Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැතුම සහ අදිටන

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අනුපවාදෝ අනුපඝාතො...
පාතිමො‍ෙක්‍ඛච සංවරො
මත්තඤ්ඤුතාච භත්තසමිං
පත්ථංච සයනාසනං
අධි චිතේත්ච ආයොගො -
ඒතං බුද්ධානසාසනං

පින්වත,

වර්ෂයෙහි දෙවැනි මස නවම් පොහොය උදාවෙයි. මෙම පොහෝ දිනයෙහි සිදු වූ ආගමික සිදුවීම් රැසෙකි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක පදවි පිරිනැමීම, එක් දහස් දෙසිය පණහක් පමණ රහතන් වහන්සේලාගෙන් සමන්විත මහා සංඝ සන්නිපාතය, භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම චාපාල චේතිය නම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ විසින් තුන් මසෙකින් පිරිනිවන් පානා බව ප්‍රකාශ කොට ආයු සංස්කාරය අත්හැරීම ආදිය වැදගත් සිද්ධීන් වේ.

නාලක නියම් ගමේ බ්‍රාහ්මණ මහා සාර කුලය වූ උපතිස්ස වංගන්ත බ්‍රාහ්මණ තුමන්ගේ දෙටු පුතණුවෝද එසේම කෝලිත ග්‍රාමයේ දෙටු බ්‍රාහ්මණතුමන්ගේ එකම පුතණුවෝද සැණකෙලි නැරඹීමට රජගහනුවර ගිරග්ග සමජ්ජයට එක් වූහ. නාගරිකයන් හා පසල් දනව් වැස්සෝ ද වසරක් පාසා පැවැත්වෙන මේ වේලාව බැලීමට පැමිණෙති. තරුණ කෝලිත උපතිස්ස දෙදෙනා ද බොහෝ වේලාවක් මෙම සැණකෙලිය විමසිල්ලෙන් නරඹා එහි අසාර බව දැක කළ කිරීමට පත් වූහ.

එකල පිරිවැජියන් අතර සංජය පිරිවැජියා උසස් තැනක සිටියේ ය. කෝලිත උපතිස්ස යන දෙදෙනා ඔහු වෙතැ ගොස් ඔහු දන්නා දහමෙහි පරතෙරට ගියහ. එයින් නිවනට මාර්ගයක් නොවන බව තේරුම් ගෙන මෝක්‍ෂ මාර්ගය සෙවීම සඳහා විසිර ගියහ. උපතිස්ස පිරිවැජියාට අස්සජි මහරතන් වහන්සේ හමුවූහ. කතාබහ කිරීමෙන් අනතුරුව “යෙ ධම්මා හෙතුප් පභවා තෙසං හෙතු තථාගතො ආහ” ආදී ධර්ම දේශනයෙන් හේතුඵල දහම පිළිබඳ අවබෝධය ලබා සෝවාන් මග ඵල ලැබූහ. කෝලිත පිරිවැජියාට ද මේ දහම් විස්තර පවසා ඔහු ද සෝවාන් මඟ ඵල ලැබුයේය. විදර්ශනා භාවනාවේ යෙදී සිටියදී රජගහ නුවරට නුදුරු සුකරඹන ලෙනේදී තථාගතයන් වහන්සේ දීඝනඛ පිරිවැජියාට දෙසූ වේදනා පරිග්ගහ සූත්‍ර දේශනාව අසා නුවණ මෙහෙයවා උපතිස්ස හෙවත් සාරිපුත්ත තෙරණුවෝ ද රහත් වූහ. කෝලිත හෙවත් මොග්ගල්ලාන තෙරණුවෝද දහම් අවබෝධයෙන් රහත් වූහ.

අඩමසක් ගත වෙත්ම රහත් බවට පත්මේ දෙදෙනා වහන්සේ භික්‍ෂූන් අතර පි‍්‍රය මනාප භික්‍ෂූන් බවට පත් වූහ. තෙසතියක් ගිය තැන එලඹි නවම් පුන් පොහෝ දින සන්ධ්‍යා කාලයේදී රජගහනුවර අවට භික්‍ෂූන් වහන්සේලා වේළුවන උයනට රැස්වූහ. සැරියුත් මුගලන් දෙනම සමගින් පිරිස අතරට වැඩම වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මහණෙනි, මාගේ සියලුම ශ්‍රාවකයන් අතර “අග්‍රතම ශ්‍රාවකයා” වශයෙන් මා දකුණු පසින් සිටින මේ සාරිපුත්ත භික්‍ෂුව ඔබ පිළිගත යුතුයි. එසේම දුතිය ශ්‍රාවකයා වශයෙන් මොග්ගල්ලාන භික්‍ෂුව පිළිගත යුතුයි. එපමණක් නොව සියලු කටයුතුවලදී දහම් පිළිබඳ නිගමනයන්හිදී මේ දෙදෙනා මුල් කොට ගත යුතුයි.

අද පටන් මේ දෙනම මා දෙපසින් සිටිනු ඇත. එසේම මා දෙසන දහම් මග මා අනුව ලෝවාසීන් හට ද කියා දෙනු ඇත. වැඩිමහලු සොහොයුරු දෙනම සේ සලකමින් මේ දෙනම අනුව ඔබ හැම දෙනාම ගති පැවතුම් සහ සිරිත් විරිත් අනුගමනය කළ යුතුයි. මම දෙසතියකට වරක් පමණක් ඔබ හැම මෙසේ රැස් කරවා ඕවාද ප්‍රතිමෝක්‍ෂය දේශනා කරමි. යනුවෙන් වදාළහ. ඉන් ඉක්බිතිව තථාගතයන් වහන්සේ වාර්තාගත ඓතිහාසික සම්මේලනයට රැස් වූ එම භික්‍ෂු පිරිසට මෙම නවම් පෝදා මෙම ගාථා වදාළහ.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරම වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාති
සාමණෝ හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම්ම තපස වේ. පරම සුවය නිර්වාණය සේ බුදුවරු පවසති. පැවිද්දෝ අනුන් දිවි නොනසති. එසේම ශ්‍රමණයෝ අනුනට පීඩා නොපමුණුවති.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධාන සාසනං

තුන් දොරින් එනම් හිත, කය, වචනයෙන් කවර හෝ පාපයක් වත් නොකරන්න. සියලු ලෞකික ලෝකෝත්තර කුසලයන්ම උපදවන්න.

