධ හා ගිලන් බත් පූජා කළේය. විහාරවල පහන් පූජාවට තෙල් පිදූ බව පින් පොත් විස්තරය කියයි. ධර්ම දේශනා කිරීම අසීරු බව අත්දැකීමෙන් දැනගත් රජු ධර්ම දේශකයන්ට හකුරු, ගිතෙල්, වැල්මී හා පිලි පිදුවේය. මහාවංශයේ 25 වැනි පරිච්ඡේදයට අනුව කහවනු ලක්ෂයක් වැයකර මහා බෝධි පූජාවක් කර ඇත.

රජරට එළාර රජුට විරුද්ධව මාගම සිට පිටත් වූ යුද සේනාව සමඟ තිස්සමහාරාම විහාරයෙන් භික්‍ෂූන් වහන්සේ 500 නමක් වැඩමවා ඇත. රජු හමුදාව සමඟ ගමන් ගන්නාවිට රැගෙන ගිය හෙල්ලයේ ධාතු නිධන් කොට තිබුණි. පැවිදිව සිටි ථෙරපුත්තාභය හිමිනම කැමැත්තෙන් සිවුරු හරවා හමුදාවට බඳවා ගත්තේය. ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ වල්පොළ රාහුල හිමි කියන පරිදි යුද හමුදාව සමඟ 500 ක් භික්ෂූන් වැඩම කිරීම, හෙල්ලයේ ධාතු නිධන් කොට තැබීම, ථෙරපුත්තාභය හිමියන් සිවුරු හරවා හමුදාවට බඳවා ගැනීම මගින් ගැමුණු රජු එළාරට විරුද්ධව සියලු ආගමික, ජාතික බලවේග එකමුතු කළ බව පෙන්වා දෙයි. ගැමුණු රජුගේ යුද්ධ ජයග්‍රහණයට පසු ථෙරපුත්තාභය හිමි යළිත් පැවිදිව, රහත් වූහ. උන්වහන්සේ තවත් රහතන් වහන්සේ 500 නමක සමඟ දුටුගැමුණු රජු මරණාසන්න මොහොතේ රජු බැහැදැකීමට වැඩියහ.

ද්වන්ධ සටනින් එළාර රජු පැරැදී මැරුම් කෑ පසු ඔහුට නිසි ගෞරවය ලබාදී උත්සවාකාරයෙන් එළාර රජුගේ මෘත දේහය දවා ඒ ස්මාරකයට ගරු කළ යුතු බවට නීති පැනවූ බව මහාවංශය කියයි. ‘ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය’ පළමුවැනි කාණ්ඩයේ දී මහාචාර්ය පරණවිතාන කියන පරිදි මෑතක් වනතුරු එළාර සොහොන ලෙස වරදවා හඳුන්වන ලද්දේ දක්ඛිණ ථූපයයි.

එළාර රජු හා භල්ලුක පැරැදවීමෙන් පසු, එහිදී සිදුවූ මනුෂ්‍ය සංහාරයෙන් යුද්ධය ගැන කලකිරී දුටුගැමුණු රජු දැඩි මානසික පසුතැවිල්ලකට පත් විය. රහතන් වහන්සේ අටනමක් වැඩම කර රජුගේ සිත සන්සුන් කර ඇත.

ධාතු නිධන් කර ජය කුන්තය තැන්පත් කොට රජු කරවූ මිරිසවැටි දාගැබ හා විහාරය නිම කිරීමට අවුරුදු තුනක් ගතවිය. මහාවංශ ටීකාව අනුව භික්ෂූන් වහන්සේට දන් නොදී රජු කෑවේ අමුමිරිස් වැටියකි. වංශකතා විස්තරවල මේ අමුමිරිස් ව්‍යංජනයක් බව කියවෙයි. ‘ ගෛගරිගේ මහාවංශය නිවැරැදි කිරීම’ ඉංග්‍රීසි ග්‍රන්ථයේ දී පොල්වත්තේ බුද්ධදත්ත හිමි කියනුයේ මෙය ගම්මිරිස් අච්චාරුවක් බවයි. මිරිසවැටි දාගැබ පූජා කිරීමේ උළෙලට භික්ෂූන් වහන්සේ ලක්ෂයක් හා භික්ෂුණීන් වහන්සේ අනූ දහසක් වැඩම කළ අතර උත්සවය දින හතක් පවත්වා ඇත.