අනුපවාදො අනුපඝාතො පාතිමොෙක්‍ඛච සංවරො මත්තඤ්ඤුතාච භත්තස්මිං - පත්ථංච සයනාසනං අධිචිත්තෙච ආයොගො එතං බුද්ධාන සාසනංඅනුනට උපවාද (අපහාසයන්) නොකිරීම අනුනට උපඝාත (වධ හිංසා) නොකිරීම සියලුම සිල් පද (ප්‍රාතිමෝක්‍ෂය) අනුව කය වචනය සුරැකීම ආහාර සෙවීමේදී හා ගැනුමේදී “පමණ දන්නා බව“ නිහඬ වූ සෙනුසුන්වලට රුචිවීම සහ සමථ විපස්සනා භාවනාවන්හිම නිතර යෙදීමද සියලුම බුදුවරයන්ගේ අනුශාසනා වේ. එදින ප්‍රථම සංඝ සම්මේලනයේ කටයුතු මේ ගාථා පැහැදිලි කරදීමෙන් නිමාවට පත්විය. පසුදින සන්ධ්‍යා කාලයේදී දහම් අසනු පිණිස රැස් වූ භික්‍ෂූන්ට සැරියුත් මුගලන් දෙනම පිළිබඳව විස්තර වදාළහ.

පෙර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දඹදිව බමුණු මහා සාර කුලයක සාරද බ්‍රාහ්මණ තරුණයෙක් හිටියා. ඔහුගේ මිතුරා සිරිවර්ඩ්ඪන. ඔහු සිටුවරයෙක්. සරද දෙමාපියන් මියගිය පසු වස්තුව දන් දී හිමාලයට ගොස් තවුස් ජීවිතයත් ගත කළා. අභිඤ්ඤලාභී තාපසයෙක් වුණා. තවත් තාපසවරු බොහෝ පිරිසක් හිටියා. අනෝම දස්සි බුදුරජාණන් වහන්සේ මේ කාලයේදී ලොව පහළ වුණා. මේ බුදුරජාණන් වහන්සේ දිනක් තාපස පිරිසට අනුකම්පාවෙන් වන සෙනසුනට වැඩම කළා. අගසව් නිසභ මහ රහතන් ප්‍රධාන විශාල භික්‍ෂු පිරිසකුත් වැඩියා. රසවත් ඵලතුරු පූජා කළා. බුදුරදුන් හා ශ්‍රාවක පිරිස සත් දවසක් නිරෝධ සමාපත්තියෙන් මේ වන සෙනසුනේ වැඩ සිටියා. මේ තාපස පිරිසට අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් වහන්සේට ආනිශංශ දේශනා කිරීමට බුදුරදුන් නියම කළා. සරද තාපසතුමා හැර අන් සියලු තාපසවරු රහත් වුණා. සරද තාපස තුමා රහත් නොවුයේ ඔහුට අවශ්‍ය වුනේ රහත් වීමක් නොවෙයි. අග්‍ර ශ්‍රාවකවරයකු වීමට නිසභ තෙරුන්ගේ දේශනා විලාශය නිසා සරද තාපසතුමා මටත් මෙබඳු කෙනෙකු වන්නට ඇත්නම් යැයි හැඟීමක් ඇතිවුණා. ඒ නිසා සිත ධර්මයට අනුව මෙහෙයීමට අපහසු වෙනවා. වෙනත් අදහස් පහළ වූ විට විසිරුණු (වික්‍ෂිප්ත) සිතකට තිබුණ අරමුණු වන්නේ නෑ. ධර්මාරම්මණය පෙරටුව අපි කවුරුත් එහෙයින් සෑම විටම බණ ඇසිය යුතුයි. පසුව සරද තාපසතුමා අග්‍රශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කළා. ඊට පසුව තම මිතුරු සිරිවඩ්ඨන සිටුවරයා මතක් වී සොයාගෙන ගොස් සියලුම තොරතුරු දන්වලා ද්විතීය ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටියා. ඔහුත් එම ඉල්ලීම පිළිගෙන සත් දිනත් මහදන්දී ද්විතීය ශ්‍රාවක පදවිය ප්‍රාර්ථනා කළා. අනෝමදස්සි බුදුහාමුදුරුවෝ මේ දෙදෙනාගේම ප්‍රාර්ථනා ගෞතම බුදුරදුන් දවස ඉටුවෙන බව වදාළා. ඔවුහු සතුටට පත්ව සසර දී බොහෝ පින්කම් සිදු කළා.

මේ අතීත සිදුවීම දැක්වූ බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා අනුවම මෙසේ මේ තත්ත්වය ලැබූ බවත් ඒ අනුව අවශ්‍ය පින්කම් බණ භාවනා සපුරාලීම අවශ්‍ය බවත් වදාළා. අපිත් ඒ අනුව ප්‍රාර්ථනා පෙරදැරිව අධිෂ්ඨානයෙන් කිසියම්ම කටයුත්තකදී ක්‍රියා කිරීමෙන් සියලු බලාපොරොත්තු ඉටුකර ගත හැකි බව සලකා උත්සාහවත් වෙමුයි සිතට ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.