දුටුගැමුණු රජතුමා හට ලෝවාමහපාය කරවීම සඳහා කෝටි තිහක් වැයවූ බව මහාවංශය කියයි. මහාවංශයේ 27 වැනි පරිච්ඡේදයේ ගාථා 40 කින් මේ විස්තර කරයි. ලෝවාමහාපායේ ගල් කුලුනු 1600 ක් තිබූ බව පූජාවලිය කියයි. ලෝවාමහාපාය පොහොය ගෙයකි. එහි ගබඩා දහසක් හා මහල් නවයක් විය. එහි සියලු වැඩ කරවන ලද්දේ මුදල් ගෙවාය. තඹ ලෝහයෙන් කළ උළු සෙවිලිකර තිබූ බැවින් එයට ලෝවාමහාපාය යන නම ලැබුණි. එහි පළමු මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේට ද දෙවැනි මහල ත්‍රිපිටකධාරී හිමිවරුන්ට ද තුන්වෙනි මහල සෝවාන් භික්ෂූන් වහන්සේට ද සතර වැන්න හා පස් වැන්න පිළිවෙළින් සකෘදාගාමී සහ අනාගාමී භික්‍ෂූන් වහන්සේට ද වෙන් කර තිබුණි. ගෛගරිගේ මහාවංශ පරිවර්තනයේ 186 වැනි පිට 0.2 අධෝ ලිපියේ මේ ගැන සටහනක් එයි. ලෝවාමහාපාය නිමවූ පසු එය පූජා කිරීමේ උළෙල දින සතක් පැවැත්විය. මහාවංශ ටීකා අනුව ලෝවාමහාපාය අනුරාධපුරට ඈතින් පිහිටි දිඹුලාගල කඳු මුදුනට ද යොදුනක් දුරට මුහුදට ද දිස්විය. ලෝවාමහාපාය සත්මහල් බව කොඩ්රින්ටන් කීම වැරැදිය. මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙන පරිදි එය මහල් නවයකින් යුක්ත විය.

රුවන්මැලි මහා සෑය කරවීම දුටුගැමුණු රජතුමාගේ අද්විතීය ශාසනික මෙහෙවරකි. මහාවංශයේ 28 – 31 පරිච්ඡේද සතරෙහි හා ථූපවංශයෙහි දාගැබ ඉදිකිරීම පිළිබඳ විස්තර කියැවෙයි. පෑතිස් රජු මතු රුවන්මැලිසෑය ඉදිවන ස්ථානය ලකුණු කර තැබූ බව පාලි ‘සමන්තපාසාදිකා’ කියයි. මහාවංශයට අනුව මෙම සෑයට ගඩොල් ගම්භීර නදිය අසලින් ද ස්වර්ණ බීජ අකරවිට ගමෙන් ද තඹ තඹවිටි ගමෙන් ද මැණික් සමන්විටි ගමෙන් ද රිදී අම්බට්ඨ හෙළෙන් ද මුතු උරුවෙල ගමෙන් ද ලැබුණි. දාගැබේ පදනම සඳහා ගල් සුනුකර ඇතුන් ලවා පාගා තදකර සියුම් වෙඩරු මැටි හා ගල් අතුරා ඒ මත දැල් එළා බොරළු දමා ඇත. මේ අනුව දාගැබේ පදනම ඉතා ශක්තිමත් විය. ථූපවංශයේ ථූපාරම්භ කතා යටතේ මේ විස්තරය දැකිය හැකිය. ගැමුණු රජු දාගැබ තවත් විශාල කිරීමට සැලසුම් කළ ද රහත් හිමිවරු ඒ වැළැක්වූහ.

මහාථූප ආරම්භ උත්සවයක් වංශකතා දීර්ඝ ලෙස වර්ණනා කරයි. මේ උළෙලට දඹදිවින් ද තවත් බෞද්ධ රටවල් රැසකින් ද රහත් හිමිවරු වැඩම කළහ. මහාවංශයේ 29 වැනි පරිච්ඡේදයේ ගාථා 70 කින් ඒ විස්තර දැක්වෙයි. ඉන්ද්‍රගුප්ත හිමි රජගහනුවර සිට අසූ දහසක් භික්ෂූන් සමඟ ද ධම්මජෝති හිමි 12000 ක් භික්ෂූන් වහන්සේ සමඟ ඉසිපතනාරාමයෙන් ද පියදස්සී හිමි 60000 ක් සමඟ ජේතවනාරාමයෙන් ද බුද්ධ රක්ඛිත හිමි 18000 ක් සමඟ විශාලා නුවරින් ද මහා ධම්මරක්ඛිත හිමි 30000 ක් සමඟ කොසඹෑ නුවරින් ද මහාධම්මරක්ඛිත හිමි 40000 ක් පිරිවර සමඟ උදේනි නුවරින් ද මහාධම්මරක්ඛිත හිමි 30000 ක් සමඟ අලසන්දා නුවරින් ද වැඩම කළහ. මහාථූප උළෙලට වැඩි රහතුන් සයානුකෙළක් බව මහාවංශය කියයි. ගෛගර් තම මහාවංශ ඉංග්‍රීසි පරිවර්තනයේ මේ භික්ෂූන් වැඩි නගර හා රටවල් වෙන වෙනම හඳුන්වා දෙයි. මහාවංශයේ 30 වැනි පරිච්ඡේදයේ ගාථා 100 කින් මහාථූපයේ නිධන් වස්තු හා ධාතු ගර්භයේ විස්තර දක්වයි. මහාවංශයේ 31 වැනි පරිච්ඡේදයේ ගාථා 125 කින් රුවන්මැලි සෑයෙහි නිධන් කිරීම සඳහා ධාතු ගෙන ඒමට සෝනුත්තර හිමි නාග ලොවට වැඩම කළ හැටි විස්තර වෙයි. රුවන්මැලිසෑයේ සියලු වැඩ වැටුප් ගෙවා ඉටුකරවා ගත් බව ‘ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය – පළමු කාණ්ඩයේ’ දී දක්වයි. මහාථූප උළෙල සඳහා දේශ දේශාන්තරවල සිට රහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ මහා පිරිසක් වැඩම කළ බව ‘ලංකාවේ බුදු සමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ වල්පොළ රාහුල හිමියෝ දක්වති.

රුවන්මැලිසෑයේ වැඩ නිමාවීමට පෙර රජු ගිලන් වී, සද්ධාතිස්ස කුමරුට රජකම පැවරීය. (මේ වනවිට විහාරමහා දේවිය පැවිදිව සිටි බව ලෙන් ලිපිවලින් හෙළිවෙයි.)

ගැමුණු රජුගේ මරණයට පෙර තිස්ස කුමරු දාගැබේ ඉතිරිව තිබූ සුණු පිරියම හා කොත් කැරැල්ල සුදු රෙදි දවටා නිම කළ බව දැක්වෙයි. ගැමුණු රජු, තමා කළ පින් ඇතුළත් පින් පොත කියවනු අසමින් මරණයට පත් විය.

දුටුගැමුණු රජු මිය ගියේ මැදි වයසේ දීය. ජනප්‍රවාදවලට අනුව රජුගේ මරණයට හේතුව, නාග කන්‍යාවකට පෙම් බැඳීම නිසා නා රජු කිපී විෂ හෝරාවක් බලා රජුට දෂ්ඨ කිරීමයි. ගැමුණු රජුගේ මෘතදේහය රුවන්මැලිසෑයට නුදුරු බිමක ආදාහනය කරන ලදී.

මහාචාර්ය පරණවිතානගේ ‘පුරාවිද්‍යා පර්යේෂණ’ ග්‍රන්ථයට අනුව ගැමුණු රජු දැවූ බිම කණින විට පිලිස්සුණු අගුරු හමුවිය. ‘ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය – පළමු කාණ්ඩයේ’ දී මහාචාර්ය පරණවිතාන පවසන පරිදි දුටුගැමුණු රජුගේ විශිෂ්ටම නිර්මාණය රුවන්මැලිසෑයයි. ආචාර්ය අදිකාරම් ‘පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය’ ග්‍රන්ථයේ කියන පරිදි දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය සෑම අතින්ම අප රටට පුනර්ජීවයක් උදාවූ අවධියකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